මානව හිමිකම් ප්‍රශ්නය උඩු දිව්වේ අපේම වරදින් | සිළුමිණ

මානව හිමිකම් ප්‍රශ්නය උඩු දිව්වේ අපේම වරදින්

ජිනීවා මානව හිමිකම් නොමිසම හා එයට ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාර මෙන්ම වසර ගණනාවක් තිස්සේ මේ ලෙසින් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාතික සාවද්‍ය ප්‍රචාර ගොඩ නැඟීම සම්බන්ධවත්, ශ්‍රී ලංකාව එයට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න ගැනත් අද සිළුමිණට අදහස් දක්වන්නේ මෙරට පුරාවිද්‍යාඥයකු ලෙස දශක ගණනාවක් කටයුතු කළ බංග්ලාදේශයේ වත්මන් ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නයි.

 

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කළ යුද අපරාධ චෝදනා මානව හිමිකම් කඩවීම් සම්බන්ධ චෝදනා වසර ගණනාවක් තිස්සේ ඇදී යාමේ සිදුවීම් මාලාව ඔබ දකින්නේ කෙසේද?

 

ප්‍රධාන වශයෙන්ම අපි උතුරු නැඟෙනහිරට සිදු කළ සේවාවල් අන්තර්ජාතිකව පැතිර ගියේ නැහැ. උතුරු නැඟෙනහිර යුද්ධයෙන් අවතැන් ජනතාව වෙනුවෙන් රජය සිදු කළ සංවර්ධන කටයුතු, ඒ ජනතාවගේ ජීවන වෘත්තිය නඟා සිටුවන්න කළ ක්‍රියාදාමය පවා බටහිර රටවල් අතරට ගියේ නැහැ. මේ නිසා දෙමළ ඩයස් පෝරාවත් උතුරේ ජාතිවාදී කණ්ඩායම් සහ කොටි සංවිධානයේ අන්තර්ජාතික ක්‍රියාකාරීන්ගේ හඬ අවදි වුණා.

 

ඔබ කියන්නේ එම සංවර්ධන කටයුතු වගේම යුද්ධයෙන් විපතට පත් දෙමළ ජනතාවට සිදු කළ සේවාවන් ගැන රජය සිදු කළ ප්‍රචාර මදි බවද? නැත්නම් ජාත්‍යන්තරය අප කළ සේවාවන් නොසලකා හැරි බවක්ද?

 

ඔවුන් කොහොමත් ඒවා නොසලකා හරින්නයි බලාගෙන ඉන්නෙ, එහෙම තත්ත්වයක් තුළ සිදු කළ සංවර්ධනයන් අන්තර්ජාතිකව ප්‍රචාරය කරන්නට රජය අසමත් වුණා. ඒකෙන් දෙමළ ඩයස් පෝරාවේ එල්ටීටීඊ ක්‍රියාකාරීන්ගේ මතය නිකම්ම ගලා ගෙන යනවා.

 

යුද්ධයෙන් පසුව සිදු කළ මේ සංවර්ධන කටයුතුවලින් ජනතාවට ඔබ කියන තරම් සේවයක් වුණත් ඒ සේවාව ජනතා හදවතට දැනී නැති බවක් පේනවා නේද?

 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමයේ කළ බොහෝ දේ ජනගත වුණේ නැහැ. අන්තර්ජාතිකව පමණක් නෙමෙයි මේ රටේ වුණත් ජනතාව අතරට ගියේ නැහැ. ජනාධිපතිතුමා අපට පවසා තිබුණා සියලු ජාතීන් වෙනුවෙන් සියලු ආගමික ස්ථාන සම්බන්ධව කටයුතු කරන්න කියලා. ඒ අනුව අපි යුද්ධයෙන් විනාශයට පත් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සියලු දේ පිළිබඳව විස්තර සපයා දුන්නා. ඒ සියල්ල යළි ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කළා.

ඒ විතරක් නෙමෙයි සියලුම ජාතික අනන්‍යතාවන් ඒකාබද්ධ කරගෙන බහු ආගමික කෞතුකාගාරයක් කතරගම ස්ථාපිත කළා. පසුව ගාල්ල කොටුව සහ මාතර කොටුවත් මාතර පල්ලිය ආදිය කේන්ද්‍ර කරගෙන අපේ උරුමය අනුව පුරා විද්‍යා ස්ථාපිතයන් නම් කළා. එහිදී අපි ඒ ස්ථාන යටත්විජිත කාලයේද කුමන ආගමේද යන්න ගැන අවධානය යොමු කෙළේ නැහැ.

අප අවධානය යොමු කෙළේ ඒ සියල්ල අපේ උරුමයන් ලෙසින් පමණයි.

