උඩ­රට කැරැ­ල්ලට වසර 206 යි | Page 2 | සිළුමිණ

උඩ­රට කැරැ­ල්ලට වසර 206 යි

ලාංකීය ඉතිහාසයේ මහ හැරවුම් ලක්ෂ­්‍යක් සනිටුහන් කරමින් සහශ්‍ර දෙකකට අධික කාලයක් අවිච්ඡින්නව රැකගත් ශ්‍රී ලංකාවේ නිදහස් පාලනය අහෝසි වී ගියේ 1815 මාර්තු මස 2 වැනි දින මඟුල් මඩුවේදීය. ඒ උඩරට ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙනි. එදින ප්‍රකාශ වූ මේ ගිවිසුම අත්සන් කළේ මාර්තු මස 10 වැනි දින හා උඩරට නිලමේවරුන්ගේ අත්සනින් සම්පූර්ණ වූයේ මාර්තු මස 18 වැනි දිනය‍. එදින ඉංග්‍රීසි පක්ෂය වෙනුවෙන් ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරතුමා ද සිංහල පක්ෂය වෙනුවෙන් මොල්ලිගොඩ (ප්‍රථම අධිකාරම් හා සත්කෝරලේ දිසාව) පිළිමතලව්වේ (දෙවැනි අධිකාරම් සහ සබරගමුවේ දිසාව) මොනරවිල කැප්පෙටිපොල (ඌවේ දිසාව) රත්වත්තේ (මාතලේ දිසාව) මොල්ලිගොඩ (තුන් කෝරලේ දිසාව) දුල්ලෑව (වලපනේ දිසාව) මිල්ලෑව ( බින්තැන්නේ දිසාව) සහ ගලගම (තමන්කඩුව දිසාව) යන අය එදින අත්සන් කළහ.

පෘතුගිසීන්ට හෝ ලන්දේසින්ට අල්ලා ගැනීමට නොහැකි වූ කන්ද උඩරට රාජ්‍යයේ බලය ඉංග්‍රීසි පාලනයට නතුවීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ උඩරට ප්‍රභූ රදල නායකයන් අතර ඇති වූ අසමගිය, නායක්කාර් වංශික රජවරුන්ගේ මෙන්ම ජෝන් ඩොයිලි වැනි ඉංග්‍රීසි නිලධාරීන්ගේ ක්‍රියා කලාපයයි. 1739 ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු නීත්‍යානූකූල උරුමක්කරුවකු නැතිව මියගියත් රජුට දාව සිංහල ප්‍රභූ කුමාරිකාවක් බිහි කළ උහමුබුවේ බණ්ඩාරට රජකම ලබා දීමට සිංහල ප්‍රධානීන් උත්සාහ දැරුවත් ඇතැම් සිංහල ප්‍රධානීන් නායක්කාර් වංශික බිසවගේ සහෝදරයා වූ ශ්‍රී විජය රාජසිංහට රජකම ලබා දීමට කටයුතු කළහ. සිංහල රදල පවුල් අතර පැවැති අසමගිය නිසා අවසානයේ ඔහු රජවිය. එමෙන්ම පසුකාලීනව පිළිමතලාවේ අධිකාරම්ගේ බල පරාක්‍රමය පරිදි මීළඟ උඩරට රාජ්‍යයේ උරුමක්කරුවකු වූ රාජාධිරාජසිංහ රජුට පසු මුත්තුසාමිට රජකම නොදී කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් උඩරට රජකමට පත් කෙරීය. නමුත් ඉතා කෙටි කලකින් ශ්‍රි වික්‍රම රාජසිංහ හා පිළිමතලාවේ මහ අධිකාරම්ගේ හොඳ හිත පළුදු වී පිළිමතාලවේ මහ අධිකාරම්ට මරණ දඬුවම හිමිවිය.

