උන්මාද සිතුවම් | සිළුමිණ

උන්මාද සිතුවම්

 

මෙවර කෙටිකතාව ලියන්නේ ප්‍රකට කෙටිකතා මෙන්ම නවකතා රචකයකු වන මලික් තුසිත ගුණරත්නය. ඔහු විසින් හිතුවක්කාර අහස, සිග්නල් කන්ද ආදි වශයෙන් කාව්‍ය සංග්‍රහ දෙකක් ද ලියා පළ කර ඇති අතර, ප්‍රේම ආතුරයන්ගේ කතාව, සඳරේකා, රත්තරන් දත, චන්දරේ මචාං!!, කිත්තා බයිසිකලේ වික්කා,

සිරිමිත් PLAZA, සමනයා යන කෙටිකතා සංග්‍රහ ද ඔහු ලියූ පොත පත අතර වේ. මලික් විසින් ලියන ලද නෙළුම් පොකුණ, සඳ කඳු මුඳුන, දක්ෂිණ ප්‍රේමය, මතක විසිරුණු තැනක යන නවකතා පාඨක විචාරක අවධානය දිනා ඇත.

 මලික් තුසිත ගුණරත්න

 

“ඔයා ඇයි දොස්තර මහත්තයට දෙවියෙක් කිව්වේ“

“මං එහෙම කිව්වද...?“

“බෙහෙත් බොන්නත් ඉස්සෙල්ල ලෙඩේ සනීප වුණාවද්ද කියල මට හිතුණෙ?“ තමා එසේ කිවුවාදැයි ඔහුට මතක නැත. එහෙම කියැවුණේ නම් එය වස වැරැද්දකි. ලෙඩේ සුව වූ පසුව දේවත්වයට ආරූඪ කරනවා විනා බෙහෙත් ලියා ගත් සැණින් වෛද්‍යවරයෙකුට පිළිම සෑදීම අනුවණ ක්‍රියාවකි.

“මගේ ලෙඩේ ගැන දන්නෙ මංනෙ...“

එය නොරිස්සුම් සහගත හඬකි. ඇයට නොදැනෙන්නට ඔහු හැඟීම්බර වෙන්නට වෑයම් කළේය.

“දැන් සරතුත් එයි ඔයාව බලන්න“

“ඔයාට හැම දේම ජෝක්නෙ“

කාර්යාල ප්‍රධානියාගෙන් කෙටි නිවාඩුවක් අනුමත කර ගැනීම පහසු කාර්යයක් නොවේ. ඉල්ලුම් පත දෙන විටම ඔහුගේ විමසුම් බැල්ම කවදත් රවීන්ද්‍රට අප්‍රසන්නය. එය සිරුරේ කෙටූ ටැටූවක් සේ, මුද්‍රා බැල්මකි. සමන්මලී වෙන අංශයක වැඩ කිරීම නිසා වැඩිපුර ප්‍රශ්න කරන්නට ඔහුට නොහැකිය. එහෙත් ඒ විපිළිසර බැල්ම තුළ වූ කතාව රවීන්ද්‍ර සහසුද්දෙන් දනී. ඉල්ලුම් පත අත්සන් කර දුන් පසුව ප්‍රධානියා සමන්මලීගේ ප්‍රධානියා අමතන බව ස්ථිරය. අතීතයේ සිට පවත්නා ඒ චිරස්ථීන පිළිවෙත අද බිඳ දමතැයි සිතිය නොහැකිය. මේ ජවනිකා තමුන්ටත්, සමන්මලීටත් ජීවමාන කරන්නේ කාර්යාල සගයන්ය.

“මිනිහගෙ හිතේ ඇති ඔයා ගැන“

රවීන්ද්‍ර මතු කරන්නේ යන ගමනේ සතුට අඩාළළ කරන අදහස්ය. සමන්මලීගේ සිනාපිරි මුව ඇතුළත් දර්ශනය බොඳ වී දුක්බර රූපරාමුවක් මතු වන බව ඔහු හොඳින්ම දැන සිටියේය. එය එලෙසම සිදු විය. මෙතෙක් තමුන් වෙත නැඹුරුව තිබූ වත බසයේ ජනේලයෙන් එළියට එල්ල විණි. පිටපතට අනුව දැන් චාටු බස් දොඩමින් ඇයගේ හද මෘදුවට පිරිමැදිය යුතුය. නැතහොත් චිත්‍රපටය බැලීම බොරුය. ඔහු තම වම් අත ඇයගේ දකුණු අත මතින් තැබුවේය. ඇයගේ අත පමණක් නොව ඔහුගේ අතද උරහිස්ස ළඟින් ගැස්සිණි.

“සතුටෙං ඉන්න කොට මොකක් හරි කියල ඔයා ඒ සතුට නැති කරනව“ “ඔයාට ඔච්චර කේන්ති ගන්න ඕනි දෙයක් නෙවෙයි ළමයො මං කිවුවෙ“

“එහෙනං මාව වෙන එවුන්ට ජෝඩු කරන්නෙ.....?“

“මගේ බොසා ඔයා ගැන කන්සර්න්. මං ලීවු එකක් ගත්තොත් ඔයා ඉන්නවද බලනව. කන්නෙ එකටද හොයනව. මං සීට් එකේ නැත්තං ඔයාගෙ බොසාට කෝල් කරල ඔයා ඉන්නවද කියල අහනව“

“ඉතිං ඒකට මං මොකද කරන්නෙ?“

“ඔයාට කරන්න දෙයක් නෑ. මටත් කරන්න දෙයක් නැති හින්ද තමයි මේ එක එක එවුව කියවෙන්නෙ“

“ගේට්ටුව ළඟදි සිකියුරිටි ඔෆිසත් අහනව රවීන්ද්‍ර මහත්තය එනකල්ද කියල“

“මුං ඔක්කොටම පිස්සු. අරූ දැං කැමරාවත් චෙක් කරයි“

“හරි. අපි ඒව අමතක කරමු. කොහෙද යන්නෙ“

සමන්මලීගේ වත ප්‍රබෝධමත් වෙනු රවීන්ද්‍ර බලා සිටියේ ආසාවෙනි. කෙහෙරැල්ලක් වැටී සමන්මලීගේ නළලතේ නෙක රටා මවයි. විටෙක එය වින්ස්ක්‍රීනයක වයිපරයක් මෙන් එහෙටත් මෙහෙටත් පැද්දෙයි. නළලතේ තොල් සුසුමක් තවරා එය පිසදාන්නට කෙහෙරැල්ලට ඉඩ හසර ලබා දිය යුතු යැයි හදිසියේ රවීන්ද්‍රට සිතිණි. බසයේ මගීන් අඩුය. මඳ වැස්සක් වැටුණෙන් බසයේද වයිපර් ක්‍රියාත්මක විණි.