පොලොන්නරුවේ බෞද්ධ සිද්ධස්ථාන අතර හින්දු දේවාල 15ක් 20ක් පමණ තියෙනවා. ලෝකෙ මොන රටේද ඒ විදිහට සම්මිශ්‍රනයක් තියෙන්නෙ. අපි මේ අපේ උරුමය නිසි පරිදි රැක ගැනීම මිසක් මේක බෞද්ධ රටක් කිය කිය කෑගහල හරියන්නෙ නැහැ. ඒකෙන් වෙන්නෙ බටහිර රටවල් අපේ රටේ ජනතාව ම්ලේච්ඡ ජන කොටසක් කියල හිතන එකයි. ඒ ලේබල් එකෙන් අපි ගැලවෙන්න ඕන.

අපේ රටේම ජන කොටසක් වුවත් ටීඑන්ඒ නැත්නම් දෙමළ ජාතික සන්ධානයත් රටට එරෙහිව වැඩ කරනවා නේද?

 

ටීඑන්ඒ ආරම්භයේදී එල්ටීටීඊ සංවිධානයට බයේ හැංගිලා හිටියෙ, ඒ අයටත් ආරක්ෂාව දුන්නෙ රජයෙන්, ඒ වගේම හමුදාවෙන් යුද්ධයෙන් පසු ඒ අය එල්ටීටීඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයන් බවට පත්වුණා. අද ඒ අය තමන්ට රැකවරණ දීපු ආණ්ඩුවට එරෙහිව හමුදාවට එරෙහිව කටයුතු කරනවා. ඒක එයාලගෙ පැවැත්ම උදෙසා කරන දෙයක්

 

■ නමුත් ඔවුන් උතුරේ ජනතාවගේ හඬ බවයි ලෝකයට පෙන්නුම් කරන්නෙ?

 

ඒ අය උතුරට කරපු එක දෙයක් කියන්න. එක බස් නැවතුමක් හදල දුන්නද? පාසලකට කාමරයක් හදල දුන්නද? අපේ වරදින් තමයි ඒ අය දෙමළ ජනතාවගේ නියෝජනය, දෙමළ ජනතාවගේ හඬ බව පෙන්නුම් කරන්නෙ.

 

යුද අපරාධ විමර්ශනය කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමේ ඉල්ලීමට ටීඑන්ඒ පෙරමුණ ගෙන සිටීම ගැන ඔබ දරන මතය කුමක්ද?

 

ඒ අයගේ පැවැත්ම තියෙන්නෙ ඒ මතවාදයන් ගෙන හැර දැක්වීම් මතයි. ඔවුන් උතුරේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය නෙමෙයි. විශේෂයෙන්ම කුල වාදයෙන් තමන් උසස් යැයි පෙන්වා දෙමින් ඉන්නා ඔවුන් දෙමළ ජනතාව උපයෝගී කරගන්නේ තමන්ගේ පැවැත්මට දෙශපාලන වාසි තකායි. උතුරේ අද වුණත් ජනතාවට ප්‍රශ්නයක් වුණොත් බලන්නෙ හමුදාව මිසක් ඔය කියන අය නෙමෙයි. මට සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා ටීඑන්ඒ කිසිවෙක් බස් නැවතුමක්වත් හදලා දුන්නෙ නැහැ කියලා.

 

රාජ්‍ය නොවන සංවිධානත් මේ පිටුපස ඉන්න බව සමාජ විචාරයකයන් කියනවා.

 

අනිවාර්යෙන්ම, රාජ්‍ය නොවන සංවිධානවල පැවැත්ම තියෙන්නෙ මේ වගේ දෙවල් සිදු කිරීමෙන් තමයි. නැත්නම් කොහොමද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරී වන්නේ. එයාල මුදල් උපයා ගන්නෙ.

 

මේතරම් සංවර්ධනයක් දෙමළ ජනතාවට සිදු කරද්දිත් මෙරට තුළත් විවිධ අන්තර්ජාතික සංවිධාන ක්‍රියාත්මක වෙද්දි කුමනාකාරයෙන්ද මේ බොරු මත ප්‍රචාරය වන්නෙ?

 

එක උදාහරණයක් දෙන්නම් ඇමිනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානය ඉතා දුක්බරව ඉන්න ජනතාවගේ කදවුරු ඡායාරූප ගත කරල අන්තර්ජාතිකව මත නිර්මාණය කරනවා. මම දැක්කා එවන් එක් සේයාරුවක පිටුපසින් තියෙනවා ‘සුනාමි අනාථ කදවුර කියලා‘ ඔන්න ඕකයි තත්ත්වය. අපේ නිසි ප්‍රචාරණයක් නැහැ.

 

සියලු රටවල් මේ අන්තර්ජාතික බොරු ප්‍රචාර විශ්වාස කරනවා කියලද ඔබ හිතන්නෙ. නැත්නම් අපේ ප්‍රචාරක දුර්වලතාවය පමණක්ම කියලද ඔබ හිතන්නේ?

