කැරලිකරුවන් 25%කට පමණක් ජීවිතය ඉතිරි කළ ජවිපෙ 2 වැනි කැරැල්ල | සිළුමිණ

කැරලිකරුවන් 25%කට පමණක් ජීවිතය ඉතිරි කළ ජවිපෙ 2 වැනි කැරැල්ල

 

ඉකුත් දශක පහක් ඇතුළත කැරලි දෙකකට ජවිපෙ නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

20 කොටස

ජවිපෙ 2වැනි කැරැල්ලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ සන්නද්ධ කැරලිකරුවන් ගෙන් අවසානයේදී ජිවත්වීමට හැකිවූයේ සීයයට 25ක පමණ පිරිසකට පමණි. සෙසු සියලු දෙනා කැරැල්ලේදී සහ අත්අඩංගුවේදී ඝාතනයට පත්විය. ඉතිරි සියයට 25න් සියයට 15ක් පමණ විදේශීයවද වශයෙන් සියයට 7ක් පමණ දේශීයව අප්‍රකටව ද වාසය කරයි. වසර 2017 වනවිට දේශපාලනයේ ක්‍රියාකාරීව නිරත වන්නේ 2වැනි කැරැල්ලේ සන්නද්ධ කැරලිකරුවන්ගෙන් සියයට 3ක පමණ පිරිසක් වේ. විදේශ රැකවරණය ලබමින් පලා ගිය සන්නද්ධ කැරලිකරුවන් ගෙන් බහුතරයක්ම වාගේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යමින් පවතී.

කැරැල්ලේ පරාජයෙන් පසු අවසාන කාලයේ ඉතිරිව සිටි කැරලිකරුවන් ගණනාවකට එරෙහිව නීතිපති විසින් නඩු පවරන ලද්දේ 1993 වසරේදීය. කොළඹ මහාධිකරණ බලසීමාව තුළ විභාගයට ගත් නඩු බොහෝමයක පැමිණිලි ඉදිරිපත් කර තිබුණේ කොළඹ 7 ආරක්ෂක සම්බන්ධීකරණ කොට්ඨාසය මඟිනි. ඒ සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වූයේ සහකාර පොලිස් අධිකාරි කේ. ඩී. එල්. දල්පතාදු, පොලිස් පරික්ෂක ඇල්ෆඩ් අල්විස්, උප පොලිස් පරික්ෂකවරුන් වූ පියදාස, මුණසිංහ, මෙන්ඩිස්, කදුරුගමුව සහ පොලිස් කොස්තාපල් උපාලි විසිනි. නඩු භාණ්ඩ වශයෙන් පාපොච්ඡාරණ, පතරොම්, උණ්ඩ, තුවක්කු ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩු බොහෝමයක් ඩී. බී. විජේතුංග ජනාධිපති වූ පසු සාක්ෂි ප්‍රමාණවත් නැතැයි කියමින් නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී. ජවිපෙ යළි 1994 මහ මැතිවරණයේදී දේශපාලන ප්‍රවේශයට ගැනීම සඳහා ජනාධිපති ඩී. බී. විජේතුංග විසින් එම ක්‍රියාමාර්ගය ගනු ලැබීය.

කැරැල්ල ආරම්භ වන විට යුද හමුදාපති වූයේ ලුතිනන් ජෙනරාල් නලීන් සෙනෙවිරත්නය. ඔහු 1985 සිට 1988 දක්වා එම තනතුර දැරූ අතර 1988 සිට 1991 දක්වා යුධ හමුදාපති වූයේ ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහය. පසුව 1991 සිට 1993 දක්වා හමුදාපති වූයේ ජවිපෙ කැරැල්ලට එරෙහිව 1989 අගෝස්තු 04 ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය පිහිටුවා එහි නායකත්වය ගත් එවකට හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්නය.

ජවිපෙ 2වැනි කැරැල්ලේදී පොලිස් ස්ථාන සහ හමුදා කඳවුරුවලට 1987 සිට 1989 දක්වා ජවිපෙ කැරලිකරුවන් කඩා වැදී ප්‍රහාරයන් සිදුකොට එම ස්ථානවලින් ගිනි අවි පැහැරගත් ආකාරය මෙසේ දැක්විය හැකිය.