“ෆිල්ම් එකකට“

“ඔය.....! ඇති.... මොකක්ද?“

“එක්ටැම් ගේ“

ආදරය වෙනුවෙන් ඒ තරම් කැප කිරීමක් කළ හැක්කේ කෙසේදැයි රවීන්ද්‍ර කල්පනා කරමින් සිටියේය. පෙම්වතිය පිළිබඳව දැඩි අපුලක් හිතේ පුරෝ ගනිමින් ඔහු අවශ්‍ය තරමට ඊට ක්‍රෝධය මුසු කරමින් සිටියේය. පෙම්වතිය පැමිණි පසු ප්‍රදීපාගාරයේ මුඳුන් සොල්දරයේ සිට ඔහු හෙළූ බැල්ම රවීන්ද්‍රට ලේසියෙන් අමතක කළ නොහැකිය. ඒ අපිළිවෙළ සිරුර ඔහුව නන්නත්තාර කර දමා තිබිණ. ගැහැනිය, සිය ස්වාමියාටද, පෙම්වතාටද කුරිරුකම් පෑ කාලකණ්ණි චරිතයක් බව ඔහුට පැහැදිලිය. මේ චිත්‍රපට කතාව ගැන මේ තරම් සිත තලා පෙළා දමන්නේ මන්දැයි ඒ සමඟම ඔහුට කල්පනා විය. එය සැලෝලයිඩ් ප්‍රේම වෘතාන්තයකි. එහෙත් ඔහු යළි සිතන්නේ කිසිසේත් මෙය නිර්මාණකරුගේ හිතළුවක් නොවනා බවය. රඟපාන නළුවාගේ සැබෑ නම ද රවීන්ද්‍ර නිසා තමා ඒ චරිතයට ලොල් වූවාදැයි සැකයක් ඔහු තුළ ගොඩ නැ‌ෙඟමින් තිබිණ. රවීන්ද්‍ර රන්දෙණිය නම් මහා නළුවාගේ පිළිමයක්, රවීන්ද්‍ර කොඩිතුවක්කු තම සිත් මැදුරේ තනන්නට පළමු පස් පිඩැල්ල කපන මොහොතේදීයි නිවසේ වූ ස්ථාවර දුරකථනයට ඒ ඇමතුම ආවේ.

“මඟුලක් කියෝනව... පිස්සුද අනේ ඔයාට?“

“ඇයි මේ කේන්තියෙං“

ස්වර්ණ සමාධිය බිඳ දැමීම, රවීන්ද්‍රට කිසිසේත් ඔරොත්තු දෙන්නක් නොවීය. තම සිත් වටමළුව සරත් වෙනුවෙන් උපහාර සෑ කොතක් කර අවසන්ය. සැබෑ ප්‍රේමයක් පිදීම යනු නිර්වාණ කවුළුවක් හැරදීමකැයි ඔහු සිතමින් සිටියේය. අවශ්‍ය ඕනෑම වේලාවක එවැනි පූජාවකට තම සිතද සැදී, පැහැදී, පේවී ඇතැයි ඔහු ස්ථිරවම දැන සිටියේය. මේ නිස්කලංක රාත්‍රී සමයේ බවුන් වඩනා තම සුපේශල සිත කුරිරු ලෙස ඉන් මුදවා ලෞකික ආසාවන් වෙත අලවා ගන්නා මර දූතිකා හඬක් ලෙස ඔහු, ඇයගේ ඇමතුම වර්ග කර තිබුණේය.

“ඔයා මොනවද මේ කියන්නේ?“

“ඉස්සෙල්ල දහයට ගණං කරන්න“

මඳ වේලාවකට පසුව යළි ඒ මිහිරි හඬ ඇසෙයි.

“හරිද.... ගැන්නද?“

“පිස්සුද අනේ.... මං කා එක්ක බලන්නද? ඔයා මේ පිස්සු කියෝනව. දැං අම්මලටත් ඇහෙයි“

“හරි ඉතිං. ඕකට ඔච්චර කේන්ති ගන්නෝන්නෑනෙ“

“මං ලොකු වැඩක හිටියෙ“

“මොකක්ද අප්පේ ඔච්චර ලොකු වැඩේ. ගර්ල් ෆ්‍රෙන්ඩ් කතා කරන කොටවත් අතාරින්න බැරි“

“කවියක් ලිය ලිය හිටියෙ“

තමා බොරුවක් කියන්නට පෙළඹුණේ මන්දැයි රවීන්ද්‍ර ඊළඟ මොහොතේදී කල්පනා කළේය. මෙතුවක් කලක් තමා සමන්මලීට මුසාවක් දෙසා නැත. අන් ඇසුරු සොයා ගොස් නැත. පාරේ යන සොඳුරු යුවතියන් සමඟ මනෝ මන්දිර යහනක හෝ සැතපී නැත. තම එකම දිව්‍ය භවන සමන්මලීගේ දෑස් පමණි. කේන්ති ගියේ සරත් සමාධිය බිඳ දැමූ නිසාය. එහෙත් ඒ සැලෝලයිඩ් සිහිනය ප්‍රේමයට බාධාවක් කර ගත යුතු නැතැයි ඔහු ඊළඟ මොහොතේදී සිතුවේය. බිඳුණු සිත් සනසවන්නට හැකි පහසුම වචනය ඔහු තෝරා ගත්තේය.

