කරවල හා උම්බලකඩ නිෂ්පාදකයන්ට අත හිත | සිළුමිණ

කරවල හා උම්බලකඩ නිෂ්පාදකයන්ට අත හිත

 

සෑම පැත්තකින්ම වටවුණු ඉතා සරුසාර මත්ස්‍ය අස්වැන්නක් ඇති සාගර කලාපයක් තිබුණත්; අපේ රටේ ජනතාවට අවශ්‍ය නිසි සැපයුම ලබා දෙන්නට තවමත් මෙරට ධීවර ජනතාවට නොහැකි වී තිබේ. කරවල වලට මෙරට ජනතාව අතර විශාල ඉල්ලුමක් තිබුණත්; මෙරට අලෙවි වන කරවල නිෂ්පාදන අතරින් 65 % කටත් වඩා ඇත්තේ ආනයනික කරවලයි.

බහුදින ධීවර යාත්‍රා උපයෝගී කර ගනිමින් ධීවර කර්මාන්තයේ නිරත වන බේරුවල, මීගමුව, හලාවත ආදී ප්‍රදේශවල ධීවරයන් බොහෝ විට මාස දෙක තුනක් නැවුම් මත්ස්‍ය අස්වැන්න නෙළමින් මුහුදේ ගත කරයි.

මෙම බෝට්ටු කරවල වලට අමතරව කරවල නිෂ්පාදනය සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ එම කරවල නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ධීවරයන් විසින් මහ මුහුදේදී නෙළා ගත් මත්ස්‍ය විශේෂ ලුණු දමා තම්බා අවුවේ වියළා ගැනීමෙනි.

කෙසේ වුවත් පසුගිය කාලය පුරා මෙරට කරවල, උම්බලකඩ හා වියළි හාල්මැස්සන් නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබඳව පාරිභෝගික ජනතාව අතරින් චෝදනා එල්ල වූ අතර ඇතැම් පාරිභෝගිකයන් ආනයනික නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් නැඹුරු වන ආකාරයක්ද දක්නට ලැබුණි. එම තත්ත්වය හමුවේ මෙරට කරවල, උම්බලකඩ හා වියළි හාල්මැස්සන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයට බරපතළ උවදුරු හා අපල උපද්‍රව ඇති වුණු අතර බොහොමයක් ධීවරයන් එම කර්මාන්තයෙන් ඈත් වෙන තරමටම වැඩ කටයුතු සිදු විය.

මේ තත්ත්වය හමුවේ මෙම සුවිශේෂී කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා වත්මන් රජය සුවිශේෂී වැඩසටහන් කීපයක්ම ආරම්භ කරන ලදී. ඒ අනුව ප්‍රමිතිය, ගුණාත්මකභාවය සහ සෞඛ්‍ය ආරක්ෂිතව කරවල, උම්බලකඩ සහ දුම් කරවල (smoked fish) නිෂ්පාදනය මෙරට තුළ සිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත. විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන ව්ජේසේකරගේ උපදෙස් පරිදි නාරා ආයතනයේ මුලිකත්වයෙන් දෙවුන්දර ප්‍රදේශය මුල්කරගනිමින් ආරම්භ කරන ලද එකී වැඩපිළිවළ නාරා ආයතනය විසින් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටී. එහි එක් අංගයක් ලෙස නියමිත ප්‍රමිතියකින් උම්බලකඩ - කරවල නිෂ්පාදනය කිරීමට අවශ්‍ය විද්‍යාත්මක දැනුම හා තාක්ෂණික දැනුම ව්‍යවසායකයන් වෙත ලබාදීම සඳහා වැඩසටහන් සම්පාදනය විය. තවද සුළු හා මධ්‍යම මෙන්ම මහාපරිමාණ ව්‍යවසායකයන් වශයෙන් හඳුනා ගනිමින් ඔවුනට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීම සඳහා ලෝක බැංකුවේ කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතියද කටයුතු යොදා ඇති අතර; සමුපකාර ධීවර සමිති වශයෙන් ලියාපදිංචි වී ඇති ව්‍යවසායකයන් හඳුනා ගනිමින් ඔවුනට අවශ්‍ය ණය ආධාර ලබාදීම සඳහා සමුපකාර දෙපාර්තමේන්තුවද පියවර ගෙන තිබේ.

