රාජ්‍ය සේවයේ සුපසන් චරිතයක් | සිළුමිණ

රාජ්‍ය සේවයේ සුපසන් චරිතයක්

 

1970 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට බැඳුණු ජාලිය මැදගමත්, 1967 දි බැඳුණු මමත්, එකම පාසලේ නොවුවද, පාසල් සමයේ අහම්බෙන් හමුවූ එකට බැඳුණු මිතුරෝ වෙමු.

ජාලිය මැදගම මහනුවර ධර්මරාජයේය. මම නුගවෙල මධ්‍ය විද්‍යාලයේ වීමි. 1961 වර්ෂයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ අපි එකම නවාතැනේ නොවුවත් එකම විෂය ධාරාවේ නොවූවත් කුමන හෝ බැඳීමක් නිසා එකිනෙකාට අතිශයින් කුලුපග වීමු. සරසවි ජීවිතයෙන් සමුගත් අප මුලින්ම ගුරුසේවයේ යෙදුණු අතර ඉන්පසු බැඳුණු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජාලිය මුලින්ම පත්වූයේ උඩුදුම්බර ප්‍රාදේශීය ආදායම් නිලධාරි (DRO) තනතුරටය. එතැන්පටන් අවුරුදු 32 ක් පමණ රාජ්‍ය සේවයේ යෙදුණු ජාලිය, ගොවිජනසේවා කොමසාරිස්, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආදි තනතුරු රැසක් විටින්විට දරා 1994 වර්ෂයේදී අති පුළුල් අමාත්‍යාංශයක්වූ වාරිමාරිග, මහවැලි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්විය. එවකට එම අමාත්‍යාංශයට ආයතන 18ක් අනුබද්ධ වූ අතර අති දක්ෂ නිලධාරියෙකු වශයෙන් ඹහු එම සියලුම ආයතන එකසේ පරිපාලනය කළේය. අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් විශ්‍රාම ලත් පසු ජාලිය ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධුරය හෙබවීය.

එවක සිටි ප්‍රබල දේශපාලනඥයන් හා කිට්ටු ඥාති සම්බන්ධතා පැවතුණද ඒ කිසිවක් නිසි ස්වාධීන පරිපාලන තීරණ ගැනීමට බාධාවක් කර නොගත් ජාලිය කිසිදු දේශපාලන බලපෑමකින් වෙනස් කළ හැකි චරිතයක් වූයේද නැත. කිසිදිනෙක දූෂණ හෝ වංචා පිළිබඳ චෝදනාවක් එල්ල නොවූ මෙම සුපසන් නිලධාරියා අගතිගාමිත්වයෙන් මුළුමනින්ම බැහැර වූවෙක් විය. අවංක හා නිහතමානී රාජ්‍ය සේවකයෙකුවූ ජාලිය මැදගම, කිසිදු දේශපාලන හෝ වෙනත් භේදයකින් තොරව රාජ්‍ය නිලධාරීන්ටද, මහජන නියෝජිතයන්ටද, මහජනතාවටද එකසේ හා සමසේ සිය සේවය සැලසූ දුර්ලභ ගණයේ නිලධාරියෙක් විය.

ජාලිය පේරාදෙනිය 61 කණ්ඩායමේ ක්‍රියාශීලී සාමාජිකයෙක් විය. මා එහි සභාපතිවරයාවූ අතර කණ්ඩායමේ වාර්ෂික සුහද හමුවීමි සංවිධානය කිරීමේදී දැක්වූ අනගි සහයෝගය කණ්ඩායමේ අප කාගේත් මතකයේ සදා රැඳී පවතී.

ජාලිය මැදගමගේ පියා ගම්සභා නඩුකාරවරයෙකු වූ අතර පියාගේ අභාවයෙන් පසුව ඔහු තම සහෝදර සහෝදරියනට පියෙකුගෙන් ඉටුවියයුතු යුතුකම් නොමදව ඉටු කළේය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ මුල් දිනයේම හමුවූ පත්මා සමඟ ඉතා සුන්දර විවාහ ජීවිතයක් ගතකළේය. ගමේකම හා හැදිච්චකම තම ජන්මභූමිය වූ පොහොලියද්දෙන් හා ඉන් අනතුරුව හැදී වැඩුණු දොඩන්වලින් රැගෙන ආ ජාලියගේ මුළු ජීවිතය පුරා මුල්බැසගෙන තිබුණේත් සුචඳ දෙමින් විහිද පැතිර තිබුණේත් ඒ අවංකගැමිකමයි.

ඔහුගේ පුත්‍රයා වන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාවාර්ය අර්ජුන මැදගම, කලක් රෝගීව සිටි තම පියා රැකගැනීමට දැරූ අපමණ වෙහෙස මම හොඳාකාරවම දනිමි. එහෙත් ජාලිය ගෙන ආ ආයුකාලය නිමාකොට ගතවූ පෙබරවාරි 11 දින අප හැම හැරදා ගියේය.

 

Comments