අලිවැට ආරක්ෂාවට පුහුණු කිරීමේ බලකායක් | සිළුමිණ

අලිවැට ආරක්ෂාවට පුහුණු කිරීමේ බලකායක්

අලි මිනිස් ගැටුම පාලනය කර මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සදහා ඉදි කරන අලි වැට ආරක්ෂා කිරීම සදහා “අලිවැට පුහුණු කිරීමේ බලකායක්” නැගෙනහිර පළාත තුළ ස්ථාපනය කිරීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවර ගත්තාය.
 
ඒ සදහා වන මූලික සාකච්ඡාවක් පසුගියදා සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
 
මේ සදහා දිස්ත්‍රික්කය නියෝජනය කරන සියළු ප්‍රාදේශිය ලේකම්වරුන් එක්ව සිටියහ.
 
විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් ඉදි කරන මෙම අලිවැට නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා අලිමිනිස් ගැටුම උත්සන්න වීමට හේතුව බව සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ මතය වි තිබේ. ඊට අමතරව විදුලි වැට නිසියාකාරයෙන් ඉදි නොකිරීම ද මේ සදහා හේතුවක් වී ඇත. මීට පිළියමක් ලෙස අලිවැට ආරක්ෂා කිරීමේ විශේෂ බලකායක් ප්‍රාදේශිය මට්ටමින් ඇති කිරීමට සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ මැදිහත් වීම මත ආණ්ඩුකාරවරිය පියවර ගත්තාය.
 
මෙම බලකාය සදහා ගොවි සමිති නියෝජිතයෙක් සිවිල් ආරක්ෂක බලකායෙන් සාමාජිකයන් දෙදෙනෙකු ප්‍රාදේශිය ලේකම් කාර්යාල නියෝජිතයෙකු ග්‍රාම නිළධාරි සහ වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිළධාරියෙකු පත් කර ඇත. එම බලකායේ අධීක්ෂණ කටයුතු සිදුවන්නේ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහාය.
 
නැගෙනහිර පළාතේ ස්ථාපනය කර ඇති එම අලිවැට පුහුණු කිරීමේ බලකාය සදහා ලබාදෙන විශේෂ පුහුණුව ලබන මාර්තු මස 02 සහ 03 යන දිනයන් වල කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි සහ කුඹුරුපිටිය අලිවැට පරිශ්‍රයේදි ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් සිදු කිරීමට නියමිතය.
 
දෙවැනි සහ තුන්වෙනි අදියර යටතේ මෙම බලකාය අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වලද ස්ථාපනය කිරීමට ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.
 
මේ අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල සහ ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Comments