තැපෑලෙන් අවලංගු කළත් වටිනාකම අහිමි නොවනශ්‍රී ලංකාවේ ක්‍රීඩා මුද්දරේ කතාව | සිළුමිණ

තැපෑලෙන් අවලංගු කළත් වටිනාකම අහිමි නොවනශ්‍රී ලංකාවේ ක්‍රීඩා මුද්දරේ කතාව

 

'මුද්දරවලට ඇත්තේ අඩු ආයු කාලයකි. එහෙත් මුද්දරවල මතකය අමතක කළ නොහැකිය. ඒ අතර ක්‍රීඩා මුද්දර තවත් සුවිශේෂීය. මේ ඒ ගැනය.'

මුද්දර එකතුවක් තුළ ක්‍රීඩා මුද්දරවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මුද්දර භාවිතය ලොව ආරම්භ වූ ක්‍රිස්තු වර්ෂ 1840 වර්ෂයේ සිට ලෝකයේ විවිධ රටවල් ‘ක්‍රීඩා’ තේමාවෙන් නිකුත් කර ඇති මුද්දර ප්‍රමාණය ලක්ෂ ගණනක්. ක්‍රීඩාව තේමා කරගෙන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින්ද මුද්දර රාශියක් ම නිකුත් කර තිබෙනවා. ක්‍රිකට් ලෝක කුසලාන, ඔලිම්පික් ක්‍රීඩා, සාෆ් ක්‍රීඩා ඇතුළු තේමා රැසකින් එම මුද්දර නිකුත් වුණා.

අපේ රටේ නිකුත් කර ඇති ක්‍රීඩා මුද්දර අතර ක්‍රිකට් ක්‍රීඩාවට හිමිව ඇත්තේ පුමුඛස්ථානයක්. 1982 ශ්‍රී ලංකාව - එංගලන්තය සමඟ ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සිහිගැන්වීම සඳහා මුද්දරයක් නිකුත් කෙරුණා. ක්‍රිකට් පන්දුවක් මත පිතිකරුවෙකුගේ රුවක් තමයි මෙහි සිතුවම් වුණේ. දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ 160 වන සමරුව නිමිත්තෙන් 1992 වසරේදී ද එවැනිම ක්‍රීඩා මුද්දරයක් නිකුත් වුණා.

1996 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ත්‍රිකෝණාකාර හැඩයෙන් නිර්මාණය කෙරුණු මුද්දර හතර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් ලංකාව නිකුත් කළ ප්‍රථම මුද්දර කාණ්ඩය ලෙස දැක්විය හැකියි. අනතුරුව 1999 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය තුළින් 1996 අපේ රටේ ලෝක කුසලාන ජයග්‍රහණය සිහිගන්වා තිබුණා. විල්ස් කුසලානයේ රුවක් මෙන්ම ජයග්‍රාහී කණ්ඩායමට නායකත්වය දුන් අර්ජුන රණතුංගගේ රුවද එහි සිතුවම් වුණා. ඉන්පසු නැවතත් 2007 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් දියමන්ති හැඩැති මුද්දර 2ක් නිකුත් කෙරුණා. 2007 අප රට දිනූ ලෝක ක්‍රිකට් අනුශූරතාව සිහිගැන්වීම

සඳහා ද කණ්ඩායමේ ක්‍රීඩකයන්‍ගේ රූ සටහන් කළ මුද්දර ද්විත්වයක් එළිදැක්වුණේ ඒ අනුවයි.

2007 වසරේදීම ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභී මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් රවුම් හැඩයේ මුද්දරයක් නිකුත් වූ අතර එය මුරලිගේ රුවින් හැඩ වුණා.

