විද්‍යා කෞතු­කා­ගා­ර­යක් හදා ජාත්‍ය­න්ත­ර­යට ගිය අපේ දිසා­පා­මොක් | Page 2 | සිළුමිණ

විද්‍යා කෞතු­කා­ගා­ර­යක් හදා ජාත්‍ය­න්ත­ර­යට ගිය අපේ දිසා­පා­මොක්

සරත් ප්‍රේම­ව­ර්ධන උප­ක­ර­ණ­යක් ක්‍රියා­ත්මක කර­මින්
සරත් ප්‍රේම­ව­ර්ධන උප­ක­ර­ණ­යක් ක්‍රියා­ත්මක කර­මින්

පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යා තාක්ෂණික හා නර්තන අධ්‍යාපනඥයන්ගේ සංගමය මගින් විද්‍යා අධ්‍යාපනයට කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් පුදන ජාත්‍යන්තර කැස්ම් (CASTME) සම්මානය මෙවර ශ්‍රී ලාංකිකයකු හිමි කරගෙන තිබේ.

ඔහු පානදුර හා කළුතර යන අධ්‍යාපන කොට්ඨාසවල විද්‍යා ගුරු උපදේශකවරයකු වශයෙන් කටයුතු කර විශ්‍රාම ලැබූ පානදුරේ පදිංචි සරත් ප්‍රේමවර්ධනයි. ඔහු මෙම සම්මානය හිමිකර ගන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 56 ක තරගකරුවන් අබිබවා යමින් ප්‍රථම ස්ථානය හිමි කර ගනිමිනි.

79 හැවිරිදි වියේ පසුවන එතුමා විද්‍යා අධ්‍යාපනයට කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් මෙම සම්මානයට පාත්‍ර විය.

ඔහුට සම්මානය හිමිවූයේ ඔහු විසින් නිර්මාණය කර ඇති අංගසම්පූර්ණ විද්‍යා කෞතුකාගාරයකටය. සැබවින්ම එය අතිශයින් විශ්මයජනක නිර්මාණයක් වන අතර එවැන්නක් අන්තැනක ඇත්දැයි සැක සහිතය.

සරත් ප්‍රේම­ව­ර්ධන 

කළුතර සිරිකුරුස විදුහලේ හා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු ගුරු වෘත්තියට එළැඹුණේ වයස අවුරුදු 19 දීය. ඒ 1961 වසරේදී විද්‍යා උප ගුරුවරයකු වශයෙන් ඔලබොඩුව මහා විද්‍යාලයෙනි.

ඉන්පසු මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ විශේෂ ගුරු පුහුණුව ලැබූ සරත් ප්‍රේමවර්ධනයන් කහටගස්දිගිලිය මහා විද්‍යාලය, වරකාගොඩ මහා විද්‍යාලය, කළුතර ඥානෝදය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලයන්හි විද්‍යා ගුරුවරයා වශයෙන් සේවය කළේය.

මොහුගේ දක්ෂතා දුටු අධ්‍යාපන බලධාරීහු විශේෂ පුහුණුව ලබාදීම සඳහා ඔහු තෝරා ගත්හ. ඒ අනුව ඔහු ගුරු උපදේශකවරයකු ලෙස කළුතර හා පානදුර අධ්‍යාපන කොට්ඨාසවල සේවය කළේය‍. විශ්‍රාම ලැබුව ද ඔහු ඉගැන්වීම් කටයුතු දිගටම කරගෙන ගියේය.

දරුවනට අධ්‍යාපනය ලබාදීමේදී වැඩි මුදල් වැය කිරීමකින් තොරව උපකරණ සකස් කරදීම පිළිබඳව ඔහු ගුරුවරුනට කියා දුන්නේය.

විද්යුතය, චුම්බකත්වය, ධ්වනිය, තරංග, ශාක පටක, ආලෝකය ආදී දරුවන්ගේ පොතේ ඇති සෑම පාඩමකටම අදාළ ප්‍රායෝගික දැනුම ලබාදීමේ උපකරණයක් ඔහු සරලව නිර්මාණය කර තිබුණි‍. එපමණක් නොව ඒවා නිර්මාණය කරන ආකාරය ඔහු ගුරුවරුනට කියා දුන්නේය.

