පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

කෘතිය- ඔසු ගුණෙන් පිරි පෙරුන්කායම්

කර්තෘ- පියසිරි අමිලසිත් යාපා

ප්‍රකාශක- සමයවර්ධන පොත්හල

මිල- රුපියල් 290 පිටු ගණන- 72

 

ඖෂධයක් මෙන්ම රසකාරකයක් ලෙස යොදාගන්නා පෙරුන්කායම් භාවිතය පිළිබඳ ඓතිහාසික තොරතුරු, උද්භිද විද්‍යාත්මක තොරතුරු ඇතුළු වටිනා තොරතුරු රැසක් අන්තර්ගත මෙම කෘතිය සම්මානිත මහාචාර්ය පියසිරි අමිලසිත් යාපා විසින් රචනා කර ඇත. මේ වන විට ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වයිරස් වසංගතයත් සමඟ බොහෝ දෙනකුගේ අවධානයට ලක්වූ ශාකමය ඖෂධයක් වන පෙරුන්කායම් පිළිබඳ ඖෂධීය ගුණ පිළිබඳ විද්‍යාඥයන් විසින් පවත්වන ලද පර්යේෂණ පිළිබඳ විස්තරාත්මක තොරතුරුද ඇතුළත් මෙම කෘතිය කාලෝචිත දැනුම්වත් කිරීමකි.

 

කෘතිය-අසිරිමත් මාතාවක්

කර්තෘ-එන්ස්ලි එඩ්වඩ් අමරසිංහ

කර්තෘ ප්‍රකාශනයකි

මිල- රුපියල් 200 පිටු ගණන- 56

විමසීම්- 071 5210847

 

විවාහ වීමට බලාපොරොත්තු වන, නිරෝගී දරු සම්පතක් අපේක්ෂා කරන තරුණ තරුණියන්ට ඉතා වැදගත් කරුණු රැසකින් සමන්විත කෘතියකි. නිරෝගී දරු උපතක් සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස්, ආගමානුකූල ජීවිතයක් ගතකරන ආකාරය, පිරිසුදුකම හා ගත යුතු ආහාරපාන පිළිබඳව වැදගත් කරුණු රැසක් මෙහි අන්තර්ගතය. ගැබිනි මවුවරුන් සඳහා විශේෂ මෛත්‍රී ප්‍රාර්ථනාවක්ද මෙහි ඇතුළත්ය.

කෘතිය- චක්‍රලේඛයක්

කර්තෘ- සමන් චන්දන කුමාරසිංහ

කර්තෘ ප්‍රකාශනයකි

මිල- රුපියල් 250 ⁄ පිටු ගණන- 68

විමසීම්- 071 7629172

 

මෙම කෙටිකතා සංග්‍රහය තුළින් මානව ක්‍රියාකාරකම් දෙස සූක්ෂමව සිය දෘෂ්ටි අවදි කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත. වෘත්තියෙන් විදුහල්පතිවරයකු වන කතුවරයා පාඨකයා විඩාවට පත් නොකර එක හුස්මට කියවා රසවිඳිය හැකි ආකාරයට පන්හිඳ හැසිරවීමේ සමතෙකි.කොරෝනා වසංගත සමයේ රචිත මෙම කෘතිය තුළ කොරෝනා වංසගත තත්ත්වය හමුවේ සමාජය විනිවිද දකින කෙටිකතා කිහිපයක්ම ඇතුළත් වේ.

 

කෘතිය- විද්‍යාත්මක චින්තනය සහ සමාජ නිර්මාණය

කර්තෘ- එස්.ජී. පුංචිහේවා

ප්‍රකාශක- සරසවි ප්‍රකාශකයෝ

මිල- රුපියල් 400⁄ පිටු ගණන- 224

 

“මිනිසාගේ කායික සම මානසික ශ්‍රමය, ඔහුගේ විමුක්තිය සලසන ප්‍රධාන සාධකය වන්නේය” යන විද්‍යානුකූල දැක්ම පැහැදිලි කිරීම මෙම කෘතියේ අරමුණයි. එම පැහැදිලි කිරීමේදී මාක්ස්වාදය සහ බුද්ධාගම පිළිබඳ විමර්ශය කොට ඇති අතර එහිදී එම ප්‍රකාශ හැකිතරම් ලිහිල් නිවැරදි බස් වහරක් යොදා ගනිමින් රචනා කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත. මෙය කතුවරයාගේ 25 වැනි කෘතියයි.

 

කෘතිය- ගිනි සිසිල

කර්තෘ-මහින්ද රත්නායක

ප්‍රකාශක- ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ

මිල- රුපියල් 450⁄ පිටු ගණන- 136

විමසීම්- 0718086167

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද රත්නායක විසින් රචිත මෙම කෙටිකතා සංග්‍රහයේ එන හැම කතාවක්ම ලිංගිකත්වය හා සම්බන්ධයක් තිබේ. ඒ පිළිබඳ කෘතියේ පෙරවදන තුළින් කතුවරයා පවසන්නේ කතාමාලාවේ එන සිද්ධීන්ගෙන්, චරිතයන්ගෙන්, ආඛ්‍යාන වේදයන්ගෙන් විවිධතා, සූක්ෂමතා, නිර්මාණාත්මක ප්‍රවණතා සොයාගැනීම පාඨකයාටම භාර කරන බවයි. එකිනෙකට වෙනස් කෙටිකතා 8කින් මෙම කෘතිය සමන්විත වේ.

 

කෘතිය- සමුගන්නේ නැහැ

කර්තෘ-වනිතා රත්නායක

ප්‍රකාශක- සරසවි ප්‍රකාශකයෝ

මිල- රුපියල් 290⁄ පිටු ගණන- 144

විමසීම්- 071 8431402

 

සම්මානලාභී ලේඛිකා වනිතා රත්නායක විසින් රචිත මෙම යොවුන් නවකතාව දකුණේ සීනිගම අසල වෙරළබඩ ගම්මානයක වෙසෙන දරුවන් සිවු දෙනකුගේ සාගර චාරිකාවක් පදනම් කරගනිමින් රචනා කර ඇත. සුනාමි ව්‍යසනයෙන් තම ආදරණීයයන් සහ උන්හිටි තැන් අහිමි වූ ජනතාවගේ අත්දැකීමක් දරුවන්ගේ දෘෂ්ටියෙන් මෙහිදී ඉදිරිපත් කෙරේ.මෙය කතුවරිය විසින් රචිත 13 වැනි කෘතියයි.

Comments