කවුරුහරි තල්ලු කළා නම් මම චෙස් ක්‍රීඩකයෙක් වෙයි | සිළුමිණ

කවුරුහරි තල්ලු කළා නම් මම චෙස් ක්‍රීඩකයෙක් වෙයි

 

මට තියෙන්නේ මම නඩත්තු නොකරන එළියෙන් හැදුණු එකක්

ගමේ ඉඳිද්දී චෙස් නෑ තිබුණේ දාම් විතරයි

 

කලාකරුවා ක්‍රීඩාවට ඇති සම්බන්ධය සොයා යන ගමනේ මෙවර අපි නැවතුණේ, සමාජයට අනුව, ගුරුවරයෙකු (දැන් එසේ නැත), ගීත රචකයෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු, කුණු හරුප චිත්‍රපටවලට සල්ලා දාන නිෂ්පාදකයෙකු, ඩොලර් කාක්කෙකු ලෙසින් (බාහිර සමාජයට අනුව) එහෙත් තමන් උපුල් ශාන්ත සන්නස්ගල යැයි පමණක් කියන මැදිවිය ඉස්මත්තට පැමිණෙමින් සිටින මිනිසකු මුණගැසීමටයි. අපේ කියැවීම අනුවත් ඔහු ගීත ලියන, චිත්‍රපට නිෂ්පාදනය කරන, පත පොත ලියන හා ප්‍රකාශයට පත්කරන, කලාව සම්බන්ධයෙන් ගැඹුරු යැයි අපට හිතෙන කියැවීමක් ඇතැයි පෙන්වන උපුල් ශාන්ත සන්නස්ගල නමැති එම සහෘදයා ක්‍රීඩාව ගැන දක්වන්නේ කවරාකාරයේ ආකල්පයක් ද? එය සොයාගනු රිසින් අපි ඔහු මුණගැසුණේ මහරගම විජේරාම මන්සන්ධියේ පිහිටි ඔහුගේ සංහිඳේ දී ය.

බැල්මෙන් කැල්මෙන් අපට ඔහු පෙණුනේ ජර්මානු එසේත් නැතහොත් ප්‍රංශ හෝ ඒ හා සමකාලීන දාර්ශනිකයකු ලෙස ය. කෙළින්ම පවසන්නේ නම් එක්වරම අපට හැඟුණේ කාල් මාර්ක්ස්ගේ නූතන පරිණාම අවධියකට අප පැමිණියාක් මෙනි. එහෙත් ප්‍රාග් ධන සමාජ ක්‍රමයට එදිරිව ආර්ථික දර්ශනයක් මෙහෙයවූ මාර්ක්ස්ගේ ජීවිතයට සම්පූර්ණයෙන්ම කණපිට ගැසූ ජීවිතයක් අප ඉදිරියේ සිටින මිනිසා සතුය. ඔහු මාර්ක්ස් මෙන් නුවණ වෙහෙසවා අවබෝධකරගත යුතු ගැඹුරු පත පොත ලිව්වේ ද නැත. ලියූ පත පොත අතර තිබුණේ හෘදයාංගම යැයි කිවහැකි හදවත ස්පර්ශ කර නුවණැසට යම් හැඟුම් මාත්‍රාවක් එක්කිරීම සඳහා භාවිතයට ගත හැකි සාහිත්‍යමය කෘතීන් පමණි. එහෙත් ඔහු තුළ ජීවත් වූයේ ප්‍රාග් ධන සටන හා ඔට්ටුවුණු මිනිසෙකි. ඔහු සුවහසක් ශිෂ්‍ය ප්‍රජාවකගේ ගුරුවරයකු වශයෙන් කටයුතු කළ දැන් විවේක සුවයෙන් දිවි ගෙවන උපුල් ශාන්ත සන්නස්ගලය.

‘මා ගැන මගේ කියැවීම තුළ මම කවුරුවත් නෙවෙයි. මම උපුල් ශාන්ත සන්නස්ගල. හැබැයි ඔබේ ක්‍රීඩාව හා කලාකරුවා විශේෂාංගයට පළමුවෙන්ම මට කියන්න තියෙන්නේ මම ක්‍රීඩාව කෙසේ වෙතත් සතියකට සැරයක් තියෙන පාසලේ රැස්වීමේදී හිටගෙන හිටියේ නෑ. මොකද මම කලන්තෙ දාලා වැටෙන නිසා පංතියට වෙලා පොතක් කියවන්න පුරුදුවෙලා හිටියා. මම උදයේ රැස්වීමකවත් වැඩිය හිටගෙන ඉඳලා නෑ. උගන්නන කාලෙදිත් කළේ පුලුවන් තරම් බංකුවට බරවෙලා ඉඳගෙන විෂය උගන්වපු එකයි. ඒක මගේ ශාරීරික ශක්තිය සම්බන්ධයෙන් කාරණාවක් වෙන්න ඇති. ඒ නිසා පාසල් යන කාලේ ක්‍රීඩාවක් කියලා දෙයක් කළේ ම නෑ. උදාහරණයකට පස්සෙ කාලෙක බස් එකක් නැත්නම් කෝච්චියක් පස්සෙන් දුවලා ගිහින් එල්ලිලා නෑ.’ ඔහු යටැසින් බලමින් කියන්නේය.