“සොරි“ “එතකොට ඔක්කොම හරි“ “අනේ මාව අවුල් කරන්න එපා රත්තරනේ“ ඔහු රත්තරං ආලේප කරන්නට පටන් ගත්තේ සිත සුවපත් නොවූ බව දැනුණු මොහොතේදීය.

“එහෙනං තියන්නං. ඔයා කවිය ලියන්නකෝ. මටත් බලන්න අරං එන්න“ “ඔයා ෆිල්ම් එක ඉවර වෙන්නත් ඉස්සෙල්ල කොහොමද එන්ඩ් එක ගැන කිවුවෙ. ඒ කියන්නෙ ඔයා මීට ඉස්සෙල්ල ඒක බලල තියෙනව“

“පිස්සුද අනේ.... ඒක යන විදිහට හිතා ගන්න බැරිද?“

“මං පිළිගන්නෑ.... කා එක්ක බැලුවෙ?“

ඔහු ‘මඟුලක් කියෝනව‘ කිවුවේ ඒ මොහොතේදීය. සමාධිය බිඳ ගත්තේ ඒ මොහොතේදීය. එළැඹෙන්න පෙර අවසානය ගැන පෙරනිමිති කීම භයානක කටයුත්තකැයි ඔහුට සිතුණේත් ඒ මොහොතේදීය. “කෝ එදා ලියපු කවිය. දුන්නෙවත් නෑ“

සමන්මලීගේ හඬේ ඇත්තේ චෝදනාත්මක ස්වරයකි. සැටියේ ඇය හිඳ ගත්තේ තරමක් ඈතිනි. නිවසේ සිටින විට ඇය බොහෝ සංවරය. තම අත කොනිති නොගසයි. උරහිසට වාරු නොවෙයි. කපළ තම දෙතොල් වෙත ළං නොකරයි. පියවෙන දෑස් වලට නිවාඩු දී කතා කරනා දෑස් පැලැඳ ගනී.

“ඒක හරියට ලියැවුන්නෑ“

“බොරු කියන්නෙ“

“ඔයාට මාව දැං සැකයි“

“නෑ පැටියො... මං විහිළුවක් කරේ“

“ෆිල්ම් එක නං මරු නේද. රවීන්ද්‍රෙග ඇක්ටිං... කී පාරක් බැලුවත් මං හැමදාම ඉන්නෙ ඒ ලෝකෙ“

“හරිම ලස්සනයි. මාලා වගේ ගෑනු ඉන්නවද අනේ. මට නං හිතා ගන්නවත් බෑ“

“මං හිතන්නෙ ඕක ඇත්ත කතාවක්“

“මං හිතන්නෑ. ඕක හදපු කතාවක්. හැබැයි දැනෙන්න කරල තියෙනව. අනික මට නං ඕක හය හත් පාරක් බලන්න තරං වටින එකක් නෙවේ“

“මං ඕකෙ ඇත්ත නැත්ත හොයා ගන්නව“

“වෙන වැඩ නැත්තං හොඳයි“

සී නයින්ටියක හඬ කියා පෑවේ පියා පැමිණි බවකි. මව මුළුතැන්ගෙයි උයන බව මීට මොහොතකට පෙර කිවුවේ සමන්මලීය. ඊටත් මොහොතකට පෙර රවීන්ද්‍ර, සමන්මලීව ඇද තමුන් සමීපයට ගත්තේය. උයන මව කිසි දිනෙක කතා නොකර සාලයට නොඑන බව රවීන්ද්‍ර අත්දැකීමෙන් දැන සිටියේය. ඔවුන් ඈත් මෑත් වූයේ සී නයින්ටියේ හඬය. පියා මෝටර් සයිකලයෙන් බසින විටත් සමන්මලී ගෙයි දොරකඩය. ඔහු ගෙට ගොඩ වූයේ අතේ තිබූ පාර්සලය සමන්මලීට දෙමිනි.

“ආ.... මේ දරුව ඇවිත්නෙ. දැං ද ආවෙ?“

“ටිකක් වෙලා“ “බඩු ගිනි ගණං. විවෘත ආර්ථිකේ කිවුවට මොකද තිබ්බ සංවෘතේ හොඳයි කියල හිතෙනව“

තමා අසලින් හිඳ ගනියි යයි සිතුණද පියා එසේ නොකොට කෙළින්ම කන්තෝරු කාමරයට ගියේය. ආපසු ආවේ පොත් කිහිපයක් අතැතිවය.

“කවියක් ගැටගහගන්න මේ ළමයගෙ උනන්දුවක් තියෙනව කියල දුව කිවුව. එක පාරට කවියක් ලියනවට වඩා මේ පොත් ටික කියවන්න. ඊට පස්සෙ පුළුවං කවි ලියන්න. හුඟක් තරුණ ළමයි වරද්දගන්න තැනක් තමයි ඔතන. වහලෙ ගැන හිතනව පාදමට ඉස්සෙල්ල“

ඔහු කවි පොත් කිහිපය පෙරළා බැලුවේය. සංදේශ කාව්‍ය පහකි. විමලරත්න කුමාරගේගෙ එක් කවි පොතකි. අනෙක ගුත්තිල කාව්‍යයයි. අතට අරන් පෙරළලා හෝ බලා තිබුණේ ගුත්තිල කාව්‍ය පමණි. ඒ පාසල් කාලයේදීය. පියා අනාගත බෑණා දෙස බලමින් කතා කළේය.

“ඔය කොළඹ යුගයෙ කවියො කියල කට්ටියක් හිටියනෙ. මීමනල, සාගර පළන්සූරියල, එච්.එම්. කුඩලිගමල උන්නැහැල ලිවුවෙ සිවු පද. විමලරත්න කුමාරගේ මහත්තයත් ලිවුවෙ සිවු පද තමයි. කළිසං කෝට් කාරය වුණත් මිනිහ ලිවුව එවුව ටිකක් වෙනස්. විනෝදාස්වාදයට එහා ගිය කවි. හැබැයි කවිය පිපිරෙව්වෙ ජී.බී. සේනානායක උන්නැහැ. ඒ නිදහස් කවි ගෙනත්“

එන පොට හොඳ නැති බව රවීන්ද්‍රට වැටහිණි. කියන මෙලෝ හසරක් වැටහෙන්නේ නැත. කියූ නම් වලින් දන්නේ ගුත්තිලය පමණි. චිත්‍රපටකාරයෝ නම් වාසගම්, නම් වලින් දනී. බොරුවක් ගිය දුරක්. ඉවසන්නම බැරි මුළුතැන්ගෙයි දොරේ තිරය රෙද්ද අස්සේ හිඳ සමන්මලීගේ අභිනය විසුළු දෙස බලා හිඳුමය.

“දැං ඔය ලෙස්ටර් මහත්තයත් ඔහොමනෙ. කැමරාව අරං පාරට නොබැස්සනං තවත් අවුරුදු ගාණක් යනකල් අපේ බයිස්කෝප් එකත් මදුරාසියෙයි, මෙහෙ චිත්‍රාගාර වලයි හිර වෙන්න තිබුණ. ඔන්න පිපිරුම්. අලුත් දේවල් සොයා යාම“

රවීන්ද්‍රට හුස්ම ගැනීම පහසු වූයේ කතාව චිත්‍රපටයට විතැන් වූ පසුවය. ඔහු වරක් හරි බරි ගැසී සැටියේ හිඳ ගත්තේය. එක්ටැම් ගේ චිත්‍රපටය ගැන කියන්නට මුව වෙවුලුම් කෑවේය. එහෙත් තොල කට සිඳී ගියේය. එහෙත් ඔහු වීරිය වඩවාගෙන මුව විවර කළේය.

“මේ ඊයේ පෙරේද හොඳ ෆිල්ම් එකක්....“

ඔහුට කතාව අවසන් කරන්නට නොහැකි වූයේ තිර රෙද්ද අතරින් යළිත් අර මුහුණ මතු වූ හෙයිනි. මුහුණේ වූයේ ‘කියන්නෙපා‘ ය විධානයයි. සිනාවක් නොවිණි. ඇසි පිය සැලි සැලී ගියේය. ‘මෝඩයා‘ කියූ වගක්ද සිතුණේ තොල් දෙක උල් වූ බැවිනි.

“මොකක්ද?“ “එක්ටැම් ගේ කියල“

“කාගෙද?“ “හර්බට් රංජිත් පීරිස්ගෙ. රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ශාන්ති ලේඛ, මියුසික් සරත් දසනායකගෙ. අර උන්මාද සිතුවම් සින්දුව තියෙන්නෙ“

“මේ ළමයට කට පාඩංනෙ““නෑ අංකල්. ඒක ලස්සනයි“

“බලමුකො... දුවයි අම්මයි එක්ක යන්න. කාලෙකින් පිච්චර් එකක් බැලුවෙත් නෑ“ රවීන්ද්‍ර ආපසු යන විටදී පියා පොත් ගැන මතක් කළේය. ‘ඕව කියෝපු ගමං කවි ලියැවෙන්නෑ. කියෝන කොට තේරෙයි අලුත් යමක් එකතු වෙනව කියල. ඒ ඔස්සේ හිතන කොට අලුත් සිදුවීම්, චිත්‍රයක් මැවෙන්න ගන්නව. ඒකට කියන්නෙ පරිකල්පනය කියල. අනේ රජෝ.... මට පොත් ටික නං පරෙස්සමට ගෙනත් දෙන්නෝන‘ යි ද කීවේය. “අනේ මං දන්නෑ රවී ඔයා නං මැටි මෝලක්“ “ඇයි?“ “ඇයි අහන්නෙ. දැං මට ආයෙත් එක්ටැම් ගේ බලන්න යන්න වෙනව“ “ශෝක්නෙ“

“පස්වෙනි පාරට!“ ඔය සංවාදය ඇති වුණේ දෙන්නා ගේට්ටුව ළඟට එන අතරතුරේ මිදුලේදීය. ඔහු සමු ගත්තේ හිත නොහොඳිනි. සමන්මලී ‘හරි රත්තරං. බුදු සරණයි‘ කිවුවේ හිත රිදුණු බව දැනුන නිසාය. ඔහු කිසිවක් කතා නොකළේය. “දැං ඔයාට කොහොමද?“ “සෑහෙන්න ගුණයි“

“මුත්‍රා කරන කොට දැවිල්ල නැද්ද.... උණ ගතිය?“

“නෑ“ “එහෙනං බෙහෙත් ආන්සර් කරල. ඔන්න දැං නං දොස්තර දෙවියෙක් කිව්වට කමක් නෑ.. “සීරියස්ලි කතාව පටං අරං ජෝක් එකකින් ඉවර කරනව“

“අපෝ... ඉස්සර වගේම තමයි. ජෝක්ස් තේරෙන්නෑ. විහිළුවක්නෙ“ “ලෙඩක් එක්ක විහිළු කරන්න හොඳ නෑ“

“කොහොම වුණත් ඉක්මනට සනීප වෙච්ච එක ලොකු දෙයක්. ඔයා කොච්චර අසහනෙන්ද හිටියෙ“

“මං හිතුවෙ හොස්පිට්ල් එකේ නවතින්න වෙයි කියල“

අලුත් රැකියාව රවීන්ද්‍රට වඩා සුව පහසු අවකාශයක් ඇති කළේය. පැරණි රැකියාව ඔහුට තිත්ත වී තිබිණි. උදේට රැකියා ස්ථානයට ගියේ වධකාගාරයකට යන්නා සේය. ප්‍රධානියා, සංසාරෙන් සංසාරෙට තමා පසු පස ක්‍රෝධයෙන්, වෛරයෙන් හඹා එන ආලවකයෙක් ලෙස ඔහු වර්ග කර තිබිණි. ඒ හඹා ඒම වඩා තීව්‍ර වූයේ සමන්මලී සමඟ ප්‍රේම සම්බන්ධය පටන් ගැනීමෙන් පසුවය.

ඔහු නොයෙක් රැකියා වලට ඉල්ලුම් පත්‍ර පුරවා තැපැල් කළේය. රජයේ ගැසට් පත්‍රිකා තොග පිටින් ගෙන පරීක්ෂා කළේය. රැකියාවක් සොයා දෙන ලෙස හිත මිත්‍රයන්ට ආයාචනා කළේය. ඔහුගේ අසහනකාරී තත්වය දත් සමන්මලීද, ඇයට හැකි පමණින් උදව් කළාය. “ලයිට් හවුස් කීපර් වගේ තනතුරක් හම්බුණොත් ජාති“ “ඒ මොන විකාරයක්ද. ඔයාට පිස්සුද රවී“ “කොච්චර නිදහස් රස්සාවක්ද. කුලුනක් උඩ..... එක පැත්තකින් මුහුද.... ලොක්කො නෑ. මං විතරයි. අපි බැන්දහම ඔයාට පුළුවං මට කෑම එහෙම අරං එන්න. පඩි ගොඩක් නැඟල හති අරින්න. බත් කටක් කවන්න. හරියට මාලා පුෂ්පලතා වගේ. නෑ... එයා ජරා ගෑනියෙක්. මට නං සරත් වෙන්න පුළුවං. රැවුල වවාගෙන, කොණ්ඩෙ වවාගෙන ෂාහ්....“

“රස්සාවක් හොයාගන්න ඉස්සෙල්ල ඔළුව පොඩ්ඩක් බලා ගන්න වෙයි වගේ“ “මං මේ දවස් වල ගැසට් එකයි පත්තරෙයි බලනව. ඒවයෙ ඇඩ් එක දානවලු. මට යාළුවෙක් කිවුවෙ. විභාගයක් තියලලු ගන්නෙ. සුද්දගෙ කාලෙ ලයිට් හවුස් පාලනය කරල තියෙන්නෙ කොම්පැණියක්. පස්සෙ ආණ්ඩුවට අරං තියෙනව. ඊට පස්සෙ නේවි එකට දීල. දැං කරන්නෙ වරායෙං. ලංකාව පුරා ලයිට් හවුස් පහළොවක් දාසයක් විතර තියෙනව. ඉන්ටනැෂනල් දෙකයි. කුඩා රාවණා, මහ රාවණා. ඒ දෙක තියෙන්නෙ මූද මැද“

“ඇයි අනේ.... මට මොකටද ඕව. කන් දෙකත් රිදෙනව“

ප්‍රදීපාගාරයක නොවුණ ද රවීන්ද්‍රට සරිලන රැකියාවක් ලැබීම ගැන වඩාත් සතුටු වූයේ සමන්මලීය. එහෙත් ඒ සතුට වැඩි කාලයක් සිතේ නොරැඳිණි. රවීන්ද්‍රෙගන් හිස් වූ තනතුර සමන්මලීගෙන් පුරවා ගැනීමට අංශ ප්‍රධානියා වලි කෑවේය.

“මං ඕකව මරනව..... විල්සන්!“ “විල්සන්! ඒ කවුද?“ “ඇයි අර නාකි මනමාලය.... දෙන්න අතරට පැනල මාලනීව උස්සං ගියෙ. ජෝ“ “විල්සන් කාරය මාලනීව බලෙං උස්සං ගියේ නෑනෙ. දෙන්න බැන්දනෙ. පස්සෙනෙ ඒකිට ආදරේ හිතිල සරත් ගැන හොයන්න ගත්තෙ“

“මූත් නාකි මනමාලයෙක් තමයි. බැරිම නං අපි ඔයාටත් වෙන ජොබ් එකක් බලමු“ “දැංම එපා. පත්තු වෙනකං ඉම්මුකො“ සමන්මලීගේ පියා දුන් කවි පොත් කිහිපය මේසය මත තැබූ තැනමය. පොතකට අත තබනා සෑම මොහොතකම සිතුවිලි අකාරුණික ලෙස විසිර යයි. කොට්ටෙ බදා ගෙන ඇඳේ මුණින් අතට පෙරළුනා මිස කියැවුණු කවියක් නැත. කිහිප විටකදීම කවියක් ලියන්නට එක්සයිස් පොත් මිලදී ගත්තද ලියැවුණු කවියක්ද නැත. මෙතෙක් සමන්මලී හෝ පියා හෝ ඒ පිළිබඳව විමසීමක් නොකිරීම සැනසුමකි. කෙසේ හෝ කවියක් ලියන්නමැයි සිතා රවීන්ද්‍ර පුටුව මතින් හිඳ ගත්තේය. මේසය මත වූ අබලි ද්‍රව්‍ය සියල්ල වීසි කර දැමුවේය. පොතේ පිටුවක් ඉරා පෑන ළං කර ගත්තේය. සිත හිරි වට්ටවා ගනිමින් කල්පනා කළේය. හිස අවුල් කර ගනිමින් කොට්ටයේ කොණ හප කළේය. පොතේ ඉරී ගිය පිටු කොළ ගුලි බවට පත්ව කාමරයේ මුල්ලක් පිරී ගියේය. අවසානයේදී ඔහු ජය ගත්තේය.

ඔහු කවිය පිරිසිදු කොළේක පිටපත් කළේ සීරුවටය. වටේට මල් ඇඳ වර්ණ ගැන්වීය. මල් වැලට පිටතින් නෙක පාටින් ඉරි ඇඳ එය රාමුවක් බවට පත් කළේය. එය සොහොනක මුහුණතක් ලෙස දිස් වුවද රවීන්ද්‍රට එහෙම සිතුණේ නැත. පසු දින එළැඹෙන තුරු ඔහු සිටියේ නොඉවසිල්ලෙනි. සමන්මලීගේ සතුටු මුහුණ ඔහුට මැවී පෙනිණ. කවිය දුටු සැණින් ඇය පුදුම වෙනවා නියතය.

පසු දින රවීන්ද්‍ර සංදේශ කාව්‍ය පොත් දෙකකුත්, ගුත්තිලයත් කවරෙකට දමා ගත්තේය. සියල්ල නොගත්තේ ‘ඉතිරි ඒව තාම කියෝනව‘ යි ව්‍යංගාර්ථයෙන් ඇඟවීමටය. එයින් සමන්මලීටත් වඩා පියා සතුටු වෙන බව රවීන්ද්‍ර දනියි.

“මොකද විල්සා?“ “මොකුත් නෑ. තාම මාව එතෙන්ට ගන්න ට්‍රයි““ඕක කොහොම හරි ඔයාව ඔතන්ට ගන්නව. අනික් මැනේජර්ස්ලට හයියක් නෑ ඕක නවත්තන්න. සමහරවිට ඔයාට කරදරයක් නැතුව වැඩ කරන්න පුළුවං වෙයි. මොකද ඕකට ඇරියස් එක තිබ්බෙ මං එක්ක“

“අනේ මංද“

“ට්‍රයි කරාට ඕකට තාම බැරි වුණා අපේ කවුරුවත් දැලේ දාගන්න. ඔයා දන්නවද ඌ එන්ටර් වෙන විදිහ. කාමරේට අඬ ගහල කියනව ‘මං ඔයාව ඊයෙ රෑ හීනෙන් දැක්ක‘ කියල. තවත් දවස් දෙක තුනකට පස්සෙ තමයි යෝජනාව ගේන්නෙ“ ගමනාන්තය කෙමෙන් ළං වෙයි. රවීන්ද්‍රට කවිය මතක් වූයේ ඒ මොහොතේදීය. ඔහු සාක්කුවෙන් කොළ කැබැල්ල එළියට ගත්තේය. නිල් මැණිකක් සේ එය සමන්මලීට පිළිගැන්වූවේය. “මොකක්ද, කවියද?“

ඔහු ‘ඔව්‘ කිවුවේ තොරණක විදුලි බුබුළු සියල්ල එකවර දැල් වී ගිය අවස්ථාවක මෙන් ප්‍රීතියෙන් ප්‍රහර්ෂයට පත් මුහුණකින් යුතුවය. සමන්මලී කවිය කියවයි. රවීන්ද්‍ර ඇයගේ දෑස කියවයි. ‘උමතු චිත්‍ර ඇඳෙයි මැකෙයි

සිහින් වලාවක අතීතයේ ගිලිහුණු පෙම

ගිනි තිබ්බා හදවත තනි වී මා මේ සංසාරේ‘

“මේ මොකක්ද.... උන්මාද සිතුවම් සින්දුවට ඔයා වෙන වචන දාලනෙ... පිස්සුනෙ!“ කවිය මිය ගියේය. කවියාද අභාවප්‍රාප්ත විය. දේහය රැගෙන සමන්මලී ඊළඟ නැවතුමෙන් බැස්සාය. ජීවිතයේ ලියූ පළමු කවිය අබියස උරුම වූයේ පරාජයයි. යළිත් කවි නොලියන්නට ඔහු තීරණය කළේය.

රාජකාරියට යන බස් ගමන අතරතුරේදී ඔහු යළිත් වරක් ඇය වෙත කොළ කැබැල්ලක් දිගු කළේය. ඇය ‘කවියක්ද‘යි ඇසුවාය. ඔහු ඊට උත්තරයක් නොදුන්නේය. ඒ වෙනුවට ඔහු පියා විසින් දුන් ඉතිරි පොත් කිහිපය ඇය වෙත ප්‍රදානය කළේය. “කියවල ඉවරද?“ “ඕක බලන්නකො“ ඇය ඒ කොළය ගෙන කියවන්නට වූවාය. දෑස් ප්‍රබෝධයෙන් දැල්වී යළි මිලානව ගියේය. “අනේ මංද රවී.... ඔයා එක්ක ඉඳල දැං මටත් පිස්සු හැදෙනව“

ඇය බසින විටදී ඒ කොළ කැබැල්ල ඔහුගේ උකුළ මතට හෙළුවේ නොසැලකිල්ලෙනි. ‘යන්නං රත්තරනේ‘ යි කියා බැස ගියාය. කොළ කැබැල්ල අතට ගත් රවීන්ද්‍ර එය කියවන්නට වූවේය. ‘ඔයාගෙ නම දන්නෙත් නෑ.... කියන්නෑ?.......... නම නොකිවුවොත් මම බත් දුව කියනව‘

‘මාලා‘ ‘මාලා ඉතරයිද?‘ ‘මාලා පුෂ්පලතා‘

(එක්ටැම් ගේ චිත්‍රපටයේ වූ දෙබසකි)

රවීන්ද්‍ර බසයෙන් බසින විට ඒ දෙබස් දහතුන් වරක් කියවා තිබිණ. වල් වැදී තිබුණ මිදුල රවීන්ද්‍ර උදලු ගානා හඬ සමන්මලීට ඇසෙයි. ඇය ඉවුම් පිහුම් කටයුතුවල යෙදී සිටියේ සය හැවිරිදි පුතාටද පාඩම් වැඩ කියා දෙමිනි. එසේ වැඩ දෙකක නිරත වීම අසීරු කටයුත්තක් වුවද ඔහුගේ ශ්‍රමදානෙට බාධා නොකරන්නට ඇය තීරණය කර තිබුණාය.

උයන අතරේ එක්වරම ඇයට මතක් වූයේ මේ වන විට රවීන්ද්‍රත් තමාත් කෙතරම් චිත්‍රපට සංඛ්‍යාවක් නරඹා ඇද්ද යන්නය. චිත්‍රපටයක් මුදා හැරි වහාම නැරඹීම අදටත් පුරුද්දකි. ගාණක් මිම්මක් සිතා ගත නොහැකිය.

කතරගම යතොත් දෙවුන්දර ප්‍රදීපාගාරය නරඹන්නට යාම රවීන්ද්‍රෙග් සිරිතය. පාරෙන් ඇතුළත පිහිටි එම ස්ථානයට ළඟා වීම නිරපරාදේ කාලය නාස්ති කර දැමීමකැයි කෙතරම් වග පල කීවද ඔහුගේ ප්‍රතික්‍රියාව වන්නේ මුණිවතයි. විවාහ වූ අලුත එහි ගියේ ‘දකින්න ආසයි‘ යි කියූ නිසාය. දැන් කියන්නේ ‘දරුවො ඕව ගැන දැන ගත යුතුයි‘ කියාය. ඔය උස බම්බුව දැකීමෙන් දරුවාටත්, තමාටත් සතුටක් ළං නොවෙන බව ඇය දෙතුන් වර කියා තිබුණාය.

