නරුම දිය­ණි­යක් නිසා අපා­දුක් විඳින මවු­පි­යන් යුව­ළක් | සිළුමිණ

නරුම දිය­ණි­යක් නිසා අපා­දුක් විඳින මවු­පි­යන් යුව­ළක්

දියණිය විසින් ගිනි­තැබූ නිවෙස
දියණිය විසින් ගිනි­තැබූ නිවෙස

සිය දරුවන් වෙනුවෙන් ජීවිතයම කැප කරමින් ඔවුන්ගේ සතුටම, දියුණුවම පැතූ අහිංසක දෙමවුපිය යුවළකට කුරිරු වදහිංසා පමුණුවා අවසානයේ ඔවුන් විසු නිවෙසට ද ගිනි තැබූ නරුම දියණියක් පිළිබඳ පුවතක් කටුගස්තොට හල්ලොලුව ග්‍රාමයෙන් වාර්තා වේ. මෙම මවුපිය යුවළගේ එකම දියණිය වන ඇය මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන්නීය.

මෙම නරුම දියණියගේ පියා ගේ වයස අවුරුදු 69 කි. ඔහු රැකියාව වශයෙන් කරනු ලබන්නේ කොසු ඉදල් සෑදීමය. වටේ පිටේ තිබෙන ලී දඬු ටිකක්, සැමන්ටින් ටිකක් මෙන්ම ඉරටු කූරු ටිකක් සොයාගෙන ඉදල් කොසු හදන ඔහු නමින් සරත් ආනන්ද මෙන්ඩිස්ය. මව බරිගම ගෙදර කමලාවතීය. ඇයගේ වයස අවුරුදු 66 කි.

ඔවුන් දෙදෙනා තම එකම දියණිය ඇස්දෙක වගේ රැක බලාගෙන ලොකු මහත්කර උසස් පෙළ දක්වා උගන්වා තිබේ. අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු දෙමාපියන් විසින් ඇයට සින්නක්කරම ඉඩමක්ද ලියා දී තිබේ. යෞවන වියට පා තැබු මෙම දියණිය නිවෙස ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයකු හා පෙම් සබඳතාවක් ඇති කරගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට මේ වන විට වයස අවුරුදු 7 ක පමණ ගැහැනු දරුවකු ද සිටින බව වාර්තා වේ.

මෙම දියණිය විසින් තම දෙමාපියන්ව බොහෝ කාලයක පටන් කුරිරු වදහිංසාවලට ලක්කර තිබේ. මව මාළු සේදු වතුරින් නහවා ඇති අතර; ඇයගේ කුඩා දියණිය ලවා මවගේ සිරුරට මූත්‍රා කරවාද තිබේ; අවස්ථා ගණනාවකදී බත් පිඟානට කෙළ ද ගසා තිබේ. නිතරම පහර කෑමට ලක්වන මව ඒ පිළිබඳව කටුගස්තොට පොලිසියට කිහිප විටක්ම පැමිණිලි කර ඇති අතර; පොලිසිය විසින් ඇයගේ දියණිය අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවා නඩු පවරා තිබේ.

අධිකරණයෙන් ඇප ලබා නිවෙසට පැමිණ සිටි මෙම නරුම දියණිය පසුගිය දිනෙක නැවතත් සුපුරුදු පරිදි මව හා පියා සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර; එම අවස්ථාවේ තම පියාට අයත් ත්‍රීරෝද රථයට උදැල්ලකින් කොටා විනාශ කර මවට පහරදී ඇයගේ පිට සපා කා තුවාල සිදුකර කර ඇත.

තම පිට හපා කෑමෙන් දැඩි වේදනාවට පත්ව ඇති මව නිවෙසින් පිටව ගිය පසු ඔවුන් දැනට පදිංචිව සිටින නිවෙසට (ඔවුන්ගේ නිවෙස ඇය විසින් අත්පත්කර ගෙන ඇති නිසා මව හා පියා නිවෙසට යාබදව ඉදිකළ කුඩා කටුමැටි ගැසු කාමරයක පදිංචිව සිට ඇත.) ගිනි තබා විනාශ කර තිබේ. ගින්නට අසුවීමෙන් විනාශ වූ දේවල් අතර ඉදල් කොසු සෑදීමට භාවිත කරනු ලබන උපකරණද ඔහුගේ ව්‍යාපාර බලපත්‍රය ද මුදලින් රුපියල් හයදහසක්ද තිබුණු බව පැවැසේ. මෙම නරුම දියණිය විසින් තම මවට සිදුකළ අනේක විධ හිරිහැර පිළිබඳව ඇයගේ මව වන බරිගම ගෙදර කමලාවති අප වෙත තොරතුරු හෙළි කළේ මෙසේය. ‘මම දුවට උසස්පෙළ දක්වා ඉගැන්නුවා.

