ඔබත් පොහො­ස­තකු ; බෝස­තකු වන්න | සිළුමිණ

ඔබත් පොහො­ස­තකු ; බෝස­තකු වන්න

මහාචාර්ය සාගර කරුණාතිලක

 

සයිකො සයිබනටික් ස්වයං යෝජනා දියුණුවේ රහස් ක්‍රම මඟින් අධ්‍යාපනය පිළිබඳව සාකච්ඡා කරන මෙම ලිපි පෙළ හරහා ඔබ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගන්නේ කෙසේද සහ ඔබ රැකියාවක් සොයනවාද? ඔබගේ රැකියාව දියුණු කරගන්නේ කෙසේද යන ප්‍රශ්න පිළිබඳව මහාචාර්ය සාගර කරුණාතිලක මහතා දැක්වූ අදහස් මෙහි අන්තර්ගත වේ.

ඉංග්‍රීසි කවි ඔලිවර් ගොඩ්ස්මිත්ට අනුව දුප්පත්කම විඳ දරා ගැනීම නිවට කමකි. නියම මිනිසත්කම ඊට විරුද්ධව සටන් කිරීමයි. එලෙස සටන් වැදි මිනිසුන් අතර ලෝකප්‍රකට විද්‍යාඥයන් පර්යේෂකයන් ධනවතුන් බවට පත්වූ අයගේ ජීවිත හද කම්පා කරවන ඒවාය.

* විද්‍යාත්මක පර්යේෂණ සුඛෝපභෝගී වාහන නිෂ්පාදනය අභ්‍යාවකාශ ව්‍යාපෘති සිදුකරන - ඊලොන් මස්ක්.

* ඇමසෝන් සමාගමේ නිර්මාතෘ - ජෙෆ් බේසෝස්

* මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ - බිල්ගේට්ස්

* හැරී පොටර් කතා මාලාව රචනා කළ - ජේ‍.කේ. රොලිං

* අලිබබා අන්තර්ජාල වෙබ් අඩවිය නිර්මාතෘ - ජැක් මා

* ඔබ අප කවුරුත් දන්නා ෆේස්බුක් නිර්මාතෘ - මාක් සකර්බර්ග්

* සාපේක්ෂතා වාදය ඉදිරිපත් කළ - ඇල්බට් අයින්ස්ටයින්

ඇල්බට් අයින්ස්ටයින් පිළිබඳව පමණක් අපි කෙටියෙන් සඳහන් කරන්නෙමු.

පාසලේ ගුරුවරුන්ගේ මතය වූයේ ඔහු මෝඩ ශිෂ්‍යයෙකු බවත් අදක්ෂයකු බවත් ය. විදුහල්පති පවා කම්හල් රැකියාවේ නිරතවූ ඔහුගේ පියාට පැවසුවේ ඇල්බට්ට කිසිම දෙයක් ඉගැන්වීමට නොහැකි බවයි. කිසි කමකට නැති ළමයෙක් යැයි පාසලෙන් කනෙන් ඇද එළවාගත් අයින්ස්ටයින් අවුරුදු නවය තෙක් කතා කිරීමට බැරිව සිටි අයින්ස්ටයින් විද්‍යා උපාධියක් ලබා ලිපිකරු රැකියාවක් කළ අයින්ස්ටයින් ලොව පතළ ගණිත විද්‍යාඥයකු බවට පත්වූයේ ඔහු සතුව තිබූ අප්‍රතිහත ධෛර්යය නිසාය‍.

ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ පාලනය අතට ගත් පසු නාසි ජාතිකයෝ යුදෙව්වන්ට දුටු දුටු තැන වධ හිංසා කළහ. යුදෙව්වකු වූ අයින්ස්ටයින් ජර්මන් පුරවැසිකම එපා යැයි කීවේය. රටක් පවා නැතිවූ මේ අයෝමය පුරුෂයාට විවිධ රටවලින් ආරාධනා ගලා එන්නට විය. අවසානයේ දී ඔහු ඇමෙරිකාව තෝරා ගත්තේය.

යථෝක්ත විද්‍යාඥයන්, පර්යේෂකයන්, කෝටිපතියන්, මිලියන පතියන්, මහා ධනකුවේරයන් බවට පත්වූ අයගේ ජීවිත කතා හාරා අවුස්සා බැලීමේදී පැහැදිලිවන්නේ ප්‍රශ්න ගැටුම්වලට මැදිවූ ජීවිත ඔවුන් මුල් කාලයේ ගත කර තිබූ බවයි. ඔවුන් සතු නොසැලෙන අධිෂ්ඨානය ඔවුන්ගේ ජීවිතයේ අභිමානය කැන්දූ බවයි. එම නිසා ඔබ තුළත් මහා හැකියාවක් පවතිනවා. ගසකට පෝෂණය ලබාදෙනවා මෙන් ඔබේ හොඳ චේතනාවට නිතර නිතර පෝෂණය ලබාදිය යුතුයි‍.

වර්තමානයේදී විරැකියාවෙන් සහ ආර්ථික ගැටලු නිසා ‍‍බොහෝ පිරිසක් පීඩා විඳින බව අපි දනිමු. පාසල් සහ උසස් අධ්‍යාපනය ලැබූ කෙනෙකුගේ ඊළඟ බලාපොරොත්තුව හොඳ රැකියාවක් සොයා ගැනීමයි. බොහෝ අවස්ථාවලදී රැකියා සඳහා අයඳුම් කළ ද අසාර්ථක වන අවස්ථාවන් ද මතුවේ.

