වළ­ප­ල්ලට යන ඉදල් කර්මාන්තේ | Page 2 | සිළුමිණ

වළ­ප­ල්ලට යන ඉදල් කර්මාන්තේ

ඉදල් නිප­ද­වන අයුරු
ඉදල් නිප­ද­වන අයුරු

ගෙදරකට අත්‍යවශ්‍යම භාණ්ඩ කිහිපයක් තිබේ. ඒ අතරින් කොස්සට, ඉදලට ලැබෙන්නේ ප්‍රමුඛත්වයකි. මහා සංඝරත්නය උදෙසා ගෙදරට වඩමවා දෙනු ලබන දානමය පින්කමක දී දානය සම්පූර්ණ වීමට පිරිකර පූජා කිරීමේදී කොස්ස ඉදල ද පූජා කිරීම එදා සිට අද දක්වා පැවතෙන සිරිතකි. ඒ සෑම නිවෙසක් හා මිදුලක් පිරිසුදු කිරීමට අත්‍යවශ්‍ය වන බැවිනි.

මෙම නිෂ්පාදන දෙකම පොල් ගසෙන් ලැබෙන අතුරු ප්‍රයෝජනයක් ලෙස හඳුන්වාදිය හැකිය. පොල් ගසේ ඉවත් කළ හැකි කිසිම දෙයක් නැති බව මෙයින් මනාව පසක් වන්නේය. පොල් ලෙල්ල උපයෝගී කරගෙන කොහු ලණු නිෂ්පාදනය මෙන්ම කොසු තැනීම සිදු කෙරේ. එමෙන්ම පොල් අත්තේ ඉරටු උපයෝගී කරගෙන ඉදල් තැනීම සිදු කෙරේ.

අද වනවිට පොල් ලෙලි පල් කිරීමට ස්ථාන නොමැති කමින් කොස්ස ප්ලාස්ටික්කරණය වී තිබෙන අතර, ඉදලට එවැනි ඉරණමක් මේ වනතුරු අත් නොවීම වාසනාවකි.

වියපත් වුවත් තවමත් ඉදල් කර්මාන්තයේ නියැළෙන 83 වැනි වියේ පසුවන අහුන්ගල්ල බෝගහපිටියේ පදිංචි යකුපිටි ලින්ටින් ද සිල්වා සිය කර්මාන්තය ගැන අදහස් දැක්වූයේ මෙලෙසිනි.

නිප­දවූ ඉදල් තොග­යක්

මම දරු හතර දෙනෙකුගේ පියෙක්. මුලදි කළේ කුරුඳු තැලීම. ඉන් පස්සේ බිස්නස්වලට බැස්සා. 1967 සිට 1975 දක්වා කොසු ඉදල් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා; මහා පරිමාණයෙන් කළා. මා ළඟ දහයක් පහළොවක් විතර වැඩ කළා. පල් කරපු පොල් ලෙලි දහ පහළොස් දාහක් විතර එකවර ගන්නවා. පොල් ලෙලි තලන්න, වේළන්න කාන්තාවන් දෙදෙනෙක් හිටියා. කොස්ගොඩ පබලියෙස් අයියා, ජොසන් අප්පු අයියා, ආරොන් අයියා තමයි කරත්තවලින් පොල් ලෙලි ගේන්නේ.

කොස්ගොඩ දූවෙමෝදර ගඟේ තමයි පොල් ලෙලි වළවල් තිබුණේ. පොල් ලෙලි දාහක් රුපියල් හතරයි සත පනහයි. කොස්ගොඩ හෝටලය හැදුවට පස්සේ ගඟේ ලෙලි වළවල් ඉවත් කිරීම නිසා පොල් ලෙලි කර්මාන්තය නැත්තටම නැතිවුණා. ඒකෙන් කොසු නිෂ්පාදන සම්පූර්ණයෙන්ම නැතිවුණා. දැන් හැම තැනකම පාවිච්චි කරන්නේ ප්ලාස්ටික් කොස්ස.

දැන් අපි කරන්නේ ඉදල් නිෂ්පාදනය විතරයි. ඉස්සර අපේ නිෂ්පාදන මිලයට ගන්න වෙළෙන්දෝ ගෙදරටම එනවා. ඒ කාලයේ ඉදලක් සත පහළොවයි; කොස්සක් සත අටයි. යාපනයේ කොස්ස කියල එකක් තිබුණා. ඒක සත විසිපහක් වෙනවා.

ලණු කැරැල්ලත් සත පහයි. මිනිහකුට දවසෙ කුලිය සත පහළොවයි. අලුත්ගම, බේරුවල, මතුගම, ඇල්පිටිය ආදී ප්‍රදේශවලට කොසු ඉදල් අරගෙන ගිහින් විකුණනවා. දැන් වගේ මෝටර් බයිසිකල්, ත්‍රීවීල් තිබුණේ නැහැ. බයිසිකලේ බැඳගෙන ගිහින් විකූණන්නේ. පවුලෙ හැමදෙනාටම එක එක අසනීප ඇතිවුණු නිසා මගේ ව්‍යාපාරයත් කඩා වැටුණා.

දැන් ඇස් පෙනීමත් අඩුයි. දරුවෝ තුන් වේලටම කන්න දෙනවා. බුලත් පුවක් ගන්න බෙහෙත් ගන්න ඕන නිසා ටික ටික ඉදල් හදනවා. ඥාති මුනුබුරෙක් බඩු ගෙනැවිත් දෙනවා. සුමානෙකට රුපියල් පන්සියයක විතර වැඩ කරගන්නවා. දරුවෝ කියන්නේ ඒත් කරන්න එපා කියලයි. නමුත් නිකං ඉන්න බැරි නිසාත් දරුවන්ට බරක් නොවෙන්නත් වැඩ කරනවා. අහුන්ගල්ල බෝගහපිටියේ පදිංචි දෙදරු පියකු වන ඇම්. රූපසිරි මැන්දිස් (38) මෙසේ පැවසීය.

“මගේ තාත්තගේ රැකියාව වුණේ මේකයි. ඒ නිසා මමත් පාසල් යන කාලයේ සිටමයි මේ රක්ෂාවට යොමු වුණේ. තාත්තා රත්නසිරි මැන්දිස්. තාත්තා නැතිවෙලා දැන් