විශ්‍රාම වැටුප් දෙපා­ර්ත­මේ­න්තුව ආබා­ධිත රණ­වි­රු­වන් මහ මඟට දම­යිද? | Page 2 | සිළුමිණ

විශ්‍රාම වැටුප් දෙපා­ර්ත­මේ­න්තුව ආබා­ධිත රණ­වි­රු­වන් මහ මඟට දම­යිද?

යූ.ඩී. වසන්ත රණ­වි­රුවා තම කුඩා දරුවා සම­ඟින්
යූ.ඩී. වසන්ත රණ­වි­රුවා තම කුඩා දරුවා සම­ඟින්

සර 30කට ආසන්න කාලයක් පැවැති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූයේ ශ්‍රී ලාංකීය රණවිරුවන් විසිහය දහසකගේ පමණ දිවි අහිමි කරමිනි. එමෙන්ම යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්ව අත පය පමණක් නොව ඇතැම් විට හිසෙන්ද අඩක් නොමැතිව සිතා ගැන්මටවත් බැරි ලෙසින් දිවි ගෙවනා රණවිරුවෝද වෙති.

ඔවුන් සියලුදෙනාම ඒ සියලු කැපකිරීම් කළේ රට වෙනුවෙනි. ඔවුන් දෙපා අහිමි කරගත්තේ අපට දෙපයින් නැඟී සිටින්නට අවකාශ සලසා දෙමිනි. එහෙත් යුද්ධය අවසන්වීමත් සමඟ ඔවුන්ට සමාජයේ තිබුණු ගරුත්වය හීන වී ගිය බවක්ද පෙන්නුම් කෙරේ. වෙනදා රණවිරුවන් දුටු සැණින් සියලු ගරුත්වයන් ඔවුනට හිමි වුවද අද වන විට නිල ඇඳුම පිටින් බැංකු ඇතුළු රාජ්‍ය ආයතනවල පෝලිම්වල සිටින හමුදා නිලධාරීන් අපට දැකගැන්මට හැකිය.

රජය මඟින් හමුදාවට ලබා දී ඇති නීතියට අනුව හමුදාවෙන් විශ්‍රාම යා හැක්කේ වසර 12ක් සම්පූර්ණ කළ අයකුට පමණි. එහෙත් ත්‍රස්තවාදී යුද ගැටුම් උග්‍රවත්ම රට වෙනුවෙන් දිවි පිදූ මෙන්ම රණක්ෂිතයට පත්වන රණවිරුවන් පිරිස වැඩි වන්නට විය. එමෙන්ම ඔවුන්ට තවත් අයකුගේ පිහිට අවශ්‍ය තත්ත්වයට පත්විය. පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව කිසිදු ආකාරයකට ඇ‌ෙඳන් බැසීමටවත් නොහැකිව සිටින විරුවන් රැක බලා ගන්නා ස්ථාන වෙනමම තිබේ.

විශ්‍රාම වැටුප් දෙපා­ර්ත­මේ­න්තුව විසින් 
ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ය­කට යවන ලද ලිපි­යක්

එහෙත් අවුරුදු 12කට අඩු කාලසීමාවකදී යුද හමුදාවෙන් විශ්‍රාම යාමට නොහැකිව ආබාධිත තත්ත්වයට පත් වූ හමුදා සාමාජියන් බොහෝ විට කොළඹ ඇතුළු සංග්‍රාමික නොවන පෙදෙස්වල සිට රාජකාරි සිදු කරන ලද්දේ වසර 12ක සේවා කාලය සපිරෙන තෙක්ය.

ඒ වසර 12ක් සපිරෙන්නට පෙර ආබාධිත තත්ත්වය මත විශ්‍රාම ගියහොත් ඔවුන්ට විශ්‍රාම වැටුප අහිමි වන හෙයිනි. එහෙත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ එනම් 2014 වසරේ දෙසැම්බර් 14 වැනිදා නිකුත් කළ චක්‍ර ලේඛයක් අනුව සේවා කාලය වසර 12කට පෙර වුවද ආබාධිත තත්ත්වයට පත්වූයේ නම් එම රණවිරුවන්ට විශ්‍රාම යා හැකි විය.