ජවිපෙ කැරලිකරුවන් විසින් පොලිස් ස්ථාන/ හමුදා කඳවුරු වලින් ගිනි අවි පැහැරගත් ආකාරය 1987 අප්‍රේල් 15 නුවර පල්ලේකැලේ හමුදා කඳවුර ටී 56 ගිනිඅවි 12, සබ් මැෂින් ගන් 07 පැහැරගනු ලැබීය. පැමිණි කැරලිකරුවන් ගණන 14කි. ඉන් 8ක් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු, වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය සහ කෘෂි පීඨ සිසුන්ය. එහි නායකත්වය ගත්තේ හිටපු ගුවන් හමුදා සෙබළ වනවාසල ලොකු මහින්දය.

1987 අප්‍රේල් 15 අනුරාධපුර යාපනය මාර්ගයේ සාලියපුර හමුදා කඳවුර ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර නිසා ප්‍රහාරයට පැමිණි කණ්ඩායම පලා ගොස් තිබිණි. 1987 අප්‍රේල් 15 වැල්ලවාය කුඩා ඔය හමුදා කඳවුර ප්‍රහාරය මුළුමනින් මැඬපැවැත්වීමට ආරක්ෂක අංශය සමත්විය. කැරලිකරුවන් 9ක් මරුමුවට පත්විය. 1987 අප්‍රේල් 15 ගාල්ල කොටුව හමුදා කඳවුර මිටියාගොඩ පොලිසිය අසල මාර්ග බාධකයකදී ප්‍රහාරයට පැමිණි කැරලිකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට පත්විය. කැරලි නායකයා ග්‍රාමාරක්ෂකයන්ට පහරදී පොලිසියෙන් පැනගිය අතර අත්අඩංගුවේ සිටි පිටිගල පියල් විජේසිංහ, කුමාරලාල් මානවඩු, මල්ලියාවඩු ඇතුළු පිරිසට මාස 3කට පසු ඇප ලබාදෙන ලදී. එදිරිවාදි කණ්ඩායමක පිරිසකට පහරදීමට ගිය බව ඔවුහු එහිදී ප්‍රකාශ කර තිබිණි.

වසර 1987 ජුනි 07 කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රථම ප්‍රහාරය කණ්ඩායම් 8 වශයෙන් කැරලිකරුවන් 65 ප්‍රහාරයට එක්විය. ටී 56 ප්‍රහාරක රයිෆල් 14, උප යාන්ත්‍රික තුවක්කු 53, සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු 2, පිස්තෝල 6, පතොරොම් 3,300ක් පැහැරගනු ලැබීය. කැරලිකරුවන් වූ තණමල්විල රණසිංහ, පිටබැද්දර මල්පුදනඇල්ලේ ගුණපාල සහ අකුරැස්සේ ආරියපාල කොඩිතුවක්කු මරුමුවට පත්විය. එහි නායකත්වය ගත්තේ මධ්‍යම කාරක සභික ඊශ්වරගේ ආරියසේනය. 1987 ජුනි 07 රත්මලාන කොතලාවල ආරක්ෂක පීඨය ටී 56 තුවක්කු 15, සබ් මැෂින් ගන් 15, සැහැල්ලු එල්.එම්.ජී තුවක්කු 2ක්, මැෂින් තුවක්කුවක් සහ පතොරොම් විශාල තොගයක් පැහැරගනු ලැබීය. කැරලිකරුවන්ගේ වෙඩි තැබීමකින් හමුදාභට සිරිල් එදිරිසිංහ(22) මරුමුවට පත්විය. එහි නායකත්වය ගත්තේ තිස්සමහාරාමයේ සරත්ය.

