සටන ඇර­ඹෙයි ! | Page 2 | සිළුමිණ

සටන ඇර­ඹෙයි !

බරගමුව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව ස්වකීය බලතල ප්‍රකාරව තම ප්‍රදේශීය පාලකයින් දෙදෙනකු වන ඇඹිලිපිටිය නගරාධිපති (සභාපති) සහ බළංගොඩ නගරාධිපති වරයාගේත් ධූරයන් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටවනු ලැබ ඇත.

පළාත් සභා පනතේ 255 අධිකාරිය වන නගර සභා අඥා පනතේ 184(1ආ) සහ 184(1අ) උප වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ඔහු එම නගර සභා දෙකෙහි හිටපු සභාපතිවරුන්ගේ කාර්යයන් ඉටුකිරීම සඳහා එම නගර සභාවල හිටපු උප සභාපතිවරුන්ට බලය පවරා ඇත. ඒ අතරතුර හිටපු සභාපතිවරුන් නගර සභා අඥා පනතේ 184 (1) වගන්තිය යටතේ දක්වනු ලබන වැරදි කිසිවක් සිදුකර ඇතොත් ඒ පිළිබඳ විමර්ශනයක් කොට මාස 03 ක් ඇතුළත තමා වෙත වාර්තා කරන මෙන් දන්වා කොමිෂන් සභාවක බලතල සහිතව විශ්‍රාමලත් මහා අධිකරණ විනිසුරුවරයකුද පත් කර ඇත.

පැවති යහපාලන ආණ්ඩුවේ නායකයන්ට මෙන්ම ක්‍රියාදාමයන්ට එරෙහිව පළමු අඬහැරය නැඟුණේ එවකට පොදු පෙරමුණේ බලය තිබුණු පළාත් පාලන නියෝජිතයන්ගෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් බිඳී පොහාට්ටුව සමඟ සන්ධාන ගතව යහපාලනයට එරෙහිව දියත් කළ පළමු සටනේ ජය පැන් බොන්නට ඔවුනට හැකි වුයේ ඉකුත් පලාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණය භුක්ති විඳිමිනි. එම මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන පොහොට්ටුව කණ්ඩායම් දිනාගත්තත් බලය පිහිටුවීමේදී එතුළ සිටි ඇතැම් බලලෝභී කණ්ඩායම් දැමු කකුල් මාට්ටු නිසා පක්‍ෂ නායකයන් අපේක්‍ෂා කළ පුද්ගලයන් බලයට පත් කිරීමට හැකියාව ලැබුණේ නැත.

බළංගොඩ නගර සභාවේ ජන්ද ප්‍රතිඵලයට අනුව පොහොට්ටු කණ්ඩායමට මන්ත්‍රීධුර 07 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මන්ත්‍රිධුර තුනක්, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීධූර එකක් සහ එක්සත් ජාතික පක්‍ෂයට මන්ත්‍රීධුර හයක් ද හිමිව තිබුණි. එහෙත් සභාපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති ජන්දයේදී එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ ජයමිණි විමලසේන නගරාධිපති (සභාපති) ලෙස තේරීපත් වුයේ කවුරුත් පුදුමයට පත්කරමිනි. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ විවිධ වාද විවාද වලට තුඩු දෙමින් ගලාගිය නගර සභා පාලනය හිටිහැටියේම ඇණ හිට ඇත.

ඇඹිලිපිටිය නගර සභාවේ බල ව්‍යුහය බළංගොඩ නගර සභාවට වඩා වෙනස්ය. එහි පොහොට්ටු කණ්ඩායමට මන්ත්‍රීවරුන් දහයක් පත්වූ අතර එක්සත් ජාතික පක්‍ෂය හිමි කරගෙන තිබුනේ මන්ත්‍රීධූර තුනක් පමණකි. පොහොට්ටු කණ්ඩායම තුළම ඇතිවුණ බල අරගලයක් නිසා මනාප වලින් ඉදිරියෙන් සිටි තැනැත්තා අබිබවා යමින් ප්‍රබල දේශපාලන සබඳතා තිබූ අයෙක් නගරාධිපති පුටුවට පත්විණි.

ඇඹිලිපිටිය නගර සභාව ආරම්භයේ සිටම ඇදීගියේ පාලක පක්‍ෂයේම හැලහැප්පිලි සහිතවය. නගරාධිපතිවරයාගේ පාලනයට එරෙහිව කැරලි ගැසුවේ ඔහුගේ පක්‍ෂයේම අයයි. දිගින් දිගටම ඔහුට එරෙහිව තම කණ්ඩායම තුළින්ම නැගුණු චෝදනා සහ පැමිණිලි නිසා අවස්ථා කිහිපයකදීම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ඔවුන් කැඳවා අවවාද කළේය. තව දුරටත් එම තත්ත්වය පැවතුණහොත් තම බලතල ප්‍රකාරව සභාව විසුරුවා හැර විශේෂ කොමසාරීස් වරයකුගේ පාලනයට යටත් කරන බවද දැනුම් දිණි.