ඒ අනුව එතෙක් අත පය නොමැතිව කිහිලිකරුවෙන් පවා ගමන් කරමින් හමුදා කඳවුරුවල සේවය කළ ආබාධිත හමුදා රණවිරුවෝ විශ්‍රාම ගත්හ.

සේවා කාලය වසර 12කට අඩු හමුදා සාමාජිකයන්ට ඒ දක්වා හිමි වූයේ වැටුපට අමතරව දුබලතා විශ්‍රාම වැටුපකි. එය සාමාන්‍යයෙන් වැටුපෙන් 10%.ත් 20%ත් අතර වූ ප්‍රමාණයකි.

එහෙත් වසර 12කට වැඩි කාලයක් සේවාවේ නිරතව සිට විශ්‍රාම ගියහොත් සේවා විශ්‍රාම වැටුපකට ඔවුහු හිමිකම් ලබන අතර එම මුදල දුබලතා විශ්‍රාම වැටුප මෙන් දෙගුණයකි. එහෙත් පසුගිය යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂයන් විසින් ලබා දුන් චක්‍රලේඛය නොසලකා හැරීම නිසා රණවිරුවන්ට මහ පාරට බැසීමට සිදුවිය. මහමඟදී කඳුළු ගෑස් කමින් වතුර පාර කමින් ආබාධිත රණවිරුවෝ එම ඉල්ලීම් දිනා ගැන්මට කටයතු කළහ.

එසේ දහදුක් විඳිමින් විශ්‍රාම වැටුප් ලබාගත් ඔවුන්ට දැන් සිදුව ඇත්තේ කබළෙන් ළිපට වැටීමකි.

ඔවුන්ට සිදුව ඇති ඒ අකටයුත්ත සම්බන්ධයෙන් විමසා බැලීම පිණිස අපි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති හා එහි මාධ්‍ය ප්‍රකාශක විශ්‍රාමික කෝප්‍රල් යූ.ඩී. වසන්ත හමුවීමු.

‘‘අවුරුදු ගණන් මහ පාරේ දුක් විඳලා ලබාගත් විශ්‍රාම වැටුප වෙනුවෙන් ආයිත් පාරට බහින තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. සේවා කාලය අවුරුදු 12ක් වෙන්න කලින් අපි හමුදාවෙන් විශ්‍රාම ගියේ අපට ලබාදුන් චක්‍රලේඛ නිසයි. අපිට කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් තමයි අදාළ විශ්‍රාම වැටුප් සියල්ල ලැබුණේ.

ඒ අනුව ආබාධිත රණවිරුවකුට වැටුපට අමතරව දුබලතා විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඊට අමතරව සේවා විශ්‍රාම වැටුපක් ලැබෙනවා.

ලංකාවේ කිසිම කෙනෙකුට විශ්‍රාම වැටුප් දෙකක් ගෙවන්නේ නැහැ. නමුත් අමතක කරන්න එපා අපි ආබාධිත වුණේ උපතින් නෙමෙයි. රට වෙනුවෙන් සටන් වැදිලා

එහෙම වුණු අපට පූර්ණ වැටුප හිමිවන්නේ වසර අවුරුදු 55ක් දක්වා විතරයි. අපිට හිමිවන්නේ දුබලතා විශ්‍රාම වැටුපයි සේවා විශ්‍රාම වැටුපයි විතරයි.

උදාහරණයක් හැටියට මගේ වැටුප ලෙසින් රුපියල් 67,000ක් ලැබෙනවා. ඒත් සේවා විශ්‍රාම වැටුප හැටියට ලැබුණේ රුපියල් 6,700 ක් වගේ ගණනක් ඒ වගේම සේවා විශ්‍රාම වැටුප ලෙසින් රුපියල් 14,000ක් 15,000ක් වගේ මුදලක් ලැබෙනවා. අපි මේ විශ්‍රාම වැටුප් දෙකම ලබා ගත්තේ පුදුමාකාර දුකක් විඳලා.