එම තනතුරට ඇහැලේපොළ මහ අධිකාරම් පත් කළත් ඔහු හා මොල්ලිගොඩ අධිකාරම් අතර වෛරයක් විය. ඇහැලේපොළ අධිකාරම් රජුට විරුද්ධව ඉංග්‍රිසීන්ට උදවු කළහ. කෙසේ වෙතත් මේ විරසකවල ප්‍රතිඵලයක් වූයේ 1815 පෙබරවාරි 29 වැනිදා කන්ද උඩරට රාජ්‍යත්වය අහෝසි වන බව ඉංග්‍රීසින් විසින් ප්‍රකාශයට පත් කිරීමයි. මේ අතර උඩරට රාජ්‍යය සභාව තුළ නායක්කාර් වංශික රජු, නායක්කාර් වංශික ඥාතීන් මෙන්ම සිංහල රදල ප්‍රභූන් අතර ගැටුම් ඇති විය. නායක්කාර් වංශික රජුන් හා ජනතාව අතර සිටියේ රදල ප්‍රභූන්ය. එම නිසා නායක්කාර් වංශික රජවරුන්ට බියෙන් රට පාලනය කිරීමට සිදු විය. ශ්‍රි වික්‍රම රාජසිංහ රජු මහා අධිකරම්වරුන්ගේ බලතල අඩු කළහ. රදල පවුල් අතර අර්බුද ඇතිවන තරමට තනතුරු පිරිනැමීය. මේ අතර ඇහැළේපොල ඉංග්‍රිසීන්ගේ ආධාර බලාපොරොත්තුවෙන් සබරගමුවේ කැරැල්ලක් ඇති කළහ. කැරැල්ල මැඬ පැවැත්වීමට උඩරටින් හමුදාවක් එවීම නිසා කැරැල්ල අසාර්ථක වනබව දුටු ඇහැලේපොළ ඉංග්‍රිසීන් වෙත පලා ගියහ. මෙයින් බොහෝ දෙනෙකු මියගිය අතර රජුට හිතවත් අය පවා රජු අත් හැරියහ. රජුට මහජන පක්ෂපාතිත්වය අහිමි විය. ඒ සමඟම උඩරට රාජ්‍යයේ පදනම දෙදරා ගියහ. උඩරට රාජ්‍යය බලය ඉංග්‍රීසින්ට නතු කර ගැනීමේ විශාල කාර්ය භාරයක් සිදු කළේ ජෝන් ඩොයිලි නම් ඉංග්‍රීසි ජාතිකයාය. 1815 මාර්තු 2 දින ප්‍රකාශයට පත් කෙරුණ උඩරට ගිවිසුම වගන්ති දොළසකින් සමන්විත විය. එම වගන්ති 12 හේ සාරාංශය මෙසේ ය.

01. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහාසනයෙන් නෙරපා හරිනු ලැබීම

02. ඔහුට‍ හෝ ඔහුගේ ඥාති පරපුරට අයත් හැමටම සිංහාසනය පිළිබඳ ඇති අයිතිය අවලංගු කරනු ලැබීම.

03. රජුගේ ඥාතීන් සියලු දෙනා (පිරිමි) ලක්දිවෙන් පිටමං කිරීම.

04. බ්‍රිතාන්‍ය මහ රජු සිංහල රාජ්‍යයේ ස්වාමියා වශයෙන් මෙතැන් සිට පත් කර ගනු ලැබේ. බ්‍රිතාන්‍ය රජතුමා ආණ්ඩුකාර තැනගේ මාර්ගයෙන් රට පාලනය කළ යුතු ය.

05. බුද්ධාගමට හානි වන කිසිවක් නොකොට ආගම ආරක්ෂා කළ යුතු ය. සංඝයා වහන්සේලා ද ආගමික වතාවත් ද විහාරස්ථානය ද ආරක්ෂා කරනු ලබන්නාහ.

06. අත්පා කැපීමාදී කෲර දඬුවම් සියල්ල අවලංගු කළ යුතු ය.

