රෝමය නොදත් පෙරදිග දත් ක්‍රීඩාවේ ජීවගුණය | සිළුමිණ

රෝමය නොදත් පෙරදිග දත් ක්‍රීඩාවේ ජීවගුණය

 

ගැමි ක්‍රීඩාවේ වෘත්තීය අරමුණු ගොඩනැගුණු හැටි

රෝමයේ ක්‍රීඩා උත්සවය ආරම්භ වී තිබුණි. ජව සම්පන්න කාය ශක්තියෙන් යුත් තරුණ ක්‍රීඩකයන් සිය ක්‍රීඩා කෞශල්‍යය මෙන්ම තරුණ ශක්තිය පෙන්වමින් සිටින අයුරු “මයිලෝ” එක බැල්මෙන් බලා සිටිනු දැකිය හැකි වුණා. ඒත් ඊළඟ මොහොතේ දී ඔහු මහ හඬින් හඬන්න පටන් ගත්තා. තරුණ වියේ දී ගස් ගල් පෙරළන්න තරම් ශක්තියකින් පිරිපුන්ව සිටි ඔහු වයස්ගත වීමත් සමග වැහැරුණ සිය ශරීරය ගැන දොඩමින් වැළපෙන්නට පටන් ගත්තා.

මයිලෝගේ මේ විහිළු හැසිරීම රාජ්‍ය තාන්ත්‍රික උපදේශකයෙකු මෙනම දක්ෂ කථිකයෙකු ලෙසින් ප්‍රකට මාර්කස් ටුල්ලියස් සිසරොගේ බරපතල විවේචනයට ලක් වුණා. එය අතිශය අමන හැසිරීමක් යැයි පවසන සිසරො වයස්ගත වීම යනු මිනිස් ජීවිතයේ ස්වාභාවික පරිණාමයක් යැයි පෙන්වා දෙනවා. ඒ අනුව යමින් ඔහු පවසන්නේ කාලය විසින් තමන්ට ලබා දෙන ඒ මුහුකුරා යෑම ප්‍රතිලභයක් ලෙසින් ගත යුතු බව යි.

ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේදී ක්‍රීඩකයින්ට ලැබුණ සමාජ පිළිගැනීම, ඒක බලවත් වරප්‍රසාදිත තත්වයක්. තරුණ ශක්තියත් සමග බැඳුන ක්‍රීඩා කෞශල්‍යය තමයි ඔවුන්ට ඒ අසීමිත පිළිගැනීම ලබා දුන්නෙ. නමුත් ඒ හැම දෙයක් ම තරුණ වයසත් සමග නැතිවෙලා යනවා. ඒ වෙනුවට වෙන කෙනෙක් එතැනට එනවා. මේ දේ තේරුම් ගන්න බැරිව මයිලෝ අර විදිහට අඬා වැටෙනු දැක්ක ම වියපත් බහුශ්‍රැත සිසරෝට කේන්ති යාම පුදුමයක් නොවෙයි.

නමුත් ජන ක්‍රීඩාවේ දී අපට මේ වගේ විජීගීෂාවක් දකින්න ලැබෙන්නෙ නැහැ. පසුගිය සතියේ දී පෙන්වා දුන් අන්දමට අපේ ගැමියා ක්‍රීඩාව සැලකුවේ ජීවන භාවිතාවක් හැටියට යි. ඒ ගැන තෘෂ්නාවක් ඔවුන්ට තිබුණෙ නෑ. “ආරෝග්‍යා පරමා ලාභා” කියන හැගීම තමයි එහිදී මුල් තැන ගත්තෙ. ජන ක්‍රීඩාව කියන්නේ විශේෂ වටිනාකමක් ආරෝපණය කොට සිදු කළ නිෂ්පාදනයක් නොවීම තමයි ඒකට හේතුව.

ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ දී ඔලිව් කොළ ඔටුන්නේ සාඩම්බරය, විජීගීෂාව කියන දේ ඔවුක් තුළ ඇති කළා. ඊට පසු යුගයේ දී ක්‍රීඩාව බටහිර වෙළඳ ආර්ථීකය සමග වෙළෙඳපල තරගකාරීත්වයත් සමග ගැටගැහුණ මිලක් සහිත නිෂ්පාදන භාන්ඩයක් බවට පත් වෙනවා. ඒ නිසාම අදාල ක්‍රීඩාව වෙනුවෙන් සුපිරි ක්‍රීඩකයන්ව නිෂ්පාදනය කෙරෙනවා.

ඔවුන් වෙනුවෙන් ඔට්ටු අල්ලන තත්වයක් පවා ඇති වෙනවා. තහනම් උත්තේජක,. තරග පාවා දීම් වැනි සදාචාර විරෝධි කටයුතු ගැන අප නිතර අසන්නේ ඒ නිසා යි.

ලබන සතියේ තවත් කියැවීමක්

Comments