1987 සැප්තැම්බර් 05 වාද්දුව යුද හමුදා කඳවුර අසාර්ථක විය. සැලසුමේ නායකයා ශාන්ත බණ්ඩාරය. සැකපිට අත්අඩංගුවට ගත් කැරලිකරුවන් වූ එම්. ටිල්වින් සිල්වා ඇතුළු 7කට පානදුර මහාධිකරණයෙන් පසුව නඩු පවරන ලදී. 1987 සැප්තැම්බර් 28 මෝදර රොක්හවුස් හමුදා මුරපොළ ගිනිඅවි කිහිපයක් පැහැර ගන්නා ලදී. 1987 සැප්තැම්බර් 28 ගාල්ල තල්ගස්විල හමුදා මුරපොළ එෆ්. එන්. සී. රයිෆල් අවි 7 සහ පතරොම් රවුම් 2 පැහැර ගන්නා ලදී. කැරලිකරුවන් අතින් එක් හමුදා සෙබළකු මරුමුවට පත්විය. 1987 ඔක්තෝබර් 04 ත්‍රි'මලේ කල්ලාර් හමුඳා කඳවුර ටී 56 - 6, ආයුධ රැසක් පැහැරගන්නා ලදි. කැරලි නායක හිටපු හමුදා සෙබළ වනවාසල ලොකු මහින්ද, මීගස්වැව කුඹුකුණාවල වර්ණපුර හෙවත් තඩි මහින්ද සහ මීගස්වැව පියදාසද එහිදී මරණයට පත්විය. ප්‍රහාරයට ගියේ බෙරවිල කැලෙන් කි.මි 15ක් පයිනි. 1987 දෙසැම්බර් 30 රත්නපුර කහවත්ත පොලිසිය ස්වංක්‍රීය තුවක්කු 25, සබ් මැෂින් ගන් 14, රයිෆල් 13 පැහැරගනු ලැබීය. එහි නායකත්වය ගත්තේ ගුණසේන වර්ණපටබැදි හෙවත් බෙටාය. කැරලිකරුවන් වූයේ සමන් වීරරත්න, චන්ද්‍රසේන විජේසිංහ ඇතුළු 14කි.

වසර 1988 ජනවාරි 11 හොරණ කහතුඩුව කුඹුක ග්‍රාමාරක්ෂක පුහුණු කඳවුර ගිනි අවි විශාල ප්‍රමාණයක් පැහැර ගන්නා ලදී. කැරලිකරුවන් 2ක් මිය ගියේය. 1988 අප්‍රේල් 22 කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ල කළ දෙවන ප්‍රහාරය ස්වයංක්‍රීය තුවක්කු 25ක් ඇතුළු අවි තොගයක් පැහැර ගන්නා ලදී. කැරලිකරුවන් 46 දෙනෙකු ප්‍රහාරයට එක්වූ අතර ඉන් තිදෙනකු වූ උපාලි පුවත්පත් ආයතනයේ පිටු සැකසුම් ශිල්පි සුමිත් රණසිංහ, කැලණි සරසවියේ රොනී කුමාර සහ කාන්තා ක්‍රියාකාරිනී මේධානි මරුමුවටද පත්විය; 11ක් අත්අඩංගුවට පත්විය.

1988 ජුලි 16 මඩොල්සිම පොලිසිය ගිනි අවි සියල්ලම පැහැරගන්නා ලදී. 1988 සැප්තැම්බර් 22 ගොතටුව පොලිසිය ගිනි අවි කිහිපයක් පැහැරගන්නා ලදී. 1988 සැප්තැම්බර් 22 මොරටුමුල්ල පොලිසිය ගිනි අවි කිහිපයක් පැහැර ගන්නා ලදී. 1988 ඔක්තෝබර් 28 පාදුක්ක පොලිසිය ගිනි අවි කිහිපයක් පැහැර ගන්නා ලදී. පො.කො. වරුන් වන එම් මහින්දරත්න, බී. ජී විල්සන් සහ ජී.ඒ ජයලාල් කැරලිකරුවන් අතින් මරුමුවට පත්විය. 1988 නොවැම්බර් 01 පන්නල ජාතික සහායක හමුදා පුහුණු කඳවුර ටී-56 තුවක්කු 19, 303 වර්ගයේ තුවක්කු 178, රිපීටර් තුවක්කු 21, එල්. එම්.ජී වරගයේ තුවක්කු 8 පතොරොම් 30,000 පැහැරගනු ලැබීය එහි නායකත්වය ගනු ලැබුවේ හිටපු හමුදා කෝප්‍රල් ජයන්ත සිරිපාලය. ඔහු පීටර්, නන්දන ලෙසද හැඳින්විණි. මෙහිදී කැරලිකරුවන් අතින් ලුතිනන් තල්ගහගොඩ ඇතුළු හමුදා භටයන් 5ක්ද හමුදාව අතින් කැරලිකරුවන් වන පොලොන්නරුවේ චාලෝ සිංඤා, අංගම්ගල බණ්ඩාර විමල්, ලංගම බස් රියදුරු චන්ද්‍රරේ සහ මොරයායේ වීරේ ඇතුළු 4 දෙනාද මරුමුවට පත්විය. 1988 නොවැම්බර් 09 අනුරාධපුර බන්ධනාගාරය රිපීටර් තුවක්කු 17ක්, රිවෝලර් 03ක්, පතොරොම් තුවක්කු 11ක් පතොරොම් 310ක් කැරලිකරුවන් විසින් පැහැර ගන්නා ලදී.