ඔලිම්පික් ක්‍රීඩා වෙනුවෙන් ද ශ්‍රී ලංකාවේ සැලකිය යුතු මුද්දර ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා. 1987 දී ඔලිම්පික් කමිටුවේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් වූ අතර ලංකාවට පළමුවෙන්ම ඔලිම්පික් පදක්කමක් ගෙනා ඩන්කන් වයිට්ගේ රුවයි එහි දැක්වුණේ. ඔලිම්පික් තරගාවලි තේමාවෙන් මුද්දර නිකුත් කිරීම පළමුවෙන්ම සිදු වූ‍යේ 1988 වසරේදී යි. ඒ අනුව එහි මුද්දර 4ක් නිකුත් කෙරුණා. 1992 වසරේ බාසිලෝනා, 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලි සඳහා ද මුද්දර සතර බැගින් නිකුත් කෙරුණු අතර මේවායේ මලල ක්‍රීඩා, වොලිබෝල් ආදී විවිධ තරග ඉසව් සිතුවම් කර තිබුණා. 2000 සිඩ්නි ඔලිම්පික් වෙනුවෙන් නිකුත් කළ මුද්දර කාණ්ඩය අතිශයින්ම නිර්මාණශීලී සහ විචිත්‍රවත් එකකැයි කිවහැකියි. එහිදී මුද්දර සතරක් නිකුත් වූ අතර එහි සම්පූර්ණ සිතුවම මතු කර ගැනීමට මුද්දර සතරම පිළිවෙළින් තැබිය යුතු විය. 2000 වසරත් ඔලිම්පික් වළලු 5ත් අපූරු ආකාරයෙන් මුද්දර මත සිතුවම් වුණා.

2004 ඔලිම්පික් උලෙළ වෙනුවෙන් දියමන්ති හැඩයේ මුද්දර 4ක් නිකුත් වූ අතර එහි එක් මුද්දරයක 2000 වසරේ ඔලිම්පික් පදක්කමක් රටට දිනා දුන් සුසන්තිකා ජයසිංහ ගේ රුවයි සිත්තම් වුණේ. 2008 බීජිං ඔලිම්පික් උළෙල වෙනුවෙන් නිර්මාණය කෙරුණේ ත්‍රැපීසියමාකාර මුද්දර 4කුයි. 2012 ලන්ඩන් ඔලිමිපික් වෙනුවෙන් නිකුත් කළ මුද්දර සතරෙහි ක්‍රීඩා ඉසව්වලට අමතරව බිග්බෙන් ඔරලෝසු කණුව සිතුවම් කර තිබෙනවා. 2016 රියෝ ඔලිම්පික් උලෙළ වෙනුවෙන් නිකුත් කළ මුද්දරවල ක්‍රීඩා ඉසව් හි රූවලට අමතරව රියෝහි ක්‍රිස්තු පිළිමයේ රුවක් ද සිත්තම් කර තිබුණා.

මීට අමතරව 2002 වසරේ ලංකාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරග වෙනුවෙන් නිකුත් කළ මුද්දර සතර ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව වෙනුවෙන් 1999 නිකුත් කෙරුණු මුද්දරය, ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ 75 වැනි සංවත්සරය වෙනු‍වෙන් 1990 වසරේ නිකුත් කළ මුද්දරය, 1991 සාෆ් ක්‍රීඩා වෙනුවෙන් නිකුත් කළ මුද්දර හතර, 2006 සාෆ් ක්‍රීඩා වෙනුවෙන් නිකුත් කළ මුද්දර ද්විත්වය, ලංකාවේ රග්බි සහ පාපන්දු ක්‍රීඩාවේ 125වන සැමරුම වෙනුවෙන් 2003 දී නිකුත් කළ දියමන්ති හැඩැති මුද්දරය, හම්බන්තොට පැවති 14 වන දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිකුත් කළ මුද්දරය, 2010 දී සිංගප්පූරුවේ පැවති යොවුන් ඔලිම්පික් උලෙළ වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දරය, වොලිබෝල් ක්‍රීඩාවේ සියවස සැමරීම වෙනුවෙන් 2016 දී නිකුත් කළ රවුම් හැඩැති මුද්දරය ආදි ලෙස විවිධ තේමා ඔස්සේ අපේ රටේ නිකුත් වී අති ක්‍රීඩා මුද්දර ගණන අතිවිශාලයි.

එසේම රෝයල්-ශාන්ත තෝමස්, මහනුවර ධර්මරාජ -කිංග්ස්වුස්, ආනන්ද - නාලන්ද යන විද්‍යාලයන්හි වාර්ෂික ක්‍රිකට් තරග වෙනුවෙන්ද සමරු මුද්දර නිකුත් වී තිබෙනවා. එසේම ගිනස් වාර් තා රැසක් පිහිට වූල එම නිසාම සිය ජීවිතය කැප කළ දක්ෂ පිහිනුම් ශූර‍යෙක් වූ වී. ආනන්දන් කුමාර් වෙනුවෙන්ද 1999 වසරේදී මුද්දරයක් නිකුත් කෙරුණා. ඒ ආදි ලෙස විවිධ තේමා පදනම් කරගෙන අපේ රටේ නිකුත් කර ඇති ක්‍රීඩා මුද්දර ගණන සියයකට අධික බව කිවයුතුයි.

Comments