ඉවුම් පිහුම් කටයුතු අවසන් කළ සමන්මලී සාලයට පැමිණ සැටියේ හිඳ ගත්තේ දිගු සුසුමක් හෙළමිනි. ඇය රූපවාහිනිය ක්‍රියාත්මක කළාය. හසු වූ චැනලයේ ‘එක්ටැම් ගේ‘ චිත්‍රපටය විකාශය වේ. ඇයට කෑගැසිණි.

“ඔයාගෙ ෆිල්ම් එක යනෝ“

තත්පරයෙන් රවීන්ද්‍ර සාලයේය. කටින් පපුවට පිඹ ගනිමින් ඔහු කුෂන් පුටුවක වාඩි වූවේය.

“අයියො..... දාඩිය. අර වේවැල් පුටුවට යන්නකො“

උදලු ගෑම අහවරය. ඒ පැය දෙක ගෙවෙන කොට අඳුර පහත් වී අවසන්ය. ඉන් පසුවද ඒ චිත්‍රපටය විවිධ නාළිකා ඔස්සේ ප්‍රදර්ශනය වෙනු සමන්මලී දුටුවාය. එහෙත් ඇය පරණ මෝඩකම යළි නොකළාය. හෙමින් සීරුවේ රූපවාහිනිය අක්‍රිය කළාය.

එහෙම විසංවාදී අදහස් අතීතයේද ඇති වී තිබුණද ගිනි නොඇවිළුණේ අඹුසැමියෝ නිහඬවම අඩියක් දෙකක් පසුපසට ගත් නිසාය. අනික ඒවා ඇති වූයේ පවුල් ජීවිතයේ බරපතළ කාරණා නිසා හෝ පවුලට සම්බන්ධ අනෙකුත් සහෘද නෑදෑ සමූහයා නිසාය. එකක් වූයේ විල්සන්ගේ ප්‍රශ්නයය. දිනෙන් දින ඔහුගෙන් සමන්මලීට එල්ල වුණු ලිංගික පීඩනය ඔවුන් සමනය කර ගත්තේ රැකියාවට සමු දීමෙන්ය. අගහිඟකමක් දැනුණ ද ඔවුන් ඒ සියල්ල මනාව පාලනය කර ගත්හ. එහෙත් මෙවර චිත්‍රපටයක් නිසා මඳ ගින්නක් ඇවිලී තිබිණි.

“ඔයා නාවත් මං යනව“

“ඔයා කොහොමද එහෙම තීරණේ කරන්නෙ“

“ඒක සරත් දසනායක මහත්තය මියුසික් කරපු ෆිල්ම්ස් පෙන්නන උපහාර උත්සවයක්. ඔහොම අපි ඔක්කොම හිතුවොත් කවුරුත් ඔය උත්සව වලට යන එකක් නෑනෙ“

“ඉතිං ඔයා ඔය ෆිල්ම් එකම තෝරගත්තෙ?“

“ඒකට මං ආස හින්ද“ “මං එන්නෑ. ඔයා ආස නං යන්න. මාව දාල යන පළවෙනි වතාව‘

තරංගනියේ පැවැති ඒ උත්සවයට රවීන්ද්‍ර තනිවම සහභාගී වූයේය. චිත්‍රපටය නැවත නැවතත් වින්දේය. උත්සවය අවසානයේදී වූ හමුවේදී ඔහු චිත්‍රපටය වින්දාටත් වඩා අති විශාල සතුටක උරුමක්කාරයෙක් වී සිටියේය. චිත්‍රපටය ‘එක්ටැම් ගේ‘ වූවාට ඔහුගේ හදවත අරා වෙහෙරක් සේ නැගී සිටියේ ‘ගොළු හදවත‘ ය.

“මං ආයෙ ඉස්කෝලෙ කාලෙට ගියා“

සමුගන්නා මොහොතේදී ඔහු මංගලිකාට පැවසුවේය.

“මං සරත් දසනායක මහත්තය ගැන ලිපියක් ලිවුව. ඒක පළ කරල දෙන්න?“ “ඔයා!“

එය විශ්මය හඬවන හඬක් බව ඔහු හඳුනා ගත්තේය.

“එයාගෙ සම්පූර්ණ ‘සංගීත චරිකාව ගැනද?“

“නෑ. එක්ටැම් ගේ ෆිල්ම් එකේ මියුසික් ගැන“

“එවන්න බලන්න. පාසල් කාලෙ යාළුවන්ට උදව් කරන්නත් එපායැ“

පත්තර වල කවි සහ කෙටි කතා කියවීම නිසා දැන් රවීන්ද්‍රෙග් නිර්මාණාත්මක හැකියාව යම් තරමකට වර්ධනය වී තිබිණි. “ඕක අරං එන්න මෙහෙට. ආසයි ආයෙ දකින්න“

මංගලිකා කතා කරන්නේ කන නළවමිනි. එවිට තම හදද ගැස්සෙයි. “මං එන්නං ඔයා ඉතිං කලා පිටුවෙ එඩිටනෙ. බැරි වෙන එකක් නෑ නේද?“

රවීන්ද්‍ර කෙටි නිවාඩුවක් දමා ලිපියත් රැගෙන පත්තර කන්තෝරුව වෙත ගියේය.