07. යම් කිසිවෙකු මරණ දඬුවමට භාජනය කළ හැක්කේ ආණ්ඩුකාර විසිනි

08. සිංහල රාජ්‍යයේ සිවිල් නඩු හා අපරාධ නඩු චිරාගත නීති හා චාරිත්‍ර ධර්ම අනුව සිංහල නිලධාරීන් විසින් විසඳීම කළ යුතු ය. අවශ්‍ය වුවහොත් ඒ නඩුවලට මැදිහත්වීමේ අයිතිය ඉංග්‍රීසි ආණ්ඩුව සතු ය.

09. සිංහල රාජ්‍යයට අයත් නොවන පහත රට සිංහලයන් පිළිබඳ නඩු ඉංග්‍රීසි නීතිය අනුව විසඳනු ලැබේ.

10. තුන් කෝරලය, සතර කෝරලය හා සබරගමුව පමණක් ඉංග්‍රීසීන් විසින් ඈදාගත් බවට මුලින් කළ ප්‍රකාශය අවලංගු කරනු ලැබේ.

11. බ්‍රිතාන්‍ය රජතුමාගේ නාමයෙන් ආණ්ඩුව නඩත්තු කිරීමේ කටයුතු සඳහා අයබදු අය කරනු ලැබේ.

12. නිදහස් ලෙස දෙරට අතර වෙළඳාම් කිරීමේ පහසුකම් ආණ්ඩුකාර තැන විසින් සලස්වනු ලැබේ.

රොබට් බ්‍රවුන්රිග් ආණුඩුකාරවරයාගේ සහභාගිත්වයෙන්, උඩරට රදල හා නිලමේවරුන් ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් අත්සන් කළ මේ අවස්ථාවට මල්වතු අස්ගිරි මහ නා හිමිවරන්ද වැඩම කළ අතර මේ අවස්ථාව අපට කරුණු කාරණා කිහිපයන් නිසාවෙන් වැඩි වැදගත් කමක් හිමි වන්නට විය.

“ 1815 මෙම ගිවිසුමෙන් පසු අප ඉංග්‍රිසින්ට යටත් වුණේ නැහැ. ඔවුන්ට හිමිවුණේ සිහසුන පමණයි. මෙම ගිවිසුමේ 4 වැනි වගන්තියට අනුව ඔවුන් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුණා. ඒ වගේම මෙම ගිවිසුමේ 5 වැනි වගන්තිය අනුව අපේ රාජ්‍ය ආගම විය යුතුතේ බුදු දහම බවට ඔවුන් තීරණය කර තිබුණා. විදේශීය රජවරු බුද්ධාගම ආරක්ෂා කළා. මෙය රට පාලනයට ඇති කරගත් ගිවිසුමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා සමානවම වැදගත්. වලංගු නිතියක් වලංගු ව්‍යවස්ථාවක් වුණා. එහෙත් මෙම ගිවිසුම ඉංග්‍රිසීන් ක්‍රියාත්මක කළේ නැහැ. වගන්ති කඩ කළා. 1818 නිදහස් සටනින් පාවා දිම් මත නින්දනිය ලෙස පරාජයට පත්වුණා. මෙය බිම් පාළු ප්‍රතිපත්තියක් බවයි අදහස වුණේ. මේ නිසා 1818 නොවැම්බර් උඩරට ප්‍රකාශනයෙන් පසුව මෙම ගිවිසුමට යම් යම් වගන්ති ඇතුත් කළා. එහිදි බුද්ධාගමට අමතරව අන්‍ය ආගම්වලට අවශ්‍ය නිදහස ලබා දිම් ගැන කතා කළා. කෙසේ වෙතත් මේ වැදගත් ගිවිසුම අපේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂ­්‍යක් වුණා. මේ ගිවිසුමෙන් අප ගත යුතු ආදර්ශ කිසිවක් අප ලබා ගත්තේ නැහැ. .....“ සාහිත්‍ය ශූරි, සම්මානිත මහාචාර්ය මාලනී ඇදගමය.