එවැනි ව්‍යාකූලතා සහ බල අරගල සමඟ ගැටුම්කාරීව පැවති බලංගොඩ සහ ඇඹිලිපිටිය නගරාධිපතිවරුන්ගේ ධූරය දැරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවන බව 2021 ජනවාරී 15 වන දින පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

මේ පිළිබඳව මුලින්ම අදහස් දැක්වුයේ තනතුරු අත්හිටුවා තිබෙන බළංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණ විමලසේනයි. මම නියෝජනය කළේ එක්සත් ජාතික පක්‍ෂයයි. නියෝජිතයන් හයක් පමණ සිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමත් ඇතුළු අනෙත් අයගෙත් සහයෝගය ඇතුව නගර සභා පාලනය අපි ඉතාම හොඳින් කරගෙන ගියා. දිගින් දිගටම අපේ වැඩවලට ඵලදායිතා සම්මාන ලැබුණා. රට තුළ පවතින තත්ත්වය අනුව සම්මාන උත්සව නොතිබ්බත් පළාත් පාලන ආයතන අතර පළමු වන තැන හිමිකරගෙන තිබෙන්නේ බළංගොඩ නගර සභාවයි. අපේ වැඩ පිළිවෙළ ගැන නගර සභා වෙබ් පිටුව බැලුවම පැහැදිලියි. මෙතන සිද්ධ වෙන්නේ පක්‍ෂ දේශපාලන ගැටුමක් මිස කණ්ඩායම් ගැටුමක් නොවෙයි. අපි හැම විටම කණ්ඩායම් හැගීමෙන් යුතුව වැඩ කළා. සමහර ගොඩනැගිලි ඉදිකරලා තිබුණේ වැරදි විදිහට අපි ඒවා කඩා ඉවත් කළා. සමහරු ඒවා වැරදියට නිර්වචන කළා; මිනිස්සු උසි ගැන්නුවා; බොරු පෙත්සම් යැව්වා. මෙතන තවත් දෙයක් වෙනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ අපි අනුන්ගේ නැත්නම් කිසිම චෝදනාවක් පරීක්‍ෂණයක්, විභාගයක් නැතිව මගේ ධූරය අත්හිටවන්නේ ඇයි. සාධාරණයක් ඉටුවෙයි කියා මම විශ්වාස කරනවා. හැබැයි දැන් තියෙන්නේ දේශපාලන විරසක බවක්‘

බළංගොඩ නගර සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කොට ඇත්තේ එම නගර සභාවේ උප සභාපති පදවිය දැරූ එම්.පී.එම්. රූමියි. ඔහු ඉකුත් 18 වනදාම සභාපතිවරයාගේ තනතුරෙහි වැඩ බාරගෙන තිබුණි. බල පෙරළිය ගැන ඔහු මෙසේ සඳහන් කළේය. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට ආසන අටක් ලැබුණා. යූ.එන්.පී. යට හයක් ලැබුණා. ජේ.වී.පී. යට සහ ශ්‍රී ලංකා එකටත් එක බැගින් ලැබුණා. සභාපතිවරයා තෝරපු ජන්දෙදි පොහොට්ටුවට ආසන අටක් තිබුණත් වැඩි ජන්ද අරගත්තේ යූ.එන්.පී. අපේක්‍ෂක විමලසේනයි. මම ශ්‍රී ලංකා වුණත් උප සභාපතිකම මට ලැබුණා. එතනදි වුණේ මොකක්ද කියලා මම දන්නෑ. එහෙත් එදා තිබුණ තත්ත්වය ඒක තමයි. පහුවෙද්දී ඒක වෙනස් වූණා. සභාපතිතුමාට ටිකෙන් ටික බලය නැතුව ගියා. විවිධ බලපෑම් නිසා එයාට පක්‍ෂපාතීව හිටපු පොහොට්ටුවේ කට්ටියත් එයාගෙන් ඈත් වූණේ පක්‍ෂ නායකත්වයේ බලපෑම් නිසා. මට මේ තනතුර ලැබුණේ නිල බලයෙන්. මම හිටපු උප සභාපති; නැතිව කාගෙවත් බලපෑමකින් නෙවෙයි. හිටපු සභාපතිතුමත් මට සහෝදරයෙක් වගෙයි. මේක තාවකාලිකයි. මාස තුනෙන් පරීක්‍ෂණ වාර්තා දෙයි. මම ආයෙම හිටපු තැනට යනවා. පුළුවන් තරම් හොඳින් ඉන්න ටික දවසට ජනතාවට සේවය කරනවා. මම දේශපාලනයට ආවේ 2005 දී, දැන් වයස 52 යි. හැමෝම මගේ සහෝදරයෝ; එකයි මගේ ප්‍රතිපත්තිය.