සන්නස්ගලගේ රවුම් කාච සහිත උපැස් යුවල තුළින් ඔහුගේ මුහුණට ගෙන එන්නේ අපූරු පෙනුමකි. තඹ පැහැ ගැන්නූවාක් වැනි

තැනින්තැන කළු පැහැ කෙස් ඉඳ හිට දිස්වන ඔහුගේ රුවුල හා කොණ්ඩය ඔහු තුළට යම් අපිස් බවක් එක්කරමින් ඇත. එහෙත් බොරපාට දෙනෙත් කියන්නේ අපිස් බවක් නම් නොවේ.

‘මම ජීවිතයට මෝටර් සිකලයක් පැදලා නෑ. මට එහෙම පදින්නත් බෑ, හැබැයි රෝද හතරේ වාහනයකින් මාව තිබ්බාම මට එළවාගෙන යන්න පිළිවන්. ඒක ක්‍රීඩාවක් විධිහට ගන්නවා නම් මගේ ලොකුම ක්‍රීඩා කෞෂල්‍යය තමයි මෝටර් රථ පදින එක. ඇත්තටම කියනවා නම් මීටර් 100 දුවපු. උසපැනපු, මැරතන් දුවපු, ක්‍රිකට් ගහපු, එල්ලේ ගහපු ක්‍රීඩා ඉතිහාසයක් මට නෑ. වෙන දෙයක් තියා විහිළුවටවත් දාම් ඇදලවත් නෑ. චෙස් කවදාවත් ඇදලා නෑ.’ ඔහු කියන්නේ ගැඹුරු බැල්මෙනි.

එසේ නම් ඔහු ක්‍රීඩා කර නොමැති ද? යන ගැටලුවට ඔහුම වක්කඩ කැඩුවක් වැනි පිළිතුරක් ලබාදුන්නේ අපගේ සිතිවිලි තුළ පැණ නැගී ක්ෂණයෙන් ස්නායු තන්තු දිගේ ඇදී ආ ප්‍රශ්නය දිවග ස්නායුව ස්පර්ශ කර ඒ අනුව දිවනවා, කොපුල් පුරවා වාග් කෝෂයේ ඇති වදන් පෙළ යොදාගනිමින් එය ප්‍රශ්නයක් ලෙස ඇසීමට පෙරය.

‘මම බූරුවා ගහලා තිබෙනවා. දෙන්නෙක් දෙපැත්තෙන් ඉඳලා ගහන ක්‍රීඩාවක් හැටියට මම ඒ දේ කළා.’ ඔහු කියයි. බූරුවා කුට්ටමෙන් කරන ක්‍රීඩා මුදලට පමණක් නොව බ්‍රිජ් ක්‍රීඩාව වශයෙන් ද පවත්වන්නට ලෝක සමාජය තුළ ක්‍රියාකර ඇත්තේ සන්නස්ගලලා වැනි මෙලෝ ක්‍රීඩාත්මක අභ්‍යාසයක නියැලිය නොහැකි හෝ නියැලීමට අවස්ථාව නොලද මිනිසා ක්‍රීඩා සමාජය තුළින් කොන් නොකිරීම පිණිස විය යුතුය.

‘මට ක්‍රීඩාවක් කරනවා නම් වැඩියෙන්ම කළ හැක්කේ බූරුවා ගහන එක තමයි.’

‘ඒත් ඔබේ සිරුරේ ක්‍රීඩකයෙක් ඉන්නවා වගේ දැනෙනවා. ශරීරය පාපන්දු ක්‍රීඩකයෙක් වගේ කියලයි අපට හිතෙන්නෙ.’ යැයි විමසීමු.

‘ ලංකාවේ ඇඟ බලලා තමයි ක්‍රීඩකයෝ සොයන්නේ.ඒකනෙ මෙහෙ වෙන්නේ. මම දන්න ඇඟ තියෙන අය ඉන්නවා. ඒත් එහෙම නෑ. මගේ ආහාර රටාව නිසා මාව එහෙම පේනවා ඇති. ඒත් එහෙම නෑ.’

එතකොට ඔබ නිකංවත් ඇවිදලාවත් නැද්දැයි අපට විමසන්නට අවසර නොදුන් ඔහු, ‘දොස්තර කියලා මම සති කීපයක් ඇවිද්දා. ඒ අර මට කරපු බයිපාස් එකෙන් පස්සෙ. ඒ දොස්තර කියපු නිසා. හැබැයි දැන් ඒකත් නතර වෙලා.’

