මහේලයි සංගක්කාරයි අයි.පී.එල්. වෙන්දේසියේදී ලංකාව හැලුවේ ඇයි? | සිළුමිණ

මහේලයි සංගක්කාරයි අයි.පී.එල්. වෙන්දේසියේදී ලංකාව හැලුවේ ඇයි?

 

ස්කොට්ලන්ත වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය මහාචාර්ය අසංග විජේරත්නයන් අයි.පි.එල්. තරගාවලිය හා නූතන ක්‍රිකට් අර්බූදයේ ඇති වෘත්තීය භාවයේ අර්බූද ගැන සංවාදයට බඳුන්හේ කළේය. එකී වෘත්තීය භාවයේ දුර්වලතා හේතුවෙන් ක්‍රීඩාවේ සිදුවන අපගමනය කොතරම් විශාල ද යන්න ගැන මෙවර ඔහු 'ක්‍රීඩා' හා සංවාදයේදී වැඩි අවධානයට ලක්කරනු ලැබිණි.

අයි.පි.එල්. වෙන්දේසිය පැවැත්වුණා. එත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කිසිකෙනෙක් එතන නෑ. හැබැයි විදෙස් ක්‍රීඩකයෝ වැඩි දෙනෙක් තෝරාගෙන තිබෙන්නේ එංගලන්තයෙන්, ඔස්ට්‍රේලියාවෙන්, දකුණු අප්‍රිකාවෙන් හා නවසීලන්තයෙනුයි.

එහෙම වෙලා තිබෙන්නේ ඇයි දැයි සොයා බලද්දී අපිට වැටහෙනවා ක්‍රීඩාවේ හොඳම වෘත්තීය භාවයක් ඇත්තේ මේ කියන රටවල් තුළ බවයි. ඒ කියන වෘත්තීය භාවය අතර හොඳම වෘත්තීය ක්‍රීඩකයෝ තමයි මෙතැනදි තේරීලා තිබෙන්නේ. ඔවුන්ගේ දක්ෂතාව වගේම සමාජ සම්බන්ධතාවයත් හොඳ මට්ටමක තියෙනවා.

බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශ වගේම ඇෆ්ගනිස්ථානයෙනුත් ක්‍රීඩකයන් කීපදෙනෙක් මෙවර අයි.පි.එල්. වෙන්දේසියේදී තරගාවලියට තේරිලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවෝ, කණ්ඩායම් උපදේශකයෝ වශයෙන් කටයුතු කරන මහේල ජයවර්ධන, කුමාර් සංගත්කාර හිටියත් අපේ ක්‍රීඩකයෝ නෑ. මේ ඇයි?

වර්තමාන ක්‍රීඩකයෝ ඔවුන්ගේ යහළුවෝ නොවන නිසාද? නැත්නම් තමන්ට මූල්‍යමය වාසියක් නැති නිසාද? මේවා අපි තේරුම් ගන්න අවශ්‍යයි. ක්‍රිකට් වැටිලා, ක්‍රීඩකයෝ දුර්වලයි කිය කියා ඉන්නේ නැතිව අනාගතයක් තියෙන අපේ ක්‍රීඩකයෙක් දෙන්නෙක් හරි අයි.පී.එල්. තරගාවලියට ඇතුළත් කරගන්න ඔවුන්ට බලපෑම් කරන්න තිබුණා.

තමන්ගේ කණ්ඩායමට එක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ගත්තානම් ඔවුන්ට මේ තරගාවලියෙන් ලොකු අත්දැකීමක් ලබාගන්න හැකිවෙනවා.

ලෝකයේ හොඳම පුහුණුකරුවෝ, දියුණු තාක්ෂය, උපරිම පීඩන තත්ත්වයක් කළමනාකරණය කරන හැටි වගේ දේවල් ගැන ඔවුන්ට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම ඒකෙන් හොඳ වෘත්තීය ක්‍රීඩකයෙක් වෙන්න පාර කැපෙනවා.

නමුත් අපේ ක්‍රීඩකයෝ කිසිකෙනෙකුට අවස්ථාවක් ලැබුණේ නෑ. එහෙම ලබාදෙන්න අපේ හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉඳලත් උත්සහ කළේ නෑ. අනික අපේ ක්‍රීඩකයෝ වෙන්දේසියට එකතුවෙලා තිබුණෙත් ලොකු ලංසුවලට නොවෙයි. කිසිම කෙනෙක් ඉන්දියානු රුපියල් කෝටියක වත් ලංසුවක් ලබාගෙන හිටියේ නැහැ. එහෙම තියෙද්දී රුපියල් ලක්ෂ විස්සකට, විසිපහකට අපේ ක්‍රීඩකයන් දෙන්නෙක් ගන්න තිබුණ බවයි මගේ මතය.

