කුරුවිට තරුණියගේ හිස සොයා කැලණි ගඟේ සෝදිසි මෙහෙයුම් | සිළුමිණ

කුරුවිට තරුණියගේ හිස සොයා කැලණි ගඟේ සෝදිසි මෙහෙයුම්

පිටකොටුව වේල්ලවීදියෙන් සොයා ගැනුණු කාන්තා මළ සිරුරේ හිස සොයා කැලණි ගඟේ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
 
එම ඝාතනයට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා විසින් කරේ දමාගෙන සිටි බෑගයේ ඇගේ හිස ඇති බවට වන සැකය මත මේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර ඊයේ (04) සවස 4ට පමණ මෙහෙයුම ආරම්භ කර තිබේ.
 
එම යුවළ නැවතී සිටි නවාතැන්පොළ හංවැල්ල - කොළඹ මාර්ගයේ කැලණි ගඟ ආසන්න ප්‍රදේශයක පිහිටා ඇති බැවින් යම් හෙයකින් ඝාතකයා විසින් කාන්තාවගේ හිස බෑගයේ දමා කැලණි ගඟට විසි කරන්නට ඇතැයි පොලිස් විමර්ශන කණ්ඩායම් සැක පළ කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට ඊයේ (04) පැවසීය.
 
මේ මෙහෙයුම යටතේ කැලණි ගඟ මුහුදට සම්බන්ධ වන මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා අදාළ සෝදිසි කිරීම් කිරීමට නියමිතය.
 
කාන්තා මළ සිරුරේ අනන්‍යතාව නිශ්චිත ලෙසම හඳුනා ගැනීමට ඇයගේ සහ ඥාතීන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂා කිරීමට පෙරේදා (03) කටයුතු කර තිබිණි.
 
අදාළ කාන්තාවගේ හිස නොමැති හෙයින් ඥාතීන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.
 
මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන වේල්ලවීදිය පොලිසිය සහ බඩල්කුඹුර පොලිසිය කරයි.

Comments