එබැවින් අතීතයේ කියමනක් පැවතිය ද “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ලෙස” නූතනයේදී එය තරමක් වෙනසකට භාජනය විය යුතුය. එනම්, “මතු රැකෙනා ශිල්පයමයි උගත මනා විය යුතු නොවන්නේද? සමාජයට අවශ්‍ය කරන දේ ශිෂ්‍යයන් අධ්‍යයනය කළ යුතුයි. මතු රැකෙන ප්‍රයෝජනවත් දෙයක් ඉගෙන ගතහොත් ඔහුට රැකියාවක් සොයා ගැනීම අපහසුවක් නොවේ. නැතිනම් තමාගේ ම ස්වයං රැකියාවක් හෝ නිර්මාණය කරගත හැක.

ඇතැම් විට ඔබට සිතෙන්න පුළුවන් මුදල් හම්බ කරන්නත් මුදල් තිබිය යුතුයි කියා. ස්වයං රැකියාවක් ආරම්භයක් යම් ප්‍රාග්ධනයක්, පිරිවැයක් අවශ්‍ය යයි කියා. එය සත්‍යයක් වුවත්, කෙනෙකුට යම් අධිෂ්ඨානයක් පවතී නම්, තමා ජයග්‍රහණයක් ඇති කරගන්නවා, දියුණු වෙනවා කියා‍‍. එය තමාගේ මූලික අභිලාෂය තුළට අර අවශ්‍යය කරන දේ නිතැතින් ම හිමිවේ. ප්‍රථමයෙන් පැවතිය යුත්තේ මූල්‍යමය ශක්‍යයතාව, හැකියාවට වඩා තමන්ට ඉලක්කයකි.

“ජීවිතයේ අභිමතාර්ථ නොමැති පුද්ගලයා සදාකල්හි ඒවා ඇති අයට සේවය කිරීම ඉරණම් ලද්දෝ වෙති.”

“තමා යොමුවන්නේ කුමන වරායක් කෙරෙහි නොදන්නා කල්හි, කිසිදු සුළඟක් නැවේ ගමනට යෝග්‍යය සුළං නොවන්නේය.”

ජීවිතයේ අභිමතාර්ථයක් නැතිනම් සිදුවන්නේ සැමදාම අන් අයට සේවය කිරීම පමණි. එම නිසා කෙනෙකු රැකියාවෙන් දියුණු වෙන්නට නම්, අභිමතාර්ථයන් සකසා ගන්න අවශ්‍යයි.

තමන් යන දිශාව දන්නේ නැතිනම් ඉලක්කයක් නොමැති නම් ජීවිතයට නිසි ගමනක් නැත. එම නිසා ඉලක්කවලට තමා ඔබ යා යුත්තේ. කවර රැකියාවක් කිරීමට වුව ද අවශ්‍යය මූලික කුසලතාවන් වර්ධනය කරගත යුතු ය. එනම්,

* සන්නිවේදන කුසලතාව

* තොරතුරු තාක්ෂණ කුසලතාව

* ගැටලු විසඳීමේ කුසලතාව

* තීරණ ගැනීමේ කුසලතාව

* කණ්ඩායම් වැඩ කිරීමේ කුසලතාව

* ඉවසීමේ කුසලතාව

මෙකී කුසලතා වර්ධනය කරගැනීම මඟින් ද ඔබට සාර්ථකත්වය අත්විඳීමට හැකිවනු ඇත.

මේ විශ්වය දෙස, ලොව දෙස බැලූවිට බලන බලන හැම තැනම ධනය තිබේ. බලන්න කොයිතරම් අලංකාරවත් දේ පවතිනවද කියා. එක වර්ෂාවක් වහින කොට වැහි බිංදු කෝටි ගණනක් මහපොළොවට වැටෙන්න සලස්වනවා. අතීතයේ අපට ඉගැන්වූයේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට නොයවන ලෙසයි. සොබා දහම නිසි කාලයේදී ඒ අයගේ කාර්යයන් සිදුකරනවා. වෘක්ෂලතාවන්වල මල් ඵල හටගෙන ඔවුන්ගේ අපූර්වතම සාර්ථකත්වය පෙන්වනවා. දියුණු කරගත හැකි උසස් මනසක් හිමි මනුෂ්‍යයන් වන අපිත් අපගේ කාර්යයන් ඉටු කළ යුතුයි.

විසිකරන ලද දණ්ඩක් පවා පැළවීමට තරම් අපේ මාතෘ භූමිය හරි සරුසාරයි‍. විශේෂයෙන් ම ලංකාව වගේ ස්වාභාවික සම්පත් තිබෙන රටක ජන්මයෙන් ම ලද උරුමය සමඟ ජීවත්වන අපිට සාර්ථක දෙයක් කරන්න පුළුවන්.

ඒ සඳහා මම මේ වගේ සාර්ථකත්වයේ හිනිපෙත්තට යන්න අවශ්‍යයි කියා දැඩි අධිෂ්ඨානයක් ඔබට පැවතිය යුතුයි. අධිෂ්ඨානය තිබෙන කෙනෙකුට තමන්ගේ චේතනාවට අනුව කර්මය සකස්වෙලා කර්මයට අනුව විපාක දෙනවා වගේ ප්‍රතිඵල ලබාගත හැකියි.

විලියම් ෂේක්ස්පියර්ට අනුව,

“ඇතැම් අය උපතින් ම උසස් ය‍. ඇතැමුන් වුවමනාවෙන් උසස් බව ලබාගනී, මේ අතර තවත් අයට නිතැතින් ම උසස් බව ලැබේ.”

ජෝර්ජ් බර්නාඩ් ෂෝ වරෙක සඳහන් කළේ, “මිනිසුන් ටික දෙනෙක් වසරකට දෙතුන් වරකට වඩා සිතන අතර තමා ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූයේ සතියකට වරක් හෝ දෙවරක් සිතීමෙනි” කියාය.

Comments