 

එල්ටීටීඊයට හිතවත් සියලු ඩයස් පෝරාවන් විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව ප්‍රචාර මෙහෙයවනවා. වෙබ් අඩවි ඇතුළු මාධ්‍ය 500ක් විතර අපට විරුද්ධව හඬ මෙහෙයවනවා. ඒ මාධ්‍යවලට විරුද්ධව අප නැඟී සිටිය යුතුයි.

බංග්ලාදේශයේත් එවැනි තත්ත්වයක් ඇතිවුණා. අල්ජසීරා මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර ගෙනගියා බංග්ලාදේශය නඩු පැවරුවා. දැන් අල්ජසීරා මුණිවත රැකගෙන ගොළුවෙලා ඉන්නවා කර කියා ගන්න දෙයක් නැතිව.

අපි ඒ වෙනුවෙන් කටයුතු නොකිරීම නිසයි අපේ ආරක්ෂාව වෙනුවෙන් මාධ්‍යක් නැත්තේ. අපට එක පාරක් ගැහුවොත් අපි දෙතුන් පාරක් ගහන්න ඕන. එහෙම නැතුව මේ අන්තර්ජාතික බොරු ප්‍රචාර නවත්වන්න බැහැ.

 

ඇතැම් බලවත් රටවල් තම රටවල දෙමළ ඡන්ද මත යැපෙන දේශපාලන නායකයන්ගේ බලපෑම් හේතුවෙන් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව අවමානයට ලක් කරන බව පැවසෙනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්

 

මේ සියල්ල පිටුපස ඉන්නෙ කොටි හිතවාදී දෙමළ ඩයස් පෝරාවයි, රාජ්‍ය නොවන සංවිධානයි බව අප මතක තබා ගත යුතුයි. පෙර පැවසූ පරිදි අපේ රටේ සම්පත් නතු කර ගන්න බලා ඉන්න අයට ඒ ක්‍රියාකාරකම් ලොකු හයියක්.

 

දරුස්මාන් වාර්තාව, චැනල් 4 මේ සියල්ල මත තමයි බටහිර රටවල් ක්‍රියා කරන්නේ, ඇයි උගත් පාඩම් කොමිසමේ වාර්තාව, පරණගම වාර්තාව වැනි මෙරට ජනතාවගේ අයිතීන් රැක දීම උදෙසා කටයුතු කළ වාර්තාවන්ගෙන් කරුණු පෙන්නුම් නොකරන්නේ. රජය ඒ අතිනුත් අසමත් කියලද ඔබ කියන්නෙ?

 

පසුගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් සමුළුවට ගිහින් සම අනුග්‍රාහකත්වයට එකඟ වුණානෙ. අපේ මිත්‍ර රටවල් අපෙන් අහනව ඔබලගෙ ඇමැතිවරුන්ම ඇවිත් වැරැදිකාරයො බවට පිළි ගත්තයින් පසුව අපි මොනවද කරන්නෙ කියල. ‘අපි වැරැදි කළා තමයි. අපි එකතු වෙලා දඬුවම් කරමු‘ කියල ඇමැති කෙනෙක් එකඟවෙලා ආවහම අනෙක් රටවල් අපි ගැන කතා කරයිද? ඒ අය හිතන්නෙ අපි මහ මෝඩ පිරිසක් කියලා. කොටි හිතවාදීන්ගේ අවශ්‍යතා එතැනින්ම ඉටුවෙලා ඉවරයි.

අමුතුවෙන් අපිට කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.

 

ඉදිරි සැසිවාරවලදී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සිටින අපගේ මිතුරු රටවල් කෙරෙහි කොපමණ විශ්වාසය තැබිය හැකිද?

 

අපි මේ වන විට තානාපතිවරුන් සමඟ කතා කර තිබෙනවා. අපේ රටේ සැබෑ තත්ත්වය ඒ අයට පැහැදිලි කර දෙනවා.

 

මේ චෝදනා අන්තර්ජාතික වශයෙන් අප රට නතු කර ගැනීමට දරන වෑයමක් විය නොහැකිද?

 

අනිවාර්යෙන්ම අපේ රට නතු කර ගැනීමට දරන වෑයමක් තමයි. ඒකට ඕනතරම් හේතු තියෙනවා. අපේ රට ආර්ථික මර්මස්ථානයක්. ඒ වගේම අපේ සමුද්‍ර කලාපය බොහෝ වටිනවා, එමෙන්ම අපේ රටේ අභ්‍යන්තරික සම්පත් මේ සියල්ල නතු කර ගැනීමට ඔවුන්ට ලොකු වුවමනාවක් තියෙනවා.

