හිටපු නිලධාරීන් අල්ලේ ක්‍රීඩා කරන්නෙද එල්ලේ | සිළුමිණ

හිටපු නිලධාරීන් අල්ලේ ක්‍රීඩා කරන්නෙද එල්ලේ

 

කාලෙකට ඉස්සර අපේ රටේ ජාතික ක්‍රීඩාව වෙන්න විශාල උත්සාහයක් ගන්න ක්‍රීඩාවක අපූරු සෙල්ලමක් ගැන තමයි මේ පාර වලිවීරට ආරංචි වුණේ. ඒ තමයි එල්ලේ ක්‍රීඩාව. එල්ලෙ ගැන කිව්වහම දන්නෙ නැති කෙනෙක් නෑ. එල්ලේ අවුරුදු 100කට වැඩි ඉතිහාසයක් තියෙන ක්‍රීඩාවකුත් වෙන නිසා මේ ගැන අපි වැඩිවශයෙන් කල්පනා කළා.

මොකද දිගු කාලයක් තිස්සේ අක්‍රිය තත්වයේ තිබුණු එල්ලේ ක්‍රීඩාව පණගන්වන්න කියලා පසුගිය වසරේ අගෝස්තු මාසයේ නිලවරණයක් එහෙමත් පැවැත්වුවානෙ. ඒත් අවාසනාවක මහත දැන් ඒ ඇත්තෝ පත්වෙලා මාස හයකුත් ගෙවිලා ගිහින් ඉවරයි. නමුත් එල්ලේ තාම නතර වුණු තැනමයි. මොකද අප්පේ ඒ. බලපුවහම ආරංචි වුණේ අලුතින් පත්වෙච්ච නිලධාරී මණ්ඩලයට ක්‍රියාත්මක වෙන්න හිටපු නිලධාරී මණ්ඩලයෙ ක්‍රියා කලාපය බාධාවක් වෙලා කියන්නේ.

ඒක වෙලා තියෙන්නේ හිටපු ලේකම් හා භාණ්ඩාගාරික උත්තමයෝ දෙන්නා එල්ලේ ගන්න කිසිම ලියකියවිල්ලක් දෙන්නෑ කියන්නේ. ලිපි ගොනු ලිපි ශීර්ෂ අයවැය වාර්තා සහ රැස්වීම් වාර්තා වගේ ඇතුළු බඩු බාහිරාදිය නව නිලධාරී මණ්ඩලයට භාරදීලා නැතිලු. මෙතැන වැඩේ කියන්නේ හිටපු භාණ්ඩාගාරික උතුමා නව නිලධාරී මණ්ඩලයටත් පත්වෙලා තිබුණා. නමුත් හරියටම මාසෙකට පස්සේ එයා ඉල්ලා අස්වුණා කියන්නේ. එහෙම වෙද්දී එතුමා ලිපිගොනු ගෙනැල්ලා දෙඥං කිව්වට තවම ඒ වැඩේ සිද්ධ කරලා නෑ.

හිටපු ලේකම් උත්තමයත් සෑහෙන කාලයක් එල්ලේ සංගමයේ එල්ලිලා හිටිය කෙනෙක් නොවැ. එතකොට ඕනෑම සංගමයකට අලුතින් පත්වන නිලධාරී මණ්ඩලයට දින දහ හතරක් තුළ සියලු ලිපිගොනු දෙන්න ඕනෑ කියලා මේ කිසිකෙනෙක් නොදැන සිටීම තමයි අර්බුදය. ඒක ක්‍රීඩා පනතේ තියනව කියලා මේ අය නොදන්නව වෙන්න බැහැනෙ.

මොනව වුනත් දැන් දින 14ක් නෙමෙයි සති 14කුත් පහුවෙලා ඉවරයි. වයසට යනවිට අමකත වීම ස්වභාවික කාරණයක් නම් තමයි ඒත් මෙතරම් කාලයක් ප්‍රමාදවීම නම් ගැටලු සහගතයි ලොක්කෝ. ඒ හින්දා අපිට කියන්න තියෙන්නේ සොරි තමයි කියලයි ඉතිං ඈ.

 

 

 

වලිවීර

Comments