මෙතැන තවත් පැත්තක් තිබෙනවා. ඒ තමයි අපේ ක්‍රීඩකයන් තුළ පවතින අවම හැකියාව මේ තත්ත්වය තවත් වැඩිදියුණු කරනවා කියන කාරණය. ඔවුන් පෞද්ගලිකව උපරිම දක්ෂතා දක්වනවා, යෝග්‍යතාව හොඳින් පවත්වාගෙන යනවා නම් මේ වගේ තරගාවලියකදී ඉදිරියට එන්න හැකියාව තිබුණා. එතකොට කිසිකෙනෙක්ගේ ඇඟිල්ලේ එල්ලිලා නැගිටින්න උවමනා නෑ. අපිට එහෙම බැරි ඒත් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව වගේ රටවල් උපමහාද්වීපයේ මේතරම් ඉහළ ලංසු ගන්නේ ඇයි? ඒ ගැන අපි සිතිය යුතුයි.

මේකට වෘත්තීය භාවය කියන කාරණය ලොකු බලපෑමක් කරනවා. අපේ ක්‍රීඩකයෝ කොච්චර කතාකළත් දැන් වෘත්තීය භාවය අතින් ඉන්නේ අන්තිම අඩියෙයි. ඔවුන්ට හරියට ඉංග්‍රීසි කතාකරන්න බෑ. වාක්‍ය පහක් එක දිගට කතාකරන්න බෑ. ඒ නිසා ඔවුන්ට අන්තර් ජාලයේ ට්විටර්, ඉන්සටර්ග්‍රෑම්, ෆේස් බුක් හරි වෙන මොනවා හරි සමාජ ජාලා මාධ්‍යයක තමන් ගැන කතාකරන්න හැකියාවක් නෑ. හොඳම කියන ක්‍රීඩකයන්ගෙ සමාජ ජාලා පිටුවකට ගියහම ඔවුන්ගේ රාත්‍රී සමාජ ශාලා ගමනක්, විවාහෝත්සවයක් එහෙම නැත්නම් වක්‍රාකාරයෙන් එකිනෙකාට මඩ ගසා ගැනීමක්, බිරින්දෑවරුන්ගේ ආරවුලක් තමයි දකික්න ලැබෙන්නේ.

ක්‍රීඩාව ගැන කිසියම් දෙයක් ගන්න තියෙනවද බැලුවොත් එහෙම දෙයක් නෑ. හරිම හිස් කියන මතය පැහැදිලි වෙනවා. එවැනි ක්‍රීඩකයෙක් වෘත්තීය භාවයට පත්කරන්න අපිට කිසිම සැලසුමකුත් නෑ. ඒක තමයි අනෙක් කනගාටව.

දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වෙනුවෙන් මොනවද කරලා තිබෙන්නේ? ක්‍රීඩකයන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරන්න වැඩක් කරනවාද? ඔවුන්ගේ සමාජ ජාල භාවිතය විධිමත් කරන්න කටයුතු කරනවද? නෑ. ඔවුන් ලැබෙන දෙයක් වියදම් කරලා කොන්ත්‍රාත්තුවක් කරගෙන, සංචාරයක් ගිහිල්ලා, හිතමිතුරෝ සංචාරවලට යවලා ඔහේ කාලය ගතකරනවා. ඒ ඇරෙන්න වෙන කිසිදෙයක් සිදුවෙන්නේ නෑ.

මේ විධිහට ගියොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් වෘත්තීය ක්‍රීඩකයෝ බිහිවෙන එකක්ම නෑ. අයි.පී.එල්. තරගාවලියෙදි අපිට සිදුවී ඇති දේ තේරුම් අරගෙන අද ඉඳලා ක්‍රියාත්මක වුණොත් තවත් වසර දෙකකින් වෘත්තීය භාවය සහිත ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් වත් හදාගන්න පුළුවන් වෙයි. ඒත් ප්‍රශ්නය තියෙන්නේ මේවා තේරුම් ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වලටත් අපේ රටේ ජාතික තලයේ ක්‍රීඩකයන්ටවත් උවමනාවක් තිබෙනවාද කියන කාරණයයි.

 

Comments