වසර 205 ක ඉතිහාසයක් ඇති මෙම උඩරට ගිවිසුම අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඉතිරි කර හමාරය.

“ මුළු රටම එකවිට විදෙස් ආධිපත්‍යකට පැවරුණේ මේ අවස්ථාවේදි. එදා ඉංග්‍රීසින්ට රට ලබා දෙන්නට සිදුවූයේ සිංහලයා අතර තිබූ භේද භින්න බව නිසයි. ඒ වගේම මේ ගිවිසුමෙන් සිංහලයා තමන්ට ලබා ගත හැකි උපරිම සාධාරණත්වය ලබා ගත්තේ යැයි පැවසුවොත් එය නිවැරදියි. මෙම ගිවිසුමේ එක් වගන්තියක් වුණේ අපේ ආගම, සිරිත් විරිත් රැක ගැනීමේ පොරොන්දුවයි. ලෝක ඉතිහාසයේ මුල්වරටයි, ඉංග්‍රිසීන් එවැනි ගිවිසුම් සහගත ලියවිල්ලකට එළඹුණේ. මේ ගිවිසුම නිසා අපේ සිංහලයාගේ සිරිත් විරිත් පාවා දෙන්නට හැකිවුණේ නැහැ. ඒ වගේම මඟුල් මඬුවේදි මේ ගිවිසුම අත්සන් කළේ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද. එසේ වීමට හේතු වුණේ බුදු දහම රකින බවට ලබා දුන් පොරොන්දුව. ඒ වගේම භික්ෂූන්ට එදා සමාජයේ හිමිව තිබූ ස්ථානය අහෝසි වීමක් සිදුවූයේත් නැහැ. ඒ වගේම මෙම ගිවිසුමින් අපට ඉගෙන ගත හැකි තවත් පාඩමක් වන්නේ නායකයන් කුමන තීරණ ගත්තත් මහ ජනතාව එයට එකඟ වන්නේ තමන්ට ඉන් යහපතක් තිබේ නම් පමණක්ය යන සත්‍යය. ....“ ඒ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගය.

ලංකාව සම්පූර්ණයෙන්ම විදෙස් ජාතියකට නතු වීමේ ආරම්භක අවස්ථාවක් සනිටුහන් කරන මෙම ගිවිසුම යළි නැඟී සිටින්නට ශ්‍රී ලාංකිකයන්ට කදිම පාඩමක් කියා දෙන්නේය.