එයා ශිෂ්‍යත්ව විභාගය වගේම සාමාන්‍ය පෙළත්, උසස් පෙළත් සමත් වුණා. ඉස්කෝ­‌ෙළන් ඉවත් වුණාට පස්සේ පුස්තකාල පාඨමාලාවක් කරන්න ඕන කිව්වා. ඒකටත් උදවු කළා. දෙමළ ඉගෙන ගන්න ඕන කිව්වා; පස්සේ මම හඳුනන ටීචර් කෙනෙකුගෙන් අහල පොත් ගෙනැල්ල දුන්නා.

එයා හොඳට දෙමළ දන්නවා. පස්සේ එයා තමන්ගේ ඉදිරි වැඩ තමන්ම කරගන්නම් කිව්වා. ගමන් බිමන් යනවා; වැඩපොළ කරගන්න තියෙනවා කියල යනවා. ඒ ගිහිල්ලා තමයි මට දැනගන්න ලැබුණෙ පල්ලෙහා ගෑස් එකේ අය එක්ක ඇවිදින්න යනවා කියලා. පස්සේ දවසක් එයා කිව්වා බඩ දැවිල්ලයි; ගෑස්ටික් වගේ කියලා. අපි දුව ව රෝහලට අරන් ගියා.

එහිදි දැන ගත්තා ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. පස්සෙ එයා කිව්වා පුද්ගලයෙක් ගැන. එයා කසාද බඳින්නත් කැමැතියි කිව්වා. ඒ වුණාට දුව කියන කෙනා විවාහකයෙක්. පවුලක් කඩාකප්පල් කරන එක අපරාදයක් කියල මම ලැබෙන්න ඉන්න දරුවා බාරගන්න බවට අත්සන් කළා. දැනුත් කියනවා තෝ තමා මේ දරුවා මරන්න නොදී අත්සන් කරල ගෙනාවේ; තෝ අත්සන් කරල ගෙනාවා නම් තෝ තමා ඉවර කරන්න ඕන; තෝ තමා වග කියන්න ඕන; මම ඔය දරුවා ඉස්පිරිතාලේ දාලා එන්න තමයි හිටියේ කියලා. දැනුත් කියනවා තෝ මරනවා, තොගෙන් පළි ගන්නවා කියලා. ළමයා හම්බවුණු දවසේ ඉඳල මට නිදහසක් නෑ. ඉස්සරෝම මට මෝල් ගහෙන් ගැහුවා. සපත්තු, ගල් ,පොලු මුගුරු ,රබර් පටි වලින් ගැහුවා. මෑතකදි මාළු හෝදන වතුරින් අපි නෑවුවා. ළමයගේ මුත්‍රා වලින් නාවනවා.

පාවිච්චි කරන්න වතුර පුරවපුවාම ඒකට කෙළ ගහනවා. නැතිනම් ළමයගේ කක්කා දානවා. මොනවා වුණත් කමක් නෑ දරුවා ගැන බලන්න කීවාම මට දොස් කියනවා. පසුගිය 22දා මට මාළු හෝදපු වතුර දැම්මා. 23දා බැරිම තැනම පොලිසියට ගිහින් පැමිණිලි කළා. පැමිණිල්ලක් දැම්ම නිසා තොට ඇසිඩ් ගහනවා කියනවා; ලාම්පු තෙල් දාලා ගිනි තියනවා කියනවා. මට රැකියාවක් නෑ; ළමයගේ පොත් ගන්න රුපියල් 2500 ක් ණයට අරගෙන දුන්නා. මොන්ටිසෝරියත් මට පැවැරුවා.

පසුගිය දවසක මහත්තයාගේ බඩුමුට්ටු කැඩුවා. ත්‍රීවිල් එකට උදැල්ලකින් කෙටුවා. මහත්තයා ඒ ගැන පැමිණිලි කරන්න පොලිසි ගියා. මම ගේ ඉස්සරහා වාඩිවෙලා හිටියා. පිටිපස්සෙන් ඇවිත් මගේ බෙල්ල මිරිකළා මගේ පිට හපා කෑවා. මට කලින් කිවුවානේ ලාම්පුතෙල් දාලා ගිනි තියනවා කියලා. මම තිබුණු බඩු ටිකකුත් අරගෙන එළියට දිවුවා ඇදගෙන හිටපු වස්තරේ පිටින්.

