මිනුවන්ගොඩ හොර දොස්තර නුවරින් අල්ලයි | සිළුමිණ

මිනුවන්ගොඩ හොර දොස්තර නුවරින් අල්ලයි

වෛද්‍යවරියක් ලෙස පෙනීසිටි කාන්තාව
වෛද්‍යවරියක් ලෙස පෙනීසිටි කාන්තාව

සෑම වෘත්තියකම හොරු වංචාකාරයෝ සිටිති.ඔවුන් සිදු කරන්නේ මුදල් හෝ දේපොළ හොරා කෑමය.මේ අතර සමාජයේ පිළිගත් පුද්ගලයන් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වංචා කරන්නෝද සිටිති.රැකියා අවස්ථා හෝ කිසියම් වරප්‍රසාදයක් ලබාදෙන බව කියමින් මුදල් වංචා කිරීම ඔවුන්ගේ පුරුද්දය.ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගැනීම සඳහා පිළිගත් වෘත්තියක නිරත පුද්ගලයෙකු ලෙස පෙනීසිට තරුණියන් ආමාරුවේ දැමූ පුද්ගලයින් පිළිබඳවද අපි අසා ඇත්තෙමු.යම් පුද්ගලයකු මේ ආකාර වංචාකාරයෙකුට ගොදුරුවී මුදල් හෝ දේපොළ අහිමි කර ගැනීමට වඩා තම ජීවිතය අවධානමකට ලක්කර ගැනීමට පුද්ගලයෙකුට සිදුවන්නේ නම් එය සුළුපටු කාරණයක් නොවන්නේය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියක් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් රැසකට ප්‍රතිකාර කළ හතළිස් හැවිරිදි කාන්තාවක් විසින් සිදුකර තිබුණේ මේ ආකාරයට රෝගීන්ට වංචාකර ඔවුන්ගේ ජීවිත අවධානමකට ලක් කිරීමයි.

මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා මෙම ව්‍යාජ වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හිරෝෂිණි කෞෂල්‍යා හෙට්ටිආරච්චි මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.ඇය මෙම සිදුවීමට සම්බන්ධ වීමට හේතුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරියක ලෙස ඇය ලියාපදිංචිව සිටින 18565 අංකය අත්අඩංගුවට ගත් කාන්තාව විසින් වෛද්‍යවරියක බව හැඟවීම පිණිස භාවිතකර තිබීමය.යාන වාහන පාවිච්චි කරමින් ව්‍යාජ ෆේස් ගිණුමක් ඔස්සේ තමන් වෛද්‍යවරියක බව හැඟවීමට අවශ්‍යය තොරතුරු සමාජගත කරමින් සැකකාරිය ගම්පහ,ම ිනුවන්ගොඩ හා මීගමුව යන ප්‍රදේශ වල පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරතව යහමින් මුදල් උපයා තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මම 2002 අප්‍රේල් 01 දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තා. සිමාවාසික පුහුණුව අවසන් කරලා 2004 පෙබරවාරී 03 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අංක 18565 යටතේ ලියාපදිංචිය ලබා ගත්තා. ගම්පොළ, මහනුවර දැඩි සත්කාර ඒකකයේ සේවය කිරීමෙන් පසු මම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියක ලෙස පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවයට එක් වුණා.පොළොන්නරුව ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලෙස සේවය කරන ප්‍රියාන් කුරුකුලසූරිය මගේ සැමියා. ඔහු විශේෂඥ පුහුණුවට එක්සත් රාජධානියට යත්දී මමත් ඒ සමඟ ගියා.පසුව යළි මෙරටට පැමිණ මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මම සේවයේ නිතර වුණා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබාගත් සහෝදර ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු මට කතා කරලා වෛද්‍ය සභාවේ මගේ ලියාපදංචි අංකය ඇහුවා. මම අංකය කිව්වට පස්සේ මේ අංකයටම ගම්පහ පැත්තේ තවත් විශේෂඥ වෛද්‍යවරියක් ඉන්නවා එයා මහචාර්යවරියක් කියලා කිව්වා. ගෙවල් වලට ගිහින් ප්‍රතිකාර කරන බවත් ශල්‍යකර්මයක් කළ යුතුව තිබෙන රෝගියෙකුට සැත්කම නොකර ඖෂධ ලබාදී තිබෙන බවත් කියලා එයාගේ විසිටින් කාඩ් එකක් මට එව්වා. ඒක පරීක්ෂා කළාම තමයි තේරුණේ වැඩේ බරපතළකම.මෙයා මගේ විස්තර ඔක්කොම අරගෙන මම වගේම පෙනී ඉඳලා.... විශේෂඥ වෛද්‍ය එච්. කේ හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.