ගමේ ඒ කියන්නේ හපුතලේ ඉන්න කාලෙන් පස්සේ කොළඹ ආපු ගමන තුළ ක්‍රීඩා අභ්‍යාස නැද්ද? කියන ගැටලුවට ඔහු දුන්නේ අපූරු පිළිතුරක්.

‘හපුතලෙන් කොළඹ එන එක අපේ කාලයට අනුව ලොකු වැඩක්. එහෙම කියලා මමත් හිතුව කාලයක් තිබුණා. කොරෝනා නිසා අපි ළඟ එකා ඈත් කළාට දැන් ඩිජිටල් ෆ්ලැට්ෆෝර්ම් එකෙන් බලද්දී ලොකේ හරි ළඟයි. මේ ප්ලැනට් එක පුංචියි. ඉස්සර ඔලිම්පික් තරගයක් තිබ්බාම ඒකේ රිසල්ට් එක අපිට එන්නේ මාසයක් විතර ගියාම. දැන් එහෙම ද? එසැණින් තොරතුරු එනවා. ඉතිං එහෙම නං හපුතලේ ඉඳලා කොළඹ ආපු එක මහා ලොකු එකක් නෙවෙයි. ඔන්න පෘථියේ ඉඳලා අඟහරුවලට යන්න තියෙනවා නම් ඒක දැන් මට ටිකක් දුරයි. මොකද යන්න ලැබෙන්නේ නෑනෙ.’

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ උගත්ත ද ක්‍රීඩාව ගැන ඔහු ලැබූ අත්දැකීම් ගැන අවසන් වශයෙන් අපි කතා කළෙමු. ‘තර්ස්ටන් එකේ ඉගෙන

ගනිද්දී මගේ සමකාලීනයෝ ගොඩාක් ක්‍රීඩකයෝ. ඒත් මම ක්‍රීඩකයෙක් නෙවෙයි. තරග වාර දෙකකදී විතර මම බිග් මැච් බලන්න නම් ගිහිල්ලා තියෙනවා. නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ දුවන එවුන්ට ග්ලූකෝස් බෙදන්න, ගමේ නිවාසාන්තර තරගවල නිවාසය හදන්න ආර්ට් අයිඩියා එක දෙන්න මම කටයුතු කරලා තියෙනවා. කට සද්ද නිසා හුරේ දාලා තියෙනවා. ඔච්චර තමයි මගේ ක්‍රීඩා සහභාගිත්වය. 1996 ලෝක කුසලානයයි, තවත් ආසියානු කුසලානයක අන්තිම තරගයයි ලෝක කුසලාන පාපන්දු තරගයක මැරඩෝනා ක්‍රීඩාකරපු අවසන් තරගයකුයි මම බලලා තියෙනවා.’ ඔහු කීය.

උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළතින් මෙන්ම සමාජය තුළින් කියවද්දී ක්‍රීඩාව ගැන සාක්ෂරතාව බිංදුවයැයි කිවහැක්කෙකි. සංහිඳේ ඔහු තනිකර කැමරාවත් බෑගයේ රුවා මා කාර්යාලය තෙක් පළා ආවේ මා එන අයුරු බලා සිටි ඔහු මේ ක්‍රීඩකයකුයැයි සිතනු ඇතැයි බියෙනි. ඒ ඔහු සමාජය තුළ කලාතුරකින් හමුවන ‘ක්‍රීඩා කළු කුහරයක්’ බඳු හෙයිනි. ‘මම බැරි දේවල්වලට ආසා කරලා නෑ. මට පීනන්නත් බෑ. ක්‍රීඩාව එක්ක මට ජයග්‍රහණය බෑනෙ. මම සටන් කරන්නෙ දිනන්න පුලුවන් දේ විතරයි.’ අපි

එසේ පළා එද්දී ඔහු කීවේය.

‘හැබැයි කලාවත් එක්තරා ක්‍රීඩාවක්. ඒක මම පිළිගන්නවා. හැබැයි පොඩිකාලේ මට කවුරුහරි ගයිඩ්ලයින් එකක් දුන්නානම් චෙස් කරාවි. ඒත් ගමේ තිබුණේ දාම් බෝඩ්.’ ඔහු පඩිපෙළ බසිද්දී අපට කීවේය.

‘ව්‍යාකරණ රටාව උගන්වන එකත් මට අනුව නම් ක්‍රීඩාවක්.’ සන්නස්ගලයන්ගේ තියුණු කටහඬ ය. ඒ හඬ තුළ ඇත්තේ ක්‍රීඩාවේ ප්‍රේක්ෂකත්වය ඉක්මවන තියුණු බවකි.

 

Comments