අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමි අක්ත්‍ර පත්‍ර ප්‍රදානෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන් | සිළුමිණ

අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමි අක්ත්‍ර පත්‍ර ප්‍රදානෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

 අම්බලන්ගොඩ සිරි විජයාරාම මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම ස්වාමීන් වහන්සේට අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ අනුනායක ධූරය පිරිනැමීමේ අක්ත්‍ර පත්‍රය ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28)පැවැත්විණි.
 
මෙම අක්ත්‍ර පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අම්බලන්ගොඩ, හිරේවත්ත සිරි විජයාරාම මහා විහාරයේ දී පැවැත්විණි.
 
අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ සිරි පවර විසුද්ධාචර්ය මහෝපාධ්‍යාන ශාස්ත්‍රාචාර්ය මහ නායක අති පූජ්‍ය නාකුළුගමුවේ පේමතිලක මහනාහිමියෝ අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමියන්ට අදාළ අක්ත්‍ර පත්‍රය පිළිගැන්වූහ.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ අනුනායක අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමියන්ට විජිනිපත පිළිගැන්වූයේය.
 
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතයෝ අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමියන්ට අෂ්ඨ පරිස්කාර පිළිගැන්වූහ.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අක්ත්‍ර පත්‍ර ප්‍රදානෝත්සවය අමතා මෙසේ පැවසීය.
 
අපි දන්නවා අති පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම අනුනාහිමියන්ට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විසි අට නමක් සිටිනවා. ඒ වගේම 1992 දි ශ්‍රී සද්ධර්මලංකාර පිරිවෙන ආරම්භ කරන්නට යෙදුණා. දහම් පාසල් ආරම්භ කරමින් කිහිප වතාවක්ම අම්බලන්ගොඩ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ලෙසත් අපේ අනුනාහිමියන් වහන්සේ විශාල ශාසනික සේවයක් ඉටු කරනු ලබනවා.
 
 රටක් ජාතියක් ආගමික පසුබිමක් නැත්නම් ඒ රට අයාලේ යනවා. ජාතිය අයාලේ යනවා. අපේ වාසනාවට බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ දේශනා සහ උන්වහන්සේලාගේ කැපවීම නිසා මේ රට වාසනාවන්ත වෙලා තියෙනවා. 
 
අපි දන්නවා රටත් ජාතියත් ආරක්ෂා වෙන්න නම් බුදු දහමත්, ඒ වගේම ආගමික නායකයන්ගේ මැදිහත්වීමත් මත  තමයි පාලකයන්ට අපේ රට ආරක්ෂා කරන්න, හරි මගට ගෙනයන්න පුළුවන්කම තියෙන්නෙ. පාලකයින් යම් දවසක ආගමික නායකයන් ගැන තැකීමක් නොකළ දවසට අපි දැකලා තියෙනවා ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඔබ වහන්සේලා කරන සේවය ඇත්ත වශයෙන්ම අපේ රටේ සාමාන්‍ය ජනතාව හැම අවස්ථාවකදිම අගය කොට සළකනවා. 
 
ඒ නිසා ඔබ වහන්සේ හැම අවස්ථාවකදිම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් පෙනී සිටිමින් රට ඉදිරියට ගෙන යාමට ජාතිය ආගම ඉදිරියට ගෙන යාමට දායක වෙලා තිබෙනවා. ඔබ වහන්සේ කළ කාර්යයට අප ගෞරව කරනවා. මේ තනතුර ඔබ වහන්සේ නිසා බැබළෙනවා. ඒ නිසා හැම අවස්ථාවක දිම ඔබ වහන්සේ ගේ ඒ නායකත්වය  දැනුම ජනතාවට ලබා දෙන්න යැයි ඉල්ලමින් ඔබ වහන්සේට සුභාශිංසන පුද කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
 
අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ සිරි පවර විසුද්ධාචර්ය මහෝපාධ්‍යාන ශාස්ත්‍රාචාර්ය මහ නායක අති පූජ්‍ය නාකුළුගමුවේ පේමතිලක මහනාහිමි, අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති අතිපූජ්‍ය බැරගම විමලබුද්ධි හිමි, ශාස්ත්‍රපති පූජ්‍ය අම්බලන්ගොඩ සුමන නන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අක්ත පත්‍රය ප්‍රදානෝත්සවයට වැඩම කළ වදාළහ.
 
මෙම අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සම්පත් අතුකෝරළ, ගීතා කුමාරසිංහ, ඉසුරු දොඩංගොඩ, ෂාන් විජයලාල් ද සිල්වා මහත්ම මහත්මීන් ඇතුළු බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.
 

Comments