හොඳින් මතක තියා ගන්න මේ ආබාධිත වෙලා ඉන්න රණවිරුවන්ගෙන් 98%ක්ම සෙබළුන් බව. ඒ ඉංජිනේරුවන්ගේ එහෙමත් නැත්නම් වෛද්‍යවරුන්ගේ දරුවන් නෙමෙයි. සමහර අයගේ ගෙවල් වැස්සට තෙමෙන පැල්පත්. එහෙම අය බැංකු ණය අරගෙන තියෙන්නේ මේ වැටුප් පත්‍රිකා ඉදිරිපත් කරලා.

අනිත් වැදගත්ම කරුණ වෙන්නේ අපේ බහුතරයකට තනියම කිසිම වැඩක් කරගන්න බැහැ.

එහෙම නිසා බොහෝ වෙලාවට තව කවුරු හරි මුදලක් ගෙවලහරි තියා ගන්න වෙනවා. ඒක නිසයි අපිට දුබලතා විශ්‍රාම වැටුපෙන් සෑහීමකට පත් වෙන්න බැරිවුණේ.

මේ අස්සේ පසුගිය නොවැම්බර් මාසේ අපිට ගෙවන විශ්‍රාම වැටුප් දෙක වෙනුවට දෙකම එකතු කරලා එක අංකයක් යටතේ දෙන බව කිව්වා. නමුත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කරල තියෙන්නේ අපේ වැටුප් කප්පාදු කරන එකයි. අපේ ඇතැම් අයගේ රුපියල් 2500ක් විතර කපාගෙන තියෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ වන විට ලිපි යවලා තියෙනවා අපට වැඩිපුර විශ්‍රාම වැටුප් ගෙවලා තියෙනවා. ඒක නිසා අපෙන් ඒවා අය කරගන්න කියලා.

මාතර පදිංචි වෛද්‍ය බළකායේ කෝප්‍රල් නලින් ආබාධිත රණවිරුවාට කියලා තියෙනවා ලක්ෂ 5ක් විතර එයාගෙන් අය කර ගන්න තියෙනවා කියලා. කාටද මේ ගැන කියන්නේ. නිලධාරීන් කිහිප දෙනෙක් කියලා තියෙනවා වැඩිපුර මුදලක් ලැබෙනකොට ඒ අය ඒ බව දැනගෙන හිටියෙ නැද්ද කියලා.

මේ රණවිරුවන් ආබාධිත තත්ත්වයට පත්වුණේ යුද බිමේදි. එයාල තමන්ගේ පඩිපත දිහා බලාගෙන හිටියෙ නැහැ. යුද්ද කරලා රට රැක ගන්නවා. වැටුප ගෙදරට යනවා. දැන් ඒ අය අත පය පවා නැතිවයි ඉන්නේ. එහෙම ඉන්න එකේ ඔය ගණන් මිනුම් හද හද ඉන්නෙ නැහැ. අනිත් එක වැඩිපුර මුදලක් ගෙවලා තියෙනවානම් ඒකෙ වැරැද්ද මේ ආබාධිත අපේද? මේ සියලුම දෙනා නිවාස ණය අරගෙන තියෙන්නේ වැටුප් වාර්තා පෙන්වලා. දැන් ඒවා ගෙවන්නෙ කොහොමද විශ්‍රාම වැටුප අඩු කළොත්. සමහර අය ත්‍රීරෝද රථ ට්‍රැක්ටර් පවා අරගෙන තියෙනවා. අනිත් එක බොහෝ පවුල් යැපෙන්නේ මේ ආබාධිත රණවිරුවගේ වැටුපෙන්. බොහෝ අයට ඉන්නේ අවුරුදු 10ට අඩු දරුවන්. මගේ කුඩා දුවත් අවුරුද්දකට වැඩිය නැහැ. අපිට ආයිත් පාරට බහින්නද මේ අය කියන්නේ. අපි ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න කියා ඉල්ලා සිටිනවා. එතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියදී ලබා දුන් වැටුප තමයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ කප්පාදු කරන්න යන්නේ.‘‘