එසේම දේශීය කරවල හා උම්බලකඩ නිෂ්පාදන දිරිගැන්වීම අරමුණු කර ගනිමින්ම පසුගිය කාලයේදී ආනයනික කරවල හා උම්බලකඩ, කරවල සඳහා අය කෙරුණු ආනයනික බද්ද රුපියල් 52 සිට රුපියල් 127 දක්වා රුපියල් 75කින් ඉහළ දැමීමටද පියවර ගැනුණු අතර ආනයනික මාළු සඳහා වූ රුපියල් 150 බද්ද රුපියල් 200 දක්වා රුපියල් 50කින් ඉහළ දැමීමටත් උම්බලකඩ ආනයනයේදී පනවා තිබූ රුපියල් 102ක බදු මුදල රුපියල් 302 දක්වා රුපියල් 200කින් ඉහළ දැමීමටද පියවර ගැනුණි.

මේ වන විට මෙරට කරවල හා උම්බලකඩ නිෂ්පාදකයන් මුහුණ දී තිබෙන ගැටලු හා එම ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව මීගමුව සින්දාත්‍රි මාතා කරවල සමිතියේ සභාපති පී.එම්.එම් අප්පුහාමි "සිළුමිණ" සමඟ මෙසේ අදහස් දක්වන ලදී.

බල,කට්ටා,කෙලවල්ලා, මුහුදු කුකුළා,හාල්මැස්සා වැනි කරවල වර්ග අපේ ධීවරයින් තොග වශයෙන් වෙළෙදපොළ වෙත ලබා දෙනවා.ඒ තලපත් කිලෝව 1100,බල 450-500, මුහුදු කුකුලා 500 හා හාල්මැස්සන් 550 ආදී මිල ගණන් වලට අනුවයි. ඒත් තවමත් ආනයනික නිෂ්පාදන අපගේ කර්මාන්තයට ඉතා බරපතළ ලෙස පහර දෙමින් තිබෙනවා. උදාහරණයක් ලෙස දේශීයව නිෂ්පාදනය කෙරෙන වියළි හාල් මැස්සන් කිලෝව අපි වෙළෙඳපොළ වෙත කිලෝව රු.550/- වැනි මිල ගණනකට ලබා දෙන විට ආනයනික වියළි හාල්මැස්සන් කිලෝව වෙළෙඳපොළ වෙත ලැබෙන්නේ කිලෝව රු.350/-ක් වැනි මිලකටයි. එය එසේ වන විට පාරිභෝගිකයන් නිරායාසයෙන්ම ආනයනික නිෂ්පාදන වෙත පෙලඹීම සිදු වෙනවා.

පාරිභෝගිකයා කරවල,හාල්මැස්සන්,උම්බලකඩ රසවත් ලෙස ආහාරයට ගත්තත් අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ කටයුත්තක්. අපි ඉතා වෙහෙසවී එම කටයුත්තේ නිරත වෙනවා. ධීවරයන් දියඹට ගොස් අල්ලා ගෙන එන මත්ස්‍ය අස්වැන්න යොදා ගෙන අපගේ ධීවරයන් ඉතා මහන්සියෙන් කරවල, හාල්මැස්සන් හා උම්බලකඩ නිෂ්පාදන සිදු කරනවා. ඒ සඳහා ගිනි ගහන අවුවේ දවස් ගණන් ගත කරනවා. ඒ නිසා මෙම කර්මාන්තයේ නිරතවන ධීවරයන් හා නිෂ්පාදකයන් පිළිබඳව රජය හා බලධාරීන් මීටත් වඩා අවධානය යොමු කළ යුතුයි. පුද්ගලික බැංකු හා මූල්‍ය ආයතන වලින් අප ධීවරයන් හා නිෂ්පාදකයන්ට ණය ලබා දුන්නත් රාජ්‍ය බැංකුවලින් කිසිදු අනුග්‍රහයක් කරවල වෙළෙඳුන්ට මේ දක්වාම හිමි වී නොමැති බවත් කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතු වෙනවා.

Comments