අනුර - ජස්වර් එන්න සෙංකඩගල පාපන්දු ගැනත් බලන්න | සිළුමිණ

අනුර - ජස්වර් එන්න සෙංකඩගල පාපන්දු ගැනත් බලන්න

 

අන්තර්ජාතිකව ක්‍රියාත්මක කෙරෙන වෘත්තිමය පාපන්දු තරගාවලියක් ගොඩනැංවීමේ අභිප්‍රාය ඇතිව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පළමු වරට හඳුන්වා දී ඇති අර්ධ වෘත්තීයමය මට්ටමේ අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලිය තව නොබෝ දිනකින් ආරම්භ වෙයි. එය දේශීය පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට හා ක්‍රීඩකයින්ට සතුට උපදවන උත්සාහයකි.

"ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු ශූරතා කුසලාන" ප්‍රදානය සඳහා ක්‍රියාත්මක කෙරෙන මෙම කුළුඳුල් තරගාවලිය සඳහා තෝරාගෙන ඇති කණ්ඩායම් සංඛ්‍යාව 10 කි. මෙය ලීග් ක්‍රමයට පැවැත්වේ. එම ක්‍රමයට තරග පැවැත්වීමෙන් නියම සුදුස්සා තෝරා ගැනීමට ද හැකියාව ලැබෙයි. මෙමගින් දේශීය ක්‍රීඩකයාගේ දක්ෂතා සංවර්ධනයත් පාපන්දු ක්‍රීඩාවේ පෝෂණයත් ඇතිවන බව විශ්වාස කළ හැකිය. අන්තර්ජාතිකව එක තැන පල්වෙන ශ්‍රී ලාංකේය පාපන්දු ක්‍රීඩාව මෙමගින් ඉදිරි පියවරක් තබනු ඇතැයි සුබවාදී අපේක්ෂා දල්වාගත හැකිය.

පසුගිය දක්ෂතා පදනම් කරගනිමින් මෙම කණ්ඩායම් නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කර තිබිණි. එම තෝරා ගැනීම පිළිබඳව විවාදයක් නොමැති වුවත් දේශීය පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයට විශිෂ්ට ගණයේ ක්‍රීඩකයින් බිහි කරමින් හා ජාතික මට්ටමේ ශූරතා දිනා ගනිමින් කැපී පෙණුනු මහනුවර නගරයේ නැතහොත් සෙංකඩගල පුරවරයේ එකදු ක්‍රීඩා සමාජයක් හෝ ඒ අතරේ දක්නට නැත.

එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර නගරයේ පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩකයින්හට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙවර තරගාවලිය තුළ ඉඩක් වෙන්ව නැත.

ඒ අනුව හැකියාවන් ඇති ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පමණක් වෙනත් ක්‍රීඩා සමාජ සමඟ ගිවිසුම්ගතව ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටී. අනෙකුත් ක්‍රීඩකයින්ට සිදුවී ඇත්තේ තම ජර්සිය සහ බූට් සපත්තු යුගල කිහිල්ලේ රුවාගෙන හීල්ලීමටය.

එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර පාපන්දු කෙළි බිමට ආදරේ කරන සියක් දහසක් ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඬ මෙවර නැගෙන පාටක් පෙනෙන්නට නොමැත. ඒ තමන් ආදරය කරන මධ්‍යම ලංකා, රෙඩ් ඩයමන්ඩ්. කැන්ඩි යෝර්ක්, හයිලයින්, ගෝල්ඩන් ස්ටාර්ස් වැනි ජාතික මට්ටමේ ශූරතා කුසලාන දිනා ගනිමින් කන්ද උඩරටට කීර්තිය රැගෙන ආ කිසිදු ක්‍රීඩා සමාජයක් බල ගන්වන්නට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා මහනුවර දිස්ත්‍රික් පාපන්දු සංගමය උත්සාහ කර නොමැති පරිසරයකය.

එවැනි පරිසරයක් සකස් කරන්නට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සතුවද කිසිදු වැඩපිළිවෙළක් තිබුණ බවක් ද පෙනෙන්නට නොමැත. ඒ පුරා සිව් වසරක් තිස්සේ මහනුවර දිස්ත්‍රික් පාපන්දු

සංගමයට පනවා ඇති තහනම හා වාරණය සම්බන්ධයෙන් පියවරක් ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. මෙම අවුල වහා විසඳීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මැදිහත් විය යුතුව ඇත්තේ මෙවන් පසුබිමක ය.

මහනුවර දිස්ත්‍රික් පාපන්දු ලීගය නියෝජනය කළ නිලධාරීන් අතින් යම් වරදක් සිදුවී ඇත්නම් ඔවුන්ට ව්‍යවස්ථාව අනුව විනයානුකූල පියවර ගැනීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලධාරීන්ගේ වගකීම සහ වගවීම බව නොරහසකි. මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ක්ෂණිකව ලබා දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අපොහොසත් වීම තුළ බැට කන්නේ අහිංසක ක්‍රීඩකයින් ය.