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ලිපියක් මඟින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා ඇත්තේ වර්ග සංකේත අංක 42 හා 59 ඔස්සේ එකම හැඳුනුම්පත් අංකය යටතේ විශ්‍රාම වැටුප් ගෙවනු ලබන බව නිරීක්ෂණය වී ඇති බවකි.

එම නිසා වර්ග අංක 59 යටතේ ආබාධිත හමුදා සෙබළුන්ට ගෙවීම් සිදුකරන බැවින් අංක 59 හා අංක 42 යටතේ එකම හැඳුනුම්පත් අංකයට විශ්‍රාමවැටුප් දෙකක් ගෙවිය නොහැකි බැවින් එම සංකේත නිවැරැදි කරන ලෙස දක්වා ඇත.

එම ලිපියේ දෙවන ජේදයේ දැක්වෙන්නේ,

අදාළ අඩුපාඩු ලිපිගොනු පරීක්ෂා කර බලා 2020 ඔක්තෝබර් 30 දිනට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයට දන්වන ලෙසයි. එම ලිපියේ අත්සන් කර ඇත්තේ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් එහි ප්‍රධාන අභ්‍යන්තර විගණන පී. ඕමත්තගේ විසිනි. එම ලිපිය 2020. 09.23 දිනැතිව අංක විවැ/අවි/8 2020/දෙපා// 25 ඔස්සේ යොමු කර තිබේ.

මේ සම්බන්ධව කරුණු දැන ගැනීම පිණිස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් ඩයස් සම්බන්ධ කර ගැනීමට පසුගිය 19 වැනිදා අඟහරුවාදා සිට උත්සාහ ගතිමු. 20 බදාදා දින අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කාර්යාලයෙන් ඒ සම්බන්ධව විමසා පවසා සිටියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධ කර දෙන බවයි.

එදින පස්වරු 4.10ට දුරකතන ඇමතුමක් ගෙන ඇය පැවසුවේ අවශ්‍යතාව විස්තර සහිතව ලබා දුනහොත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට පිළිතුරු සපයනු ඇති බවයි. එසේ පැවසුවත් පිළිතුරක් නොලැබුණු අතර පසුගිය බ්‍රහස්පතින්දා කාර්යාලයට කතා කළ විට පෙර කී නිලධාරිනිය පැවසුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධ කර දීමට උත්සාහ කරන බවයි. ඒ සියලු හඬ පට අප සතුව ඇත. අවස්ථා 14 කදී ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. එයින් අපට පෙනී යන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් රණවිරුවන් යළිත් අසරණ කරන්නට යන බවයි. යම් ආකාරයක දීමනාවක් හෝ වෙනත් වැඩිපුර මුදලක් රණවිරුවන්ට ගෙවා ඇත්නම් එහි වරද රණවිරුවන්ගේද? ගිණුම් සකස් කළේ ඔවුන්ද? මුදල් ගෙව්වේ ඔවුන්ද? නිර්දේශ සකස් ක‍ෙළ් ඔවුන්ද? විගණනය ක‍ෙළ් ඔවුන්ද?

සියල්ල තම කිල්ලෝටයේ තබා ගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලිපියක් යවා ඇඟ බේරා ගන්නට සිදු කරන්නා වූ මේ ක්‍රියාවලියෙන් රට රැකදුන් රණවිරුවන් යළිත් මහ පාරට ඇද දමන්නට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් කරන්නා වූ මේ මහා පාප කර්මය නැවැත්විය යුතුය.

ඒ ගැන හෙට නොව අදම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේත් ආරක්ෂක අමාත්‍යාංශයේත් අවධානය යොමු විය යුතුය.

 

Comments