“ඉතිං. කොහොමද?“

ඒ ස්වරය එදා වාගේමය. මිශ්‍ර පාසලේදී කනේ අරලිය මලක් ගසා ගෙන ‘මේ ලස්සනද‘ යි ඇසූ ස්වරයමය. යෙහෙළියක අත ආදර හසුනක් එවා එයට පිළිතුරු බලාපොරොත්තුවෙන් නොනගත කාලයක සිටි වික්ෂිප්ත දෑසමය. ළඟින් ඇසුරු කළ කාලයේ වූ ආයාචනාත්මක දෙතොල්මය. මල නොතලා රොන් ගෙන ‘බතලියකට ආදරේ කරන්න බෑ‘ යි කියා කුරිරු ලෙස ඇගෙන් දුරස් වූ දවසේ දෑසෙන් වැටුණු කඳුළුමය.

“ඇයි අඬන්නෙ?“

“නිකං“

අද ද ඇය බතලය. තමාද සිරුරෙන් තරබාරුය. තම උදරය ඉදිරියට නෙරා ඇති නමුත් ඇයගේ බඩක් නොපෙනේ. ඇඳ සිටින්නේ කුර්තාවක් නිසා උදරය නොපෙනෙනවා වන්නට පුළුවන.

මංගලිකා ලිපිය කියවයි. ඔහු ඇයගේ බෙටි ඇඟිලි දෙස බලා ගෙන සිටියේය. දෑතේ ඇඟිලි වල මුදු කිහිපයකි. නමුත් මඟුල් මුද්දක් ලෙස හඳුනාගත හැකි එකක් නොවීය. දෙපයේ කළු පැහැති ඇන්කල් වළලු දෙකකි.

ඇය ද ‘එක්ටැම් ගේ‘ට පෙම් බඳින්නියකි. අගනුවර පැවැත්වෙන චිත්‍රපට උලෙළවල ‘එක්ටැම් ගේ‘ තිරගත වේ නම් අනිවාර්යයෙන් ඔවුන් දෙදෙනා එතැන වූහ. ක්‍රමයෙන් ප්‍රදීපාගාර දෙකක් ගොඩනැගෙද්දී සමන්මලීත්, දරු පැටියාත් ඒවා පාමුල අඳුරේ තනි වී සිටියහ. තමාවත් දරු පැටියාවත් ක්ෂුද්‍ර ජීවීන් බවට පත් කරමින් විසල් කුලුනු දෙකක් ගොඩනැ­‌ෙඟන බව සමන්මලී දැන සිටියේ නැත. එහි වාසිය අත්පත් කර ගනිමින් රවීන්ද්‍ර ප්‍රදීපාගාර ආලෝකය නිරන්තරේ දල්වමින්, සැඳෑ අඳුරේ නිවසට ගොඩ වී සමන්මලීත්, දරු පැටියාත් සමඟින් ආදරයේ පහන් පත්තු කරමින් සිටියේය.

පත්තරයට අවශ්‍ය ලිපියකට රවීන්ද්‍ර රන්දෙණිය හෝ මාලනී ෆොන්සේකා හමු වී සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට යාමේදී බොහෝ විට මංගලිකා සමඟින් රවීන්ද්‍ර ද ගියේය. ඒ සමහර ලිපි පළ වී තිබුණේ ද රවීන්ද්‍ර කොඩිතුවක්කු යන නමිනි.

ඒ ලිපි දකින සමන්මලී බොහෝ සතුටට පත් වී සිටියාය. පෙරදී කවියක් ගැටගහගන්න නොහැකිව සිටි රවීන්ද්‍රගේ ලේඛන කලාවේ මේ ශිඝ්‍ර වර්ධනය දුටු ඇය එම ලිපි සිය පියාටත් පෙන්වූවාය. බොහෝ අබල දුබලව සිටින පියා ඔහු සතු අනගි පොත් එකතුවෙන් තව තවත් පොත් රවීන්ද්‍ර පුතාට දෙන්නැයි සමන්මලී අත තැබුවේය.

සියල්ල කණ පිට ගසුවේ මූත්‍රා කරන විටදී ඉවසිය නොහැකි දැවිල්ලක් හට ගැනීමත්, හැන්දෑවට සහලෝල උණ ගැනීමත් නිසාය.

“ඔන්න දැන් පුළුවං ඔයාට දේවත්වය පතන්න“

ඔවුහු පෞද්ගලික රෝහලෙන් පිට වෙමින් සිටියහ. රෝගය නිට්ටාවටම සුවය. ඒ වන විට යළි ප්‍රදීපාගාර දෙස නොබලන්නට ඔහු තීරණය කර තිබුණේය. වින්ද වේදනා හොඳටම ඇතිය. නොමැරී මැරුණු ගානය.

වෛද්‍ය චන්දන මිහිරිසිංහ තමාට දේවතාවෙක් වූ කාරණය සමන්මලී දන්නේ නැත. ඇය වල්ගයේ එල්ලී හිසේ ප්‍රමාණය මැන බලන්නට උත්සාහ ගනියි.

පළමු දිනයේදී වෛද්‍යවරයා, රවීන්ද්‍රව ඇඳේ හොවා හොඳින් පරීක්ෂාකර බැලුවේය. බඩ එබුවේය. ලිංගය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ගැනද සැලකිලිමත් වුණේය. ඇඳෙන් නැගිටින්න පෙර තම කනට එබුණේය. තිර රෙද්දෙන් එහා සමන්මලීත්, හෙදියත් සිටියහ. ඔවුන්ට නෑසෙන එහෙත් තමන්ට තේරෙන හඬින් ඔහු ඇසූ ප්‍රශ්නය විශ්වකර්ම වැඩක් බව රවීන්ද්‍රට සිතිණි. ඒ සත්කාර්යයට පිළිමයක් සදා පුද පූජා කරනවාට අමතරව දේවත්වය ප්‍රාර්ථනා කළ යුතුමය.

“මෑතකදී නුහුරු සම්බන්ධකමක් එහෙම ඇති කර ගත්තද?“

ඊට නිසි පිළිතුරක් නොදුන් බව පමණක් රවීන්ද්‍රට මතකය.

 

 

ඔබේ කෙටිකතා පහත ලිපිනයට යොමුකළ හැකිය.

සිළුමිණ කෙටිකතාව,

ලේක්හවුස්, කොළඹ 10.

දුරකතනය 011 2429264

විද්යුත් තැපෑල:[email protected]

Comments