“ උඩරට ගිවිසුම ලාංකීය සංස්කෘතියේ පරිවර්තනීය දිනයක්. මේ හරහා විදේශිය පරමාධිපත්‍යකට රට කේන්ද්‍රගත වුණා. මේ ගිවිසුම හරහා අතීතයෙන් අපට ඉගෙනීමට පාඩම් බොහෝයි. මෙම ගිවිසුමේ 5 වැනි වගන්තියෙන් බ්‍රිතාන්‍යයන් පොරොන්දුවක් දෙනවා, බුද්ධාගම ආරක්ෂා කිරීමට. පසුව එම කොන්දේසියට අනු කොන්දේසියක්ද ඔවුන් එකතු කරනවා. ඒ අන්‍යාගම් අයිතියද තහවුරු කිරීම. අතීතයේ සිට සිංහලයන් අන්‍ය ජාතීන්ට ආගම්වලට ගරු කළ පිරිසක්. ඒ සුහදශීලිත්වය මේ කරුණ හරහා තවත් වර්ධනය වුණා. එදා හිරෝෂිමා නාගසාකි බෝම්බයෙන් බිළිගත් ජපානය අද යළිත් නැඟී සිටිනවා. ඒ අතිතයෙන් ඔවුන් බොහෝ දේ උගත් නිසාවන්. අපටත් දිගු ඉතිහාසයක් උරුමයි. අතිතයෙන් පාඩම් උගත් අපටත් මේ උඩරට ගිවිසුම කදිම තෝතැන්නක් වුණා. පෙරදිග සයුරේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් අපට ආදි මානව තාක්ෂණයෙන් ඉගෙනිමට බොහෝ දේ තිබුණා. කොළඹ සැලැස්ම සමස්ත ආසියාවම පිළිගත් ආර්ථික සැලසුමක් වුණා. සිංගප්පූරුව පවා අද මේ ස්ථානයේ පසු වන්නේ කොළඹ සැලැස්මේ යම් කොටස් පූර්වාදර්ශයට ගත් නිසා. මේ හරහා වීරපුරන් අප්පු වැනි චරිත ලෝකයට ගෙන ගියා. තිස් අවරුදු යුද්ධයේදි නම් නොලියවුණූ, ඔවුන් වෙනුවෙන් පිළිම නොඅඹපු වීරවරුන් අපට සිටියා. වත්මන් අගමැති යුග පුරුෂයකු වන්නේ ඔහු එදා මේ සටනට නායකත්වය දුන් නිසාවෙන්. එ වගේම උඩරට ගිවිසුම ලංකාවේ ආර්ථිකයට, වෙළඳාමට විශාල ආදර්ශයක් දුන්නා. රටක ආර්ථිකය රජයක් විසින් පවත්වාගෙන යායුතුය යන පණිවිඩය ලබා දුන්නා. අප විදේශිකයන්ට නතු විය යුතු නැහැ. අපේ දේශීය නිෂ්පාදන ඇසුරුම් කර විදේශයන්ට ආනයනය කළ හැකිනම් ඉන් විශාල ආදායමක් අපට ලබා ගත හැකියි. එම නිසා උඩරට ගිවිසුම අපේ ලාංකීය ජන සමාජයේ පරිවර්තනීය කෝණයක් සනිටුහන් වන්නක් යැයි පැවසුවොත් එය නිවැරදියි....“ ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ මහාචාර්ය, සාර්ක් කලාපිය සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ප්‍රශාන්ති නාරංගොඩය.

“ මෙම ගිවිසුම අත්සන් කිරීමට ඉවහල් වූ ප්‍රබල හේතුවක් වූයේ උපතින් සිංහල වූ ආගමින් බෞද්ධ වූ සිංහල භාෂාව කතා කළ දේශීය පරම්පරාවෙන් පැවැත ආ රාජ්‍ය පාලක නිලතල දැරූ සිංහල ප්‍රභු රදලයන් අතර වු අසමගියයි.

වර්තමානයටත් අනාගතයටත් මේ හරහා අපට ඉගෙන ගත හැකි පාඩම් බොහෝය. යම් රාජ්‍යයක් දේශපාලන ස්ථාවරත්වයට පාලකයන් නිලධාරීන් හා මහජනයා අතර මනා සම්බන්ධතාවයක් තිබිය යුතු බව ඉන් පැහැදිලි වෙනවා. පාලකයන් අතර පවතින අසමගිය, කුමන ක්‍රමයකින් හෝ බලය ලබා ගැනිමට උත්සහ කිරීම, වෛරය පිරිමසා ගන්නට දුරදිග නොබලා තින්දු තීරණ ගැනිම, විජාතිකයන් කෙරේ විස්වාසයක් තැබීම යම් රාජ්‍යයක පරිහානියට හේතුවන බව මින් මනාව පිළිබිඹු වෙනවා...“ ඒ ප්‍රවීණ ඉතිහාස ආචාර්ය අනුර බටගොඩය. කෙසේ වෙතත් සිංහලේ යනුවෙන් බාරදුන් රට අවසානයේ ඔවුන් අපට ලබා දුන්නේ සිලෝන් නමින් ඉංග්‍රීසියෙන් පාලනය කරන රටකි. පළාත් තුනකින් යුතුව පාලනය කළ රට අපට නැවත ලබා දුන්නේ පළාත් 9 කට බෙදා වෙන් කිරීමෙන් පසුවය.

 

 

Comments