ක්‍රීඩා සමාජ සල්ලිවලට ගන්න ව්‍යාපාරිකයෝ ඉදිරියේ මට දෙන්න පුළුවන් හදවත විතරයි | සිළුමිණ

ක්‍රීඩා සමාජ සල්ලිවලට ගන්න ව්‍යාපාරිකයෝ ඉදිරියේ මට දෙන්න පුළුවන් හදවත විතරයි

 

ATHULA kodippili

ඉතා විශිෂ්ට සැලැස්මක් අප සතුයි

මගේ කණ්ඩායම විනය ගරුක, හොරකමට එරෙහි කණ්ඩායමක්

ඔය හැම පැත්තකම ඉන්නෙ ඩොලර් බූවල්ලෝ

නිර්මල පාපන්දු ක්‍රීඩාවක් බිහි කරගන්න නම් මෙතැන මෙහෙයුමක් කරන්න වෙන බවක් මට වැටහුණා.

යුද හමුදා පාපන්දු කණ්ඩායම රටේ අංක එකට ගෙනාවේ මගේ කළමනාකාරිත්වයෙන්

පරිපාලකයා සුර සැප විඳින පාපන්දු ක්‍රීඩකයා හා ක්‍රීඩා සමාජ දුක්විඳින යුගය අවසන් කරනවා

 

ඔහු මේජර් ජනරාල් අතුල කොඩිප්පිලි ය. දසක තුනක කුරිරු යුද්ධයෙන් රට මුදාගැනීමට ඇස්, ඉස්, මස්, ලේ කැපකළ සැබෑ සොල්දාදුවෙකි. ගිනි අවිය ගෙන රට ආරක්ෂා කළ ද ඔහු එහිදී පළමුව ආරක්ෂා කළේ රට වැසියා ය. ඔහු එතරම් මිනිසුන්ට ආදරය කළ රණවිරුවෙකි. හදිසියේ ඔහු පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට තරග වදින්නට සූදානම් වන බව ‘ක්‍රීඩා’ වෙත වාර්තා විය. එහෙයින් අප ඔහු හා සෘජු සංවාදයක නිරත වුණේ මේ නව උත්ආහය කවර අභිප්‍රායක් අරභයා ගන්නා ලද්දක්දැයි පැහැදිලි කරගැනීමට ය.

ඔබ පාපන්දු සම්මේලන සභාපති ධුරයට තරගවදින බවක් කියැවෙනවා. එහි සත්‍යාසත්‍ය භාවයෙන්ම අපේ සංවාදය පටන් ගනිමු?

ඔව්. මම ඒ වෙනුවෙන් තරග වදිනවා. ඒක ඇත්තක්.

මොකද ඔබ හදිස්සියේ පාපන්දු සම්මේලනය වැනි ආයතනයක සභාපති ධුරයට ඉල්ලන්න හිතුවේ?

ඒක බහුතර ක්‍රීඩා සමාජයන්ගේ ඉල්ලීම පිට එළැඹුණු තීරණයක්. හැබැයි හදිසියේ ගත්ත එකකුත් නොවෙයි. මම පසුගිය පරිපාලනය එක්ක ගනුදෙනු කරද්දී ලබාගත්ත අත්දැකීමුත් මේ වෙනුවෙන් මාව මෙහෙයවූවා. ඒ වගේම මම උපන්නේ පාපන්දු පුරවරයක් වන බදුල්ලේ බදුලුපිටියේ. අපි පාරේ පාපන්දු ක්‍රීඩා කළ කොල්ලෝ. ඒ නිසා ක්‍රීඩාව ගැන ලොකු කැක්කුමක් තිබෙනවා. ඒකත් එක හේතුවක්.

ඒ කියන්නේ පාපන්දු පරිපාලනය තුළ තිබෙන ඇතැම් අර්බූද ඔබව මේ මංසන්ධියට ගෙනැවිත් තියෙනවා කියන එක නේද?

ඔව්. නිර්මල පාපන්දු ක්‍රීඩාවක් බිහි කරගන්න නම් මෙතැන මෙහෙයුමක් කරන්න වෙන බවක් මට වැටහුණා. මගෙත් එක්ක ඉන්න කණ්ඩායමට ඒ බව තේරුම් ගියා. ඔවුන් තමයි මේ මෙහෙයුමේ නියමුවා වශයෙන් මාව පත්කර ගත්තේ.

හැබැයි ඔබත් පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව ඇතුළේ හිටිය කෙනෙක්?