කළු ලෑල්ලේ හුනු කූරෙන් පමණක් උගන්වන ගුරුවරුන්ට නව දිශානතියන් දරුවන් දැනුමෙන් පෝෂණය කරන ආකාරය ඔහු ගුරුවරුනට කියා දුන්නේය. මේ තුළින් ඇතිවන තවත් විශේෂත්වයක් වනුයේ දරුවන් තුළ විද්‍යා විෂය කෙරෙහි ඇති ඇල්ම වැඩිවීමයි‍.

තම නිවසේ විශාල ඉඩ ප්‍රමාණයක් වෙන් කරමින් ඔහු විද්‍යා විෂයට අදාළ සෑම අනු කොටසකටම අදාළ ප්‍රායෝගික දැනුම ලබාදෙන උපකරණයක් නිර්මාණය කර ඇති අතර එය දියුණු කෞතුකාගාරයක තත්ත්වයට පවත්වාගෙන යෑම ද විශ්මයජනකය‍.

ඔහුගේ බිරියවූ සුජාතා ප්‍රේමවර්ධන ද විශ්‍රාම ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස සේවය කරමින් සිටියදීය‍. වැඩිමහල් පුතු සුසර ප්‍රේමවර්ධන ධීවර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකි. බාල පුත් නුවන් ප්‍රේමවර්ධන මොනරාගල මහ ‍‍රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයායි.

“මගේ බිරිය මගේ වැඩවලට හුඟක් උදවු කළා. ඇය නිවසේ කටයුතු තමා වෙත පවරා ගනිමින් මෙම කටයුතු කිරීම සඳහා මා නිදහස් කර තිබුණා.” යැයි කී සරත් ප්‍රේමවර්ධන කියූයේ සංවේදීවය.

“සුනාමිය එනවිට මගේ පුතා සේවය කළේ කල්මුණේ කාරතිව් රෝහලේ. අපි පුතා බලන්න එහෙ ගිහින් හිටියා. සුනාමියට අපි තුන්දෙනාවම අහු වුණා. මාත් පුතාත් දිවි බේරා ගත්තත් බිරියගේ දිවි බේරා ගැනීමට නොහැකි වුණා.”

ජීවිතයේ විවිධ හැල හැප්පීම් මැද වුවද ඔහු සුවිශේෂීවූ කැප කිරීම් කරමින් විෂයට අදාළ සරල ඉගැන්වීමේ උපකරණ සකස් කිරීමට වෙහෙසුණේය.

අද මෙරට දක්නට ලැබෙන විද්‍යා විෂයට අදාළ සුවිශේෂී කෞතුකාගාරය එහි ප්‍රතිඵලයයි.

වසර හැටක් තිස්සේ තවමත් ඉගැන්වීමේ නිරතව සිටින සරත් ප්‍රේමවර්ධනට මෙම කාලය තුළ කිසිදු අගය කිරීමක් සිදු නොවීය. දැනට කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් සිල්වා තම හැකියාවන් සහ ව්‍යාපෘතිය අගය කළ ප්‍රධාන පුද්ගලයකු වශයෙන් ඔහු සෙනෙහසින් සිහිපත් කරයි.

“මට මේ සම්මානය ගැන අදහස ආවේ මීට වසර 30 කට පමණ ඉහතදී. මා එදා මෙම තරගයට ඉදිරිපත් කළ නිර්මාණයට එම සම්මාන උලෙළේ සුළු ඇගයීමක් ලැබුණා. මෙහි ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ‘කැස්මි’ සම්මානය කවදා හෝ හිමි කරගන්නා බව මම එදා හිතා ගත්තා. මේ එහි ප්‍රතිඵලයයි.” ඒ සරත් ප්‍රේමවර්ධන සිය ඇගයීම පිළිබඳ සතුටු වූ ආකාරයයි.

 

Comments