1988 නොවැම්බර් 13 නුවර පල්ලකැලේ පොලිස් රථවාහන වැඩපොළ කැරලිකරුවන් විසින් එහි සිටි පොලිස් භටයන් 12ක් යටත් කරගෙන එහි තිබූ ගිනිඅවි 15, ජංගම පණිවිඩ හුවමාරු යන්ත්‍ර සියල්ලම සහ ප්‍රධාන ඇන්ටනාව පැහැරගෙන යනු ලැබීය. නායකත්වය මුල් පෙලේ කුංෆු සටන්කරුවකු වූ නිකවැරටියේ ප්‍රියන්ත හෙවත් දිනේෂ්ය. 1988 දෙසැම්බර් 10 මහනුවර බෝගම්බර බන්ධනාගාර 20කින් යුත් කැරලිකරුවන් කණ්ඩායමක් විසින් ස්වයංක්‍රීය තුවක්කු සහ පිස්තෝල 35ක්ද, කඳුළු ගෑස් විදින උපකරණද පතොරොම් 900ක්ද මෙහිදී පැහැර ගන්නා ලදී. බෝගම්බර ප්‍රහාරයේ නායකයා වූ නිකවැරටිය කිංස්ලි කඩුගන්නාවේදී අත්අඩංගුවට පත්විය.

1989 ජනවාරි 28 බම්බලපිටිය පොලිසිය රයිෆල් තුවක්කු 18ක් ඇතුළු අවි රැසක් ද පොලිසියට අයත් ජීප් රථයක්ද පැහැර ගන්නා ලදී. පො.කො ධර්මරත්න කැරලිකරුවන් අතින් මරුමුවට පත්විය. 1989 ජනවාරි 28 රාගම පොලිසිය ස්වැංක්‍රීය තුවක්කු 18ක් කැරලිකරුවන් විසින් පැහැර ගන්නා ලදී. පො.කො කලීල් තුල්ලා කැරලිකරුවන් අතින් මරණයට පත්විය. 1989 ජනවාරි 28 මට්ටක්කුලිය පොලිස් මුරපොළ ගිනි අවි කිහිපයක් පැහැරගන්නා ලදී. උප පොලිස් පරික්ෂක ආරියරත්න සහ පො.කො වික්‍රමසිංහ කැරලිකරුවන් අතින් මරුමුවට පත්විය. 1989 මාර්තු 15 කිරුලපන පොලිසිය ගිනි අවි ගණනාවක් පැහැරගන්නා ලදී.

වසර 1989 පෙබරවාරි 08 නුවර දළදා මාලිගාවේ පොලිස් මුර පොළවල් 5 ටී81 රයිෆල් තුවක්කු 9, ටී56 ගිනි අවි 2 ඇතුළු 17ක් පැහැරගනු ලැබීය. එහි නායකත්වය ගනු ලැබුවේ නිකවැරටියේ රත්නායකය. නිකවැරටිය ප්‍රියන්ත ඇතුළු කණ්ඩායම් 5කට අයත් 43 සහභාගි විය. ඒ අතර ඒ අතර උඩුවෙල මොනරංල සුදලිකාරගේ පද්මා චාන්දනී හෙවත් තනූජා ඇතුළු තරුණියන් 12ක්ද විය. නුවර නගර සභාවේ සේවක කේ. ජී. සිසිර කුමාර කැරලිකරුවන්ගේ වෙඩි වැදීමකින් තුවාල සිදුවිය. දිගන බන්දුල විජේසිරි එහිදී අත්අඩංගුවට පත්ව වසර 4කට පමණ පසු නිදහස් විය.

1989 මාර්තු 21 පොලොන්නරුව කඩවත්මඩුව යුද හමුදා කඳවුර කැරලිකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඔවුහු පලවා හැරීමට සමත් විය. කැරලිකරුවන් 8 මරණයට පත්විය. 1989 අප්‍රේල් 08 බේරුවල පොලිසිය කැරලිකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ලකර ඔවුහු පළවාහැරීමට පොලිසිය සමත්විය. 1989 අප්‍රේල් 08 ගොකරැල්ල පොලිසිය කැරලිකරුවන් අවි පැහැරගන්නා ලදී. කැරලිකරුවකු වූ වැලිකන්දේ සුරංග මරණයට පත්විය.