තනතුර අත්හිටවා තිබෙන ඇඹිලිපිටිය නගර සභාවේ හිටපු සභාපති ලලිත් ධර්මකීර්ති ගමගේ පැවසුවේ මෙවැන්නකි.

‘මගේ තනතුර අත්හිටුවීම හිටිහැටියේම වෙච්ච දෙයක්. මම හිතන්නේ මේක යටිකූට්ටු වැඩක්. බල පොරයක ප්‍රතිඵලයක්. මට කිසිම චෝදනා පත්‍රයක් (19) වෙනතුරුත් ලැබිලා නැහැ. අපේ කණ්ඩායම අතරේ ගැටුම් තිබුණා. එහෙත් නගරයේ ජනතාවට අඩුවක් නැතුව සේවය සැපවූවා. පිරිසිදු නගරයක් අලංකාර නගරයක් ඒවගේම අංග සම්පූර්ණ පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකළා. කසල කළමණාකරණයෙන් දෙවැනි තැන හිමිකර දුන්නා. පළමු වතාවට කසළ එකතු කිරීමේදී ඇප් එකක් භාවිත කරන්න හදුන්වා දුන්නා. කසළ කළමණාකරණ වාහන වලට ජි.පී.එස්. තාක්‍ෂණය හදුන්වා දුන්නා. මේවා ඔක්කොම කළේ ජනතාව වෙනුවෙන්. මට දැනෙන්නේ මේක අපේම කට්ටියගේ වැඩක්. මම තනියෙන් වැඩ කළේ නැහැ. ඉන්ජිනේරුවරුන්ගේ උපදෙස් අරගෙන මාර්ග සංවර්ධන අධිකාරීයේ අනුමැතිය ඇතිවයි වැඩ කරලා තියෙන්නේ. විධිමත් විමර්ශනයක් කළොත් මට මේවා පහදා දෙන්න පුළුවන්. මම කියන්නේ මම නිර්දෝෂියි. මෙතන සිද්ධ වෙන්නේ තනිකරම දේශපාලන තීන්දුවක්.

ඇඹිලිපිටිය නගර සභාවේ වැඩ බලන සභාපති ලෙස නම් කොට සිටින එහි හිටපු උප සභාපති දිනේෂ් මධුශංකගෙන් අපි විමසුවෙමු.

‘මාව මේ සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීමට නම් කරලා තියෙන්නේ පළාත් ආණ්ඩුකාරතුමා. මේක තාවකාලික පත්වීමක්. හිටපු සභාපතිතුමාට යම් යම් චෝදනා තිබුණා. මුලින් එතුමාට දහ දෙනෙක්ගේ කණ්ඩායමක් හිටියා. පහුවෙද්දී ඉතිරි වුණේ තුන්දෙනයි. මේ වෙද්දී ඒ ගාන දෙකට බැහැලා. මේ වෙද්දී සභාවේ බහුතරයක් නැහැ. පහුගිය අයවැය සම්මත කරගත්තේ ඒකාධිපතිව. සභාවට මන්ත්‍රීවරු පැමිණෙන්න ඉස්සර ඒයාට පක්‍ෂ තුන්දෙනාව දාලා සභාව සම්මත කළා. විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණේ එක්කෙනා විතරයි. අපි සභාවට එද්දී ඔක්කොම ඉවර කරලා සභාවත් කල් තියලා. අලුතෙන් ගොඩනැගිල්ලක් හැදුවා; කිසිම පිළිවෙලක් ප්‍රමිතියක් නැහැ. දැනටත් වතුර පිරිලා. මේ වගේ නාස්තිකාර වැඩ, ශෝභන වැඩ හුඟක් වුණා. අපි නොයෙක් වතාවල මේගැන පළාත් පාලන කොමසාරිස්තුමා, ආණ්ඩුකාරතුමා දැනුවත් කළා. ආණ්ඩුකාරතුමා අපිව කැඳවලා අවවාද කළා. අවසානෙදී එතුමා මේ තීරණය අරගත්තා. දැන් ස්වාධින පරීක්‍ෂණයක් සඳහා පරිණත නිළධාරීන් පත්කර තියෙනවා. හිටපු විනිසුරුවරයෙක් අපි ඒ තීන්දුවට හිස නමනවා. මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා අපි අවස්ථා කිහිපයකදීම සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට මෙන්ම සබරගමුව පළාත් පාලන කොමසාරීස්වරයාද දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත්, එයට අවස්ථාවයක් ලැබුණේ නැත. සබරගමුව පළාත් සභා සංකීරණය තුළ කොරෝනා ව්‍යසනයේ අවධානම දැඩිව පැතිරෙමින් පවතින නිසා ඔවුන් හමුවීමට යාමට අපට හැකියාවක් ලැබුණේ නැත.

 

Comments