සැකකාර කාන්තාවගේ පෙනුම විශේෂඥ වෛද්‍ය හෙට්ටිආරච්චි මහත්මියගේ පෙනුමට තරමක් සමානය. ඇය එච්.කේ හෙට්ටිආරච්චි නමින් ව්‍යාජ ෆේස් ගිණුමක් සකස් කර ප්‍රසව හා නාරිවේද විශේෂඥවරියක ලෙස කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බව සඳහන් කර තිබේ. වෛද්‍ය උපාධිය ලබාගත් අවස්ථාවේ ඡායාරූප බවට හැඟවෙන ඡායාරූප කිහිපයක්ද එහි පළකරන්නට තරම් ඇය සූක්ෂම වී ඇත.

මිනුවන්ගොඩ ප්‍රතිකාර මධ්‍යස්ථානය

විසිටින් කාඩ්පතේ තියෙන තොරතුරු අනුව අපි මේ කාන්තාවගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළා. ඇයගේ ෆේස් බුක් ගිණුමේ සඳහන් වෙනවා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය කියලා. මේ අංශ දෙකේම සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරු ලංකාවේ නැහැ.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලෙසත් මහාචාර්යය ලෙසත් සඳහන් කර තිබෙනවා. මහාචාර්යය තනතුරට උසස් වූ විට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලෙස භාවිත කරන්නේ නැහැ.අනිත් පැත්තෙන් මහචාර්යවරු ගෙවල් වලට ගහින් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ. මට ෆේස් බුක් ගිණුමක් නැති නිසා මගේ සැමියා වන විශේෂඥ වෛද්‍ය ප්‍රියාන්ගේ ගිණුමෙන් මිතුරකු වීම සදහා ඇයට ඉල්ලීමක් කළා. ටික වේලාවකින් එච්. කේ. අයි හෙට්ටිආරච්චි නමින් පෙනී සිටි ඇය එය අනුමක කළා. ඒ සැණින් ඇයගේ ගිණුමේ තිබෙන දේවල් පහසුවෙන් අපට බලා ගන්න පුළුවන් වුණා. මිනුවන්ගොඩ නගරයේ ( Familycare Medical Center) නමින් පවුලේ වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යන බවත් එහි සඳහන් කර තිබුණා.

මහනුවර ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතාට මම මේ සියලු කරුණු ඉදිරිපත් කළා. අනතුරුව ඔහු මගින් වෛද්‍ය සභාවටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අංශයටත්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයටත් පැමිණිලි කළා. ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට සහ මිනුවන්ගොඩ වෛද්‍ය නිලධාරි කාර්යාලයටත් දැනුම් දුන්නා.මේ කාන්තාව මිනුවන්ගොඩ, ගම්පහ සහ මීගමුවේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙයා ලබාදී තිබෙන ඖෂධ වට්ටෝරු කිහිපයක් අපි හොයා ගත්තා. ඒ ලබාදී තිබෙන ඖෂධ අතුරු ආබාධ ඇතිකරන ඒවා බව බැලූ බැල්මට පේනවා. මෙයාගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් කොපමණ ඉන්නවාද කියලා අපිට හරියටම කියන්න බැහැ. වෛද්‍යවරයෙක් නොවී රෝගීන්ට බෙහෙත් නියම කරනවා කියන්නේ බරපතළ කාරණයක්. විශේෂඥ වෛද්‍යවරිය පවසයි.

ඇය මෙම සිදුවීම සම්බන්ධව මහනුවර පොලීසියට පැමිණිලි කරනු ලබන්නේ පසුගිය 18 වැනිදාය. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශය මඟින් මේ බව මිනුවන්ගොඩ පොලීසියට දැනුම් දී සැකකාරිය මහනුවරට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත. පසුගිය 21 දින ඇය මහනුවර පොලීසියට පැමිණෙන බව දැනුම් දී තිබුණත් ඇය පැමිණ තිබුණේ පසු දිනය. ඒවන විටත් තම බොරුව හෙළිවී තිබෙන බව දැනගෙන තිබූ සැකකාරිය ෆේස්බුක් ගිණුමත් වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයත් වෙනස් කිරිමට පියවර ගෙන තිබිණි. ඇය අලුතින් යොදා තිබූ වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයද ව්‍යාජ එකක් බව පසුව අනාවරණය විය.අදාළ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය වෙත යොමු කීරිමට මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පිවවර ගෙන තිබිණි. එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. බී. ගුරුනායක මහතා ගේ මෙහෙයවීමෙන් අදාළ විමර්ශන ආරම්භ විය. සැකකාර කාන්තාව ඒ වනවිට මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ කට උත්තරයක්ද ලබාදී තිබිණි. විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා හමුවට ඇය පසුගිය 24 දින ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.එම අවස්ථාවේ මහේස්ත්‍රාත් වරයා විවෘත අධිකරණයේ පවසා තිබෙන්නේ මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීම විහිළුවක්ද යනුවෙනි...

 

Comments