1989 අප්‍රේල් 17 කුරුණෑගල කටුපොත පොලිසිය අවි කිහිපයක් පැහැරගන්නා ලදී. කැරලිකරුවන් 17ක් ප්‍රහාරයට එක්විය. කැරලි නායකයා වූ හිටපු හමුදා සෙබළ රිදීගම ඕගොඩපොල පදිංචි අතපත්තු මුදියන්සේලාගේ උපාලි කුමාරවංශ හෙවත් පොඩි උපාලි මරණයට පත්විය. 1989 අප්‍රේල් 21 ගාල්ලේ පිටිගල පොලිසිය ආයුධ කිහිපයක් පැහැර ගන්නා ලදී. කැරලිකරුවන් 13ක් ප්‍රහාරයට එක්විය. එහි නායකත්වය ගනු ලැබුවේ කළුආරච්චි ටී. එස්. දේවානන්ද හෙවත් මහේෂ්ය.

කැරලිකරුවන් අතින් පො.කො අනුර කාන්ත සොයිසා (39) සහ ඇල්පිටිය හමුදා කඳවුරේ 4වන ගැමුණු බළකායේ සෙබළ එස්. ඒ. ජේ සිල්වා මරුමුවට පත්විය. එමෙන්ම කැරලිකරුවෙකුවූ විජේසිංහගේ පාදයකට වෙඩි වැදීමෙන් පසු පාදය ඉවත් කිරීමට සිදුවිය. 1989 මැයි 02 පනාගොඩ හමුදා කඳවුර අවි කිහිපයක් පැහැරගනු ලැබීය. කැරලිකරුවන්ට මෙහිදී එක්වූ මාතර පදිංචි පනාගොඩ කඳවුරේ ෙකා්ප්‍රල් එස්. ඒ. කුමුදු කුමාරද කැරලිකරුවන් වු මුලටියන සීනිපැල්ලේ දහනායක සහ මහරගම දඹහේන පාරේ සුගත් පුෂ්පකුමාර හෙවත් රංජිද ඝාතනයට පත්විය. ප්‍රහාරයට කැරලිකරුවන් 50ක් පමණ එක්වූ අතර ඔවුන් ගෙන් කණ්ඩායමක් කලින් දින ගත කළේ පනාගොඩ ගලේ පන්සලේය.

වසර 1989 මැයි 04 හොරණ පොලිසිය අවි කිහිපයක් පැහැරගනු ලැබීය. කැරලිකරුවන් 15ක් ප්‍රහාරයට එක්වූ අතර ඔවුන්ගේ වෙඩි තැබීමෙන් උප පොලිස් පරික්ෂක බණ්ඩාරට තුවාල සිදුවිය. 1989 මැයි 27 බණ්ඩාරගම පොලිසිය අවි තොගයක් පැහැරගනු ලැබීය. කැරලිකරුවන් 11 දෙනෙකු පැමිණි අතර කැරලි නායක හිටපු හමුදා භට අශෝක කරුණාතිලක, ගජබා රෙජිමේන්තුවේ හිටපු හමුදා සෙබළ අශෝක චන්ද්‍රසිරි මරුමුවට පත්විය. 1989 ජුනි 06 තිස්සමහාරාම පොලිසිය ස්වයංක්‍රීය ගිනි අවි කිහිපයක් පැහැරගනු ලැබීය.