ක්‍රීඩකයින්ට තරග කිරීමේ අවස්ථාව උදා කිරීම මෙන්ම චූදිත නිලධාරීන්ගේ වැරදි නිවැරදි කිරීමේ ක්‍රියා පිළිවෙතක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙතින් දක්නට නොමැති වීම ජුගුප්සාජනකය. මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් දෙනවා වෙනුවට සිවු වසරක් තිස්සේ කල් මැරීමේ න්‍යාය අනුගමනය කිරීමෙන් පාපන්දු කෙළි බිමට පෙම්බැඳි මහනුවර ක්‍රීඩකයින් වෙනත් ක්‍රීඩාවන් තෝරා ගැනීම සඳහා පෙළඹී ඇති බවක් ද වාර්තා වේ.

මෙවැනි පරිසරයක් තුළ මහනුවර නගරයේ ප්‍රධානතම ක්‍රීඩාංගනය ලෙස සැලකෙන ඓතිහාසික බෝගම්බර පිටිය අදටත් පවතින්නේ නවීකරණ මට්ටමේය . ඒ අයුරින්ම 1990 මුල් භාගයේ දී බෝගම්බර ක්‍රීඩාංගණය නවීකරණය විය. එම නවීකරණ ක්‍රියාවලිය තුළ පාපන්දු තරගයක් පැවැත්වීමට හෝ ක්‍රමවත් පුහුණු වීමක නිරතවීමට අවස්ථාව නොලැබීමෙන්ද මහනුවර පාපන්දුවට මරු පහරක් එල්ල වූ බවක් එකලද දිස් විය. එහි අතුරු ඵලයක් ලෙස දක්ෂ පාපන්දු ක්‍රීඩකයින් මෙන්ම දහස් ගණනක් වූ "පාපන්දු" ලෝලීන් "රග්බි" ක්‍රීඩාවට පෙම් බඳිමින් "නිත්තවෙල" ට සේන්දු වූ ආකාරයක් දක්නට ලැබුණි.

එය දේශීය පාපන්දු ක්‍රීඩාවට අනියමින් එල්ල වූ මරු පහරකි. සිව් වසක් පුරා ක්‍රියාත්මක වන වාරණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රිකයේ පාපන්දු ක්‍රීඩකයින් පත්වී ඇත්තේ ද එවැනිම අභාග්‍යසම්පන්න ඉරණමකට බව කිව යුතුමය.

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් තරග මාලාව සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ක්‍රියාත්මක නොවීම මගින් ද මෙම ක්‍රීඩකයින්ගේ දක්ෂතා මොට වී ඇති බව පෙනී යයි.

1990 දශකයේ තුළ දිවයිනේ හොඳම ලීගයක් බවට පත්ව තිබුණු මහනුවර දිස්ත්‍රික් පාපන්දු සංගමය පත්ව ඇති තත්ත්වය ද සෝචනීය ය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දක්වා ද පියවර තැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බෝධි ලියනගේ මහතා මහනුවර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති ධුරය උසුලන අවධියේ දී ක්‍රීඩා සමාජ අතර පැවති උද්යෝගය මෙන්ම විනය පවත්වාගෙන යාම අනෙකුත් පාපන්දු ලීග වලට ආදර්ශයක් ගෙන දුන් බව ද ඉඳුරාම කිව යුතුය. එකල ඓතිහාසික බෝගම්බර ක්‍රීඩාංගනය පාපන්දු ක්‍රීඩකයින්ගේ දක්ෂතා වලින් ආලෝකමත් වූ බවක් දිස් විය.

මහින්ද අළුවිහාරේ, ශංකර්, මහින්ද ජයරත්න, ඩයමන්ඩ් සෙනෙවිරත්න, රාසා, රහීම් සහෝදරයෝ, ඩබ්ලිව්. ඩී. සරත්, ඩී. එම්.කපිල වැනි මහනුවර ක්‍රීඩකයින්ගේ දක්ෂතා තුළින් එකල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ආලෝකමත් වූ බවක් දක්නට ලැබුණි. එවන් ක්‍රීඩකයින්ගේ අඩිපාරේ පියවර ඔසවන යොවුන් ක්‍රීඩකයන්

රැසක් මහනුවර පුරවරයේ සිටින බව ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලධාරීන් අවබෝධ කරගත යුතුය. එහෙයින් මෙලෙස සෙංකඩගලට කුඩම්මාගේ සැලකිලි දැක්වීම පාපන්දු සම්මේලනය දැන්වත් අහවර කළ යුතුය.

 

Comments