ඔව්. මට දුන්නු වැඩ මම කළා. නමුත් ඔවුන් මටත් නොකියා මාව එතැනින් ඉවත් කළා. මම මට ඒ ගැන කිව්වෙවත් නෑ කිව්වහම ඔවුන් කිව්වේ අමතක වුණා කියන එක. ඒක තමයි ඔවුන්ගේ වගකීම් සහගත භාවය.

දැන් පාපන්දු නිලවරණයක් කියන්නේ එක්තරා ආකාරයකට දරුණු බල අරගලයක්. ඔබට මෙවැනි අරගලයක් දිනාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ද?

මම රණවිරුවෙක්. රට, රටවැසියා වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ පරිත්‍යාගයෙන් සටන් වැදුණු සොල්දාදුවෙක්. කුරිරු, ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් එක්ක සටන් කළ සාමාජිකයෙක් වශයෙන් මට මේ බල අරගලය ජයගන්න පිළිවන්. ඒ ගැන මට විශ්වාසයක් තිබෙනවා.

ඒත් නිලවරණයක් කියන්නේ සල්ලි බෙදලා ඡන්ද එකතු කරගන්න තැනක්. ඔබට ඒ ශක්තිය තිබෙනවා ද?

නෑ. මම සල්ලි බෙදලා අනුබද්ධ සංගම්වල නිලධාරීන් හෑල්ලු කරන්න උත්සාහ කරන්නෙ නෑ. අනෙක මම රණවිරුවෙක්. රණවිරුවා කියන්නේ කළු සල්ලි පොදි ගහන, ඩොලර් කොමිස් ගහන බහුතරයක් ව්‍යාපාරිකයන් වගේ නෙවෙයි. මට මා ලබන ඡන්දය වෙනුවෙන් ලබාදිය හැක්කේ සුපිරිසිදු පාපන්දු පාලනයක් ඇතිකිරීමයි. ඒ වගේම පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට ගෙන එන එකයි. ඇත්තටම කියනවා නම් මට දෙන්න තියෙන්නේ මගේ හදවතයි. හදවත කියන්නේ නිර්මල පාපන්දු ක්‍රීඩාවක් හදන්න යනවා කියන එකයි. එය අනුබද්ධ ක්‍රීඩා සමාජ පිළිගන්නවා.

ඔය කියන නිර්මල පාපන්දු ක්‍රීඩාව හදන්න ඔබට තිබෙන සැලැස්ම මොකක් ද?

ඉතා විශිෂ්ට සැලැස්මක් අප සතුයි. ඒ සැලැස්ම මම අනුබද්ධ ක්‍රීඩා සංගම් එක්ක සාකච්ඡා කරනවා. ඒ වගේම නිලවරණය ප්‍රකාශයට පත්වුණු දිනයට මම මාධ්‍යයටත් එය හෙළිකරන්නම්. බොරු සැලසුම්වලට වඩා මගේ සැලසුම් ප්‍රායෝගිකයි. ඒවා පොළොවේ පැලවෙන, රටට ගැළපෙන, අන්තර්ජාතික තලය ශ්‍රී ලංකා පාපන්දුව රැගෙන යන පාපන්දු සැලසුම්.

පාපන්දු කියන්නේ දුප්පතාගේ ක්‍රීඩාව වුණාට, එතැන වර්ගවාදී සලකුණු තිබෙනවා. මෙවර නිලවරණයේදී ඔය කියන පාර්ශ්ව සැලකිය යුතු මට්ටමකින් ප්‍රබලයි. ඒ ගැන ඔබ දැනුවත් ද?

මෙතැනට පාපැදියෙන් ඇවිත්, බී.එම්.ඩබ්ලිව්. එකෙන් යන්න සල්ලි හම්බ කළේ කවුද කියන එක මට වඩා මේ අනුබද්ධ සංගම් දන්නවා. එතැනදී අපි ශ්‍රී ලංකාව කියන එක ධජයක් යටතේ, එක ජාතියක් වශයෙනුයි ලෝකයට යන්නේ. එතැන ජාතිවාදී, වර්ගවාදී ප්‍රශ්න නෑ. උස්, මිටිකම් නෑ. ඇතැමුන් අසවල් ජාතියේ නිසා මට ඡන්දය ලැබෙයි, මගේ අසවලා අසවල් ජාතියේ නිසා මට ඡන්දය ලැබේවි වගේ සිහින වල ඉන්න බව දන්නවා. ඇතැම් පුද්ගලයෝ දැනටමත් සල්ලි විසිකරලා ඡන්දය ප්‍රකාශ කරන්න එන නියෝජිතයන් පවා වෙනස් කරන්න උත්සාහ කරන බවත් මම දන්නවා. ඒත් මේවා කිසිදෙයක් එහෙම විසඳෙන්නේ නෑ. ඔවුන් දන්නවා මෙවර නිලවරණය තුළ දිනවිය යුත්තේ කවුද ? බලය ලබාදිය යුත්තේ කාටද කියලා. ඒ වගේම ඔවුන් හැප්පෙන්නේ කුමන ප්‍රතිවාදියෙක් එක්කද කියන එක ඔවුන් දැනගත යුතුයි.