1989 ජුලි 16 සපුගස්කන්ද පොලිසිය 84 එස් රයිෆලයක් රිවෝලර් 1, රිපීටර් තුවක්කුවක්ද, පැහැරගනු ලැබීය. නායකත්වය: කඳුරුව හේවගේ ජිනදාස හෙවත් ජිනේය. කැරලිකරුවන්ගේ වෙඩි ප්‍රහාර වලින් සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති වූ පොලිස් පරික්ෂක ලලිත් මහානාම, උපසේවා කොස්තාපල් සරත් කුමාර සහ දයානන්ද යන තිදෙනා මරුමුවට පත්විය. පොලිස් වෙඩිතැබීමෙන් කැරලිකරුවන් වූ කැලණි සරසවියේ මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ ජයසේන දිසානායක සහ සුමිත් පෙරේරා හෙවත් කළුවාද මරුමුවට පත්විය. 1989 අගොස්තු 08 රත්නපුර සමනල ව්‍යාපෘතියේ රජවක හමුදා කඳවුර කඳවුරේ ආයුධ සහ ගබඩා දෙකක තිබූ ජෙලට් නයිට් තොගය පැහැර ගැනීම අරමුණ විය. කණ්ඩායම් 3කට අයත් 35ක් ප්‍රහාරයට එක්විය. ප්‍රහාරයට මොහොතකට පෙර රැගෙන ගිය බෝම්බයක් හදිසියේ පිපිරී 2ක් මරුමුවට පත්වූ අතර 6 දෙනෙකු බරපතළ තුවාල ලැබීය. ප්‍රහාරය අත්හැරීය. කැරලිකරුවෝ හම්බේගමුව රෝහලේ කාර්ය මණ්ඩලය දිනක් තිස්සේ අත්අඩංගුවට ගෙන තුවාල ලැබූ අයට ප‍්‍රතිකාර කරන ලදී. නායකයන් වූයේ හිගුරක්ගොඩ ලලිත් සහ රත්නපුර සමන් වීරරත්නය.

1989 අගොස්තු 10 බෙන්තොට පොලිසිය සියලු ආයුධ පැහැරගන්නා ලදී. කැරලිකරුවන් 15 දෙනෙකු ප්‍රහාරයට සහභාගි විය. එහි නායකත්වය ගනු ලැබුවේ කළුආරච්චි ටී. එස්. දේවානන්ද හෙවත් මහේෂ්ය. 1989 සැප්තැම්බර් 02 කැකිරාව පොලිසිය අවි ගණනාවක් පැහැරගනු ලැබීය. එහි නායකත්වය ගනු ලැබුවේ මීගස්වැව එම්. ආර්. සිරිවර්ධන නොහොත් පොඩ්ඩේ පුතාය. 1989 සැප්තැම්බර් 02 ගාල්ලේ පෝද්දල පොලිසිය සියලු ආයුධ පැහැරගනු ලැබීය. කැරලිකරුවන් 13ක් ප්‍රහාරයට එක්විය. කැරලිකරුවෙකු වූ මොරවක සුදර්ශන මරුමුවට පත්විය. එහි නායකත්වය ගනු ලැබුවේ කළුආරච්චි ටී. එස්. දේවානන්ද හෙවත් මහේෂ්ය.

1989 සැප්තැම්බර් 02 කොහුවල පොලිස් මුරපොළ සහ බුද්ධි අංශය පිස්තෝල 35ක් සහ පතොරොම් 900ක් අවි පැහැරගනු ලැබීය. එහි නායකත්වය ගනු ලැබුවේ කහතුඩුවේ ශිරෝමන් වසන්ත අමරතුංග හෙවත් ප්‍රියංකර හෙවත් සුරංග හෙවත් රත්තාය. 1989 සැප්තැම්බර් 02 පිලියන්දල පොලිස් මුරපොල අවි සියල්ලම පැහැරගන්නා ලදී. 1989 සැප්තැම්බර් 02 දෙනියාය පොලිසිය ගිනි අවි කිහිපයක් පැහැරගන්නා ලදී. 1989 සැප්තැම්බර් 07 කුණ්ඩසාලේ මොරගහකන්ද හමුදා මුරපොළ ප්‍රහාරයට යතුරුපැදි 3කින් එක්වූ කැරලිකරුවන් 6 දෙනකු ගමන් කිරීමේදී එක් අයකු රැගෙන ගිය බෝම්බයක් පිපිරී කැරලිකරුවන් 2 දෙනකු යතුරු පැදිය පැදවූ බන්දුල හෙවත් තඩි බන්දුල සහ එහි ගමන්ගත් කොළඹ සරසවි නීති පීඨයේ සිසු රත්නපුරේ අනුර ප්‍රියන්ත ජයසුන්දර බරපතළ තුවාල ලැබීය. පසුව ප‍්‍රහාරය අත්හරිනු ලැබීය.