මම හල්ලොලුව හන්දියට යන්න කලින් අඳුරන ටීචර් කෙනෙක් කිව්වා අන්න ඔයාලගේ ගේ පැත්තේ දුමක් යනවා කියලා. මම කිව්වා මැඩම් මගේ දේවල් වලට දුව ගිනි තියනවා කිව්වා; මට පොලිසියට යන්නත් බෑ කියලා. මහත්තයා ආවම අපි දෙන්නා පොලිසියට ගියා“ පියා වන සරත් ආනන්ද මෙන්ඩිස් පැවසුවේ මෙවැන්නකි.

‘මමයි බිරිඳයි ගෙදරන් එළියට දාලා අවුරුදු අටයි මාස තුනක් විතර වෙනවා. ඊට පස්සේ අපිට ඉන්න තැනක් නැති නිසා කොසු ඉදල් හදන ව්‍යාපාර ස්ථානයේ පදිංචි වුණා. එතැන ඉන්න දෙන්නෙත් නෑ; හැමදාම ගහනවා. පොලිසියට යනවා; වන් වන් නයින් ගහනවා; උසාවි දැම්මා දෙපාරක්; එයා රිමාන්ඩ් කරලත් හිටියා. එක පාරක් නඩුකාරතුමා නුවර ඉස්පිරිතාලේ 39 මානසික වාට්ටුවට දාන්න කියල කටුගස්තොට පොලිසියට දැනුම් දුන්නා.ඒකෙත් දවස් හතක් ඉදල ආවා.

එකේ ප්‍රතිඵල මොකුත් නෑ කියලා. පස්සෙ මම දවසක් ගිහින් ඇහුවට පස්සේ කිව්වා සීයටයි ආච්චිටයි පිස්සුද එයාට නම් පිස්සු නෑ කියලා. ඊට පස්සේ හැමදාම ගහනවා පවුලට තමා වැඩිපුර ගහන්නේ. ඉස්කෝලේ යන කාලේ හොඳට ඉගෙන ගන්න පුළුවන් නිසා උඩහ කුඹුරත් සින්නක්කරම ලියල දුන්නා.

ගෑස් එකේ කොල්ලෙක් යාළුවෙලා කිව්වා. ළමයෙක් උපදින්න ආවා පස්සේ අපි ඒ කොල්ලා හොයාගෙන බුලත්කොහුපිටියට ගියා. එයාගේ නෙමෙයි කිව්වා. ළමයා ඉපැදුණාට පස්සේ අපි ළමයා පුළුවන් විදියට හදා ගමු කියල ගෙනාවා.

මාස දෙකක් ගියාම ළමයා මරන්න හදනවා. පස්සේ එම්. ඕ. එච් ඔෆිස් එකට ගියා. ඩී. ආර් ඔෆිස් එකට ලිඛිතව දැනුම් දුන්නා. මම කොළඹ පොලිස් මුලස්ථාන සහන මැදිරියටත් ගියා. මම ඩ්‍රයිවිනුත් කළා; වඩුවැඩ කළා මොන දේ කළත් වැඩක් නෑ. ඔක්කොම විනාශ කරනවා. පස්සේ එයා ජනවාරි 23 දින සිට ඇප පිට හිටියේ. 23 සිට මේ දක්වා පැමිණිලි හයක් දැම්මා.

මගේ ත්‍රීවීල් එකට උදැල්ලකින් කෙටුවා. එදා මම පොලිසියට පැමිණිල්ල දාන්න ගිය වෙලේ මගේ නෝනගේ පිට හපා කාල එයා ගියාට පස්සේ ගෙට ගිනි තියලා. නෝනා ඉස්පිරිතාලේ නැවතිලත් හිටියා.

පස්සේ කටුගස්තොට පොලිසියේ අපරාධ අංශයෙන් මහත්තුරු ඇවිත් එයා අත්අඩංගුවට ගත්තා උසාවි දැම්මා ’

මෙම කාන්තාවට උසාවියෙන් ඇප නියම කර තිබුණත් ඇප දීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව කටුගස්තොට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙක් පැවැසීය.

කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්. ඩබ්ලිව්. එස්. උවින්දසිරිගෙන් මේ සිදුවීම පිළිබඳව කළ විමසීමේදි ස්ථානාධිපති කියා සිටියේ තමා හැදූ වැඩූ දෙමවුපියන්ට මෙවැනි අපරාධ කරන අයට නීතියෙන් මෙන්ම කවදා හෝ සොබාදහමෙන්ද දඬුවම් ලැබෙන බවය.

 

Comments