ඒ කියන්නේ ඔබ හිටපු යුද හමුදා නිලධාරියෙක් කියන එක ද නොකියා කියන්න යන්නෙ?

මෙහෙමයි. මාව දන්න හැමෝම හොඳටම දන්න දේ තමයි මේ අතුල කොඩිප්පිලි කියන්නේ ‘කාකි උණ’ නැති සොල්දාදුවෙක් කියන එක. මගේ හමුදාවත් ඒක දන්නවා. බදුල්ල මගේ ගම. එහෙ මිනිස්සුත් දන්නවා. මම ඉන්න කොළඹ අවට ඉන්න මිනිස්සුත් මම කොයිතරම් සරල මිනිහෙක් ද කියලා නොදන්නවා නොවෙයි. ඒ නිසා හමුදාවේ නිල බලය පෙන්වලා ක්‍රීඩා සමාජවලට තර්ජනය කරන්න මම ලෑස්ති නෑ. මම ඔවුන් අමතන්නේ ක්‍රීඩාවට මගේ ඇති ආදරය පැහැදිලි කරන්න විතරයි. පාපන්දු ගොඩගන්න මේ ලැබුණු අවස්ථාවට මම නායකත්වය දෙන්නේ හොඳ කණ්ඩායමක් එක්ක. ඒ කණ්ඩායම ඇතුළේ සියලු ජාතීන් ඉන්නවා. සියලු පළාත් නියෝජනය කරන අය ඉන්නවා. එහෙම නැතිව අර කිව්වා වගේ කාකි උණෙන් හරි සල්ලි එහෙමත් නැත්නම් ජාතිවාදයෙන් හරි මම නිලවරණය දිනන්න ලෑස්තිවෙන්නේ නෑ.

ඔබ පාපන්දු සභාපති වෙන්න තරම් ක්‍රීඩාවේ සුදුසුකම් ලබා තිබෙනවාද කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්?

ඔබ දන්නවා ද යුද හමුදා පාපන්දු කණ්ඩායම ගැන. ඒ පාපන්දු කණ්ඩායමට ලංකාවේ ක්‍රීඩා

සමාජ අතර තිබෙන තැන ඔබ දන්නවා ඇති. අන්න ඒ පාපන්දු කණ්ඩායමේ කළමනාකරු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළේ මම. එතැනට මම ආවේ උඩින් නෙවෙයි. යුද හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරග දිනන කණ්ඩායම් කළමනාකරුවා වශයෙන් දක්වපු දක්ෂතා අනුව තමයි මම යුද හමුදා පාපන්දු සමාජයට එන්නෙ. එතැනදී මම යුද හමුදා කණ්ඩායම ලංකාවේ අංක එක කරන්න සමත් වුණා. ඒ එක වසරකට නෙවෙයි කියන එක ඔබ දන්නවා. අනික රත්නපුරය, මඩකලපුව තුළ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් මම කරන හා කළ දේ මොකක්ද කියලා දන්න අය දන්නවා.

ඉතින් ඒ දේවල් පාපන්දු සභාපති වෙන්න ප්‍රමාණවත් කියලා ඔබ හිතනවා ද? මොකද පාපන්දු සභාපති වුණාම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ ගනුදෙනු කරන්න සමත් විය යුතුයි? ඔවුන් හා ව්‍යාපෘති සකසලා මුදල් ගෙන එන්න පුලුවන් වෙන්න ඕනෑ?

ඔබ හිතන්නේ මට, මගේ එක්ක ඉන්න කණ්ඩායමට ඒ දේවල් බෑ කියල ද? පුළුවන්. ඉතා හොඳින් පුළුවන්. අපේ කණ්ඩායමට කරන්න බැරි එක දෙයක් තිබෙනවා. ඒ තමයි පාපන්දු වලට ලැබෙන මුදල් කොමිස් ගහලා සාක්කුවල පුරවා ගන්න එක. මම රණවිරුවෙක් වශයෙන් උසස් අධ්‍යාපනයක් ලබාගත්ත කෙනෙක්. පරිපාලනය ගැන හොඳ දැනීමක් ඇති කෙනෙක්. මගේ කණ්ඩායමත් එහෙමමයි. අපි දන්නවා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය. දැන් අය ගනුදෙනු කරන්නේ කොහොම ද? ඔවුන් එයින් ලැබෙන ආධාර වැය කරන්නේ මොනවගේ ප්‍රමුඛතාවයකින්ද කියන එක අපි දන්නවා. අපේ පාලනයක් යටතේ ඒ දේවල් වෙන්නේ නෑ.