වසර 1989 සැප්තැම්බර් 21 බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය අවි ගණනාවක් පැහැර ගන්නා ලදී. නායකත්වය වැලිසර දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතීය. රංජිත් ඇතුළු කැරලිකරුවන් 15 අතර සිටි ජගත් හෙවත් ‘කැමි’ මරුමුවට පත්විය. පසුව පොලිස් මූලස්ථානයේ සේවය කරන ලද සිරිවර්ධන ගේ වැඩ තාවකාලිකව තහනම් කරන ලදී. 1989 නොවැම්බර් 05 මහනුවර උඩවත්ත කැලේ පිහිටි සිංහ රෙජිමේන්තු හමුදා කඳවුර ප‍්‍රහාරයට කැරලිකරුවන් 41ක් එක්ව සිටි අතර ඔවුන් ගමන්කරන විට රැගෙන ගිය ගිනි අවියක් හදිසියේ පත්තුවී ශබ්දයක් නැඟීමෙන් අනතුරුව ප්‍රහාරය අත්හැර පසුබැසීමට සිදුවිය. හමුදාව විසින් කැරලිකරුවන් ලේවැල්ල පාලම සහ ඒ අවට වටකරමින් කළ ප්‍රතිප්‍රහාරයෙන් කැරලිකරුවන් ගේ නායකයා වූ නිකවැරටියේ රත්නායක, පේරාදෙණිය සරසවි වෛද්‍ය සිසු නිකවැරටියේ විමල් කුලතුංග ඇතුළු කැරලිකරුවන් 37දෙනකු මරුමුවට පත්විය.

1989 නොවැම්බර් 09 මාතර මාවරල පොලිසිය මෙහිදී ෂොට්ගන් සහ රිපීටර් තුවක්කු 12ක් පැහැරගන්නා ලදී. කැරලිකරුවන් 24ක් ප‍්‍රහාරයට එක්වූ අතර නායකයා වූයේ කඹුරුපිටිය කලාප සන්නද්ධ ලේකම් කේ. ජේ ගමගේ හෙවත් රණතුංගය. කැරලිකරුවන් අතින් පොලිසියේ 4ක් මරුමුවට පත්විය. හක්මන කලාප සන්නද්ධ ලේකම් වූ හිටපු නාවික සෙබළ තෙලිජ්ජවල නාපේ සිරිල් හෙවත් මෙන්ඩිස්, වැලිගම හල්වල සුමේධ, කඹුරුපිටියේ අරවින්ද ඇතුළු කැරලිකරුවන් 6 දෙනෙකුද ආරක්ෂක අංශ ප්‍රහාරවලින් මරුමුවට පත්විය. උදෑසන 11.30ට ආරම්භ වූ ප‍්‍රහාරය විනාඩි 90ක පමණ කාලයක් පැවතිණි.

1989 නොවැම්බර් 25 අලව්ව නගර ශාලාවේ පිහිටි පොලිස් මුරපොළ අවි පැහැරගැනීමට පැමිණි කැරලිකරුවන්ට පොලිසිය කළ ප්‍රහාරයෙන් පසු කැරලිකරුවන් 5 දෙනෙකු මරුමුවට පත්විය. 1989 නොවැම්බර් 25 දික්වැල්ල පොලිසිය අවි පැහැර ගැනීම අසාර්ථක විය. කැරලිකරුවන් 4 දනෙකු මරුමුවට පත්විය. කැරලි නායකයා නාත්ය. මෙයට අමතරව ජංගම මුරසේවා, හමුදා, පොලිස් භටයන් ගේ අවි පැහැරගැනීම සඳහා ජවිපෙ කැරලිකරුවන් ස්ථාන 253කදී ගැටුම් ඇතිකර ගන්නා ලදී. මින් ස්ථාන 118කදී කැරලිකරුවන් විසින් අවි පැහැරගනු ලැබීය. ජවිපෙ 2වැනි කැරැල්ලට හමුදාවෙන් පැනවිත් සිටි සහ පලා ආ හමුදා සෙබළුන් 1,200ක් පමණ සෘජුව සහ වක්‍රව එක්ව සිටියහ. ඒ වන විට උතුරේ දෙමළ බෙදුම්වාදීන් විසින් හමුදාවට එරෙහිව කරගෙන ගිය යුද්ධය නිසා හමුදාව අතහැර ගොස් සිටි මුළු සෙබළුන් සංඛ්‍යාව 40,000කට ආසන්නය. බන්ධනාගාර / රැඳවුම් කඳවුරු සහ පොලිස් ස්ථානවලින් 1987 සිට 1992 දක්වා සමූහ වශයෙන් පලාගිය ජවිපෙ කැරලිකරුවන් සංඛ්‍යාව 568කි.