 

  මේ චෝදනාවලින් මිදීමට අප කුමක් කළ යුතුයැයි ඔබ සිතන්නේද?

 

අපි අනිවාර්යෙන්ම ඒකීය ශ්‍රී ලංකාවක් ලෙසින් මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. බෙදී වෙන්ව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න බැහැ. එහෙම මේ ප්‍රශ්නයට මුහුණ දෙන තෙක් අපට මේ සාවද්‍ය චෝදනාවලින් ගැලවෙන්න බැහැ.. බුදු හාමුදුරුවෝ දේශනා කළ පරිදි ජාතීන් දෙකයි ලංකාවෙත් ඉන්නෙ. ඒ මනුස්ස ජාතියයි. සත්ත්ව ජාතියයි. ඒ ගැන අවධානය යොමු කළොත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන එක අසීරු නැහැ.

 

එහෙත් මේ උගුලෙන් ගැලවෙන්න අප දරන උත්සාහය මදි බව පේනවා නේද?

 

විදේශ කටයුතු අමාත්‍යාංශයයි ජනාධිපති කාර්යාලයයි එකතු වෙලා බොහෝ දේ කරනවා. ඒත් අපි සියලු දෙනා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව තමයි මේ උගුලෙක් ගැලවෙන්න කටයුතු කළ යුතු වන්නේ. සියලු ජාතික අපේ සහෝදර සහෝදරියන් එකතු වෙලා මේ තත්ත්වය වෙනස් කරන එකයි කළ යුත්තේ අපට කරන චෝදනාවලින් වැජඹෙන්න බලා ඉන්න කට්ටියකුත් ඉන්නවා.

 

නමුත් අපේ රටේ දෙමළ ජනතාවට විශේෂයෙන්ම අනාගත දෙමළ ජාතික දරුවන්ට අපේ ඉතිහාසය දැන ගැන්මට ක්‍රමයක් නැහැ නේද?

 

මතුපිටින් ඒ ක්‍රියාකාරකම් පේන්න නැහැ තමයි. නමුත් ඩයස් පෝරාවට පවා අපි දෙමළ භාෂාවෙන් පොත් ගැහුවා. වීර කතා දෙමළෙන් මුද්‍රණය කළා. එවකට සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා සියලු සංස්කෘතික ස්ථාන විශේෂයෙන්ම කෞතුකාගාර සියල්ලේම භාෂා තුනෙන් නාම පුවරු තිබිය යුතු බව. අපි ඒ සේරම කළා. නමුත් අපේ ඒ ව්‍යායාමය ගඟට ඉනි කැපුවා වගේ වුණා. 2015 අවුරුද්දෙන් පස්සෙ ඒ සියල්ල වෙනස් වුණා.

 

වත්මන් ජනාධිපතිතුමාගේ පත්වීමෙන් පසුව මේ චෝදනා වැඩි අවධානයකින් යොමු වූ බවක් පේනවා නේද?

 

ඔව්. ඒ බව පැහැදිලියි, පහුගිය අවුරුදු 5ම ඒ අය නිහඬව සිට දැන් හඬ අවදි කරනවා. මෙයින්ම අපට පැහැදිලියි ජනාධිපතිවරයාගේ පත්වීමෙන් ඒ අයට අවශ්‍ය දේ කර ගන්නට බැරි බව. එමනිසා ඔවුන්ට හැකි ආකාරයෙන් අපට රිදවන්න බලනවා

 

මේ ලෙසින් ඔවුන්ට ඕනෑම රටකට විවිධ චෝදනා නඟන්න පුළුවන්නෙ

 

ඔව් තමන්ට යම් රටකට චෝදනා නඟා තමන්ට අවශ්‍ය දේ කර ගැන්මට මේ සංවිධාන රටවල් එකමුතුව කටයුතු කරන බව පැහැදිලියි. එම නිසා අපිට තද කරන්න පුළුවන් උපරිම ලෙසින් ඒ අය අප හිර කරනවා.

ඕනෑම රටක ඒ අයට ඕන විදිහට ආයෝජන කරන්න ඉඩ දෙන්නෙ නැත්නම් ඒ අයගේ අවශ්‍යතා පරිදි කටයුතු කරන්නේ නැත්නම් මුදල් ලබා දී හෝ ආගමික පිරිසක් හෝ ඇවිස්සීමෙන් ‘මෙන්න මානව අයිතිවාසිකම් නැති කරනවා‘ කියල පෙන්නුම් කරනවා.

අපේ රටවලට මානව හිමිකම් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඉතිහාසයේ ඉදන් අපේ රටේ රජවරු සහ රටවැසියන් මානව අයිතීන් වෙනුවෙන් හොඳින් සොයා බලා කටයුතු කර තිබෙනවා.

Comments