දැන් පාලනය මොනවටද මුදල් වැය කරන්නෙ?

දැන් පාලනය නෙවෙයි පසුගිය කාලයේම පාපන්දු සම්මේලන කාර්යාලය දුවන්න ජාත්‍යන්තරව ලැබෙන මුදලින් සියයට හැටකට වැඩි මුදලක් වැය කරනවා. ක්‍රීඩකයන්ට වෙන් කරන්නේ සියයට හතළිහකටත් අඩු මුදලක්. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනැ. සභාපතිවරයා ඇතුළු නිලධාරීන් බහුතරයක් සිටිය යුත්තේ සැලසුම් හදන්න මිසක් රස්සාවක් වශයෙන් මෙතැනට වෙලා ඉන්න නොවෙයි. පාපන්දු දියුණු කරනවා කියන්නේ පුටු රත්කරන එක නොවන බව කියාදෙන්න ඕනෑ. උදාහරණයකට පසුගිය කාලයේ විදෙස් සංචාරවලට ගිය කණ්ඩායමට ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගත්ත මිල ගණනන් සාමාන්‍ය වෙළෙඳ පොළ මිල ගණන් එක්ක සංසන්ඳනය කරන්නකො. එතකොට මේ දේවල් ගැන දළ චිත්‍රයක් ඇඳේවි. ඉස්සරම කාලේ හිටපු ලොක්කෝ සියයට හැටක් ක්‍රීඩාවට යොදවලා සියයට හතළිහක් තම හිතුමිතුරන් සන්තර්පනයට යොදාගත්තා. අද ඒවට ඔවුන් වන්දි ගෙවනවා. දැන් අය ‘හූණු බිජුවක්’ ක්‍රීඩකයාට දීලා ලොක්කෝ සියයට අනූවක් සාක්කුවේ දාගන්නවා. මේ තත්ත්වය වෙනස් කරන්නයි මම පරිපාලනය බාරගන්න යන්නෙ.

ඔබට දිනන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබෙනවා ද?

ඇයි නැත්තෙ. ඇතැම් අය විවිධ දිස්ත්‍රික් නියෝජිතයන්ට මුදල් දීලා බලපෑම් කළාට පාපන්දුවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන අවංක මිනිස්සු ඉන්නේ අපේ පැත්තෙ. ඔවුන් මගේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා. ඒක ස්ථිරයි.

අපි දන්නවා ඔබේ පාර්ශ්වයේ ඇතැම් නිලධාරීන් වශයෙන් එන්න ඉන්න උදවිය තවමත් කරළියට එන්නේ නෑ. ඒ හැංගිමුත්තම් කරන්නේ ජයග්‍රහණය ගැන තියෙන සැකය නිසා වෙන්න බැරි ද?

ඔවුන් හැංගිමුත්තන් කරන්නේ නෑ. මගෙත් එක්ක ඔවුන් දෙපයින් සිටගෙන ඉන්නෙ. නමුත් අපේ කණ්ඩායම දන්නෙ නැති නිසා ප්‍රතිවාදීන් ඉන්නේ ව්‍යාකූලතාවයෙන්. අපි ඒ ව්‍යාකූල බවට කැමතියි. යුද්ධයක් කරන්න පෙර භූමිය හඳුනා ගන්න ඕනෑ. අපි මේ යුද්ධ කරන්න යන්නේ උඩුගං බලායාමක් විධිහට. ඒ කටයුත්තේදී අපේ ප්‍රබල සෙනෙවියන් අවසන් මොහොත වනතුරු අපි එළි දක්වන්නේ නෑ. හැබැයි මම එකක් කියන්නම්. ඒ ඉන්නේ උගත්, බුද්ධිමත්, විනය ගරුක වගේම හොරකමට එරෙහි කණ්ඩායමක්.

ඒ කියන්නේ ඔබ සතුව සල්ලි නෑ කිව්වට තුරුම්පු තියෙනවා?

බලාගෙන ඉන්න. ඔය දඟලන උදවියගේ වංචා, දූෂණවලට වැඩි කාලයක් ඉඩදෙන්න හොඳ නෑ. අපේ ළඟ ඔය අශුද්ධ සන්ධානවලට එරෙහි සාක්ෂි තිබෙනවා. අවශ්‍ය වෙද්දී ඒ තුරුම්පු අපි එළියට දානවා. එතකොට ඔය කිසිකෙනෙක් දූෂිත පාර්ශ්ව සරණ යන්නේ නෑ.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments