ශුක්රාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය ආධාර හා පාසලට පොත් | සිළුමිණ

ශුක්රාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය ආධාර හා පාසලට පොත්

පසුගියදා පැවති ජනප්‍රිය රූපවාහිනී ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනකින් ජයග්‍රහණය ලැබූ ශුක්රා මුනව්වර් සිසුවියගේ දක්ෂතා අගය කරමින් ඇය දිරිමත් කිරීමේ අරමුණින් ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය ආධාර ලබාදීම ,එම දැරිය ඉගෙනුම ලබන පාසල වන ගාල්ල සුධර්මා විද්‍යාලයේ පුස්තකාලය සදහා පොත් ලබාදීම හා ශුක්රා මුනව්වර් සිසුවියගේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ඇගයීමේ විශේෂ උත්සවයක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17)පස්වරුවේ කොළඹදී පැවැත් වුනි.
 
එහිදි අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
 
අපි එකිනෙකා වෙනස් ආගම් ඇදහුවත් සියලු දෙනා තුළ මනුෂ්‍යත්වය ශ්‍රී ලාංකිකත්වය පැවතිය යුතු බවත්, රටක් ලෙස ඉදිරියට යාමට නම් ශ්‍රී ලාංකීක සංස්කෘතිය සිත්හි පැවතිය යුතු බවත්, සියලු දෙනා තුළ ආත්ම විශ්වාසය එකිනෙකා අවබෝධ කර ගැනීමේ හැකියාව පැවතිය යුතු බවත්, සදහන් කළේය.ශ්‍රී ලංකාව තුළ ජීවත් වන සීයයට 99 කට වඩා වන ජනතාවට එකට එක්ව සමගියෙන් ජීවත්වීමේ අවශ්‍යතාවය පැවතිය ද සුළු ජාතීවාදී පිරිස් සිටිය හැකි බවත්, එක මවකගේ දරු කැළ බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම භේද දුරැලලා නමෝ නමෝ මාතා මේක අපි උදේම කියලා විතරක් මදි එම ජාතික ගීයේ එන පණිවිඩයට අනුව අපි යා යුතු බවත්, එකිනෙකා අතර බෙදීම් ඇති කිරීම පහසුවෙන් කළ හැකි වුවද අපි කළ යුත්තේ මිනිසුන් බෙදීම නොව එකතු කිරීම බවත් ,මිනිසුන් එකතු කිරීම ඉතා අපහසු කටයුත්තක් වුව ද කළ යුතු වන්නේ එය බවත් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.
 
ශ්‍රී ලාංකීය මුස්ලිම් අනන්‍යතාවය පෙන්නුම් කරමින් ජීවත් විය යුත්තේ කෙසේ ද යන්න පෙන්නුම් කළ හැකි සන්නාම තානාපතිවරියකගේ කාර්ය කළ හැකි දිරිය දියණියක් ලෙස     ශුක්රා මුනව්වර් දියණිය හැදින්විය හැකි බවත්, අධ්‍යාපනය තුළින් ඉදිරියට යාමේ ශක්තිය ඇයට පවතින බවත්, තමන් අතට තම අතමය සෙවනැල්ල යන්න හිතට ගෙන කටයුතු කිරීම ඇගේ ඉදිරි ගමනට වැදගත් බවත් සදහන් කළේය.
 
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ශුක්රා මුනව්වර් සිසුවියට සුභාෂිංසන එක් කරමින් විශේෂ පණිවිඩයක් එවා තිබු අතර ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා විසින් එය ඉදිරිපත් කළේය.
 
ඛණිජ තෙල් බෙදා හැරීමේ සහ තොග ගබඩා කිරීමේ පර්යන්තයේ සභාපති උවයිස් මොහොමඩ් සහ පයාඩ් මොහොමඩ් බාකීර් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් උත්සවය පැවති අතර  ගාල්ල සුධර්මා විද්‍යාලයේ විදුහල්පති සරත් ලියනගේ මහතා ඇතුළු ගුරු භවතුන් තිදෙනෙකු සහ රට පෙරට අපි එකට සංවිධානයේ ප්‍රධාන සංවිධායක කපිල එදිරිසුරිය යන මහත්වරුන් හා ශුක්රා මුනව්වර් සිසුවිය ද  මෙහිදී අදහස් දැක්වීය.
 
 

Comments