වසර 1988 ඔක්තෝබර් 29 කළුතර පැලවත්ත රැඳවුම් කඳවුරින් පලාගිය පිරිස 110කි. කණ්ඩායම් 4ක් ලෙස පලා යෑම සිදුවිය. පලා ගිය පිරිස අතර කළුතර සන්නද්ධ ලේකම් කරුණාරත්න සහ අනුරාධපුර සන්නද්ධ ලේකම් විජයපුර රාජපක්ෂ ඇතුළු ක්‍රියාකාරිකයන් රැසකි. පරිපාලනය දැනගත්තේ දින කිහිපයකට පසු 1988 නොවැම්බර් 06දාය. 1988 නොවැම්බර් 9 අනුරාධපුර බන්ධනාගාරයෙන් කැරලිකරුවන් 23ක් මුදවා ගන්නා ලදී. රිපීටර් තුවක්කු 17ක්ද රිවෝලර් 03ක් පතොරොම් තුවක්කු 11ක් පතොරොම් 310ක් කැරලිකරුවන් විසින් පැහැර ගන්නා ලදී. ලාල් කාන්තද පලාගිය පිරිස අතර විය.

1988 දෙසැම්බර් 10 නුවර බෝගම්බර බන්ධනාගාරයෙන් 5ක් මුදවා ගන්නා ලදී. තුවක්කු සහ පිස්තෝල 35ක්ද පතොරොම් 900ක්ද මෙහිදී කැරලිකරුවන් විසින් පැහැර ගන්නා ලදී. 1988/89 වසරයන්හි අනුරාධපුර, කැකිරාව, මඩොල්සිම, බම්බලපිටිය, රත්නපුර, කිරුලපන ඇතුළු පොලිස් ස්ථාන 17කට පහරදී ආයුධ පැහැර ගැනීමේදී ඒවායේ අත්අඩංගුවේ සිටි කැරලිකරුවන් 127ක් මුදවා ගන්නා ලදී. එම පොලිසි 17න් පොලිසි සියල්ලේම වාගේ ආයුධ පැහැර ගැනීම සිදුවිය. දිනය/ පලාගිය සංඛ්‍යාව ස්ථානය සටහන් 1988 දෙසැම්බර් 13 බොරැල්ල මැගසින් බන්ධනාගාරය බිඳ කැරලිකරුවන් 221ක් මුදවාගන්නා ලදී. සැලසුම ක්‍රියාවට නැඟීම සඳහා පිටතින් කැරලිකරුවන් කණ්ඩායම් 2ක් වශයෙන් 25ක් පමණ සහභාගි විය. බන්ධනාගාරය පිටුපස තාප්පයද බෝම්බ පුපුරුවා කොටසක් බිඳ දමා තිබිණි.

පලාගිය පිරිස අතර මධ්‍යම කාරක සභික රාගම සෝමේ, ගම්පහ සන්නද්ධ ලේකම් පතී, රත්නපුර දිසා දේශපාලන ලේකම් ආනන්ද අබේවර්ධන(පනගම අබේ), ප්‍රේමකුමාර් ගුණරත්නම්, අමරදාස කුරුප්පු(තඩි අමරේ) ඇතුළු ක‍්‍රියාකාරිකයන් විශාල පිරිසක් විය. පිටතින් පැමිණි කැරලිකරුවෙකුවූ තොටළඟ විජිත හෙවත් මොහොමඩ්ද සිවිල් වැසියන් 2ක්ද මෙහිදී මරණයට පත්විය.

1989 මාර්තු මහියංගනය රැඳවුම් කඳවුරට ප‍්‍රහාරයක් එල්ල කරමින් කැරලිකරුවන් 51ක් මුදවා ගන්නා ලදී. මෙහි රඳවාගෙන සිටි පිරිස අතර බදුල්ල සහ මොනරාගල දිස්ත‍්‍රික්කයන්හි ඉදිරිපෙළ කැරලිකරුවන් ගණනාවක්ම විය. 1992 සැප්තැම්බර් 19 කළුතර පැලවත්ත කඳවුරේ පොළව යට හාරන ලද උමගකින් කැරලිකරුවන් 10 දෙනෙකු පලා යන ලදී. පලා යෑමට සිටි ගණන 64කි. එහෙත් 11 වැන්නා පලා යෑමේදී අසුවීම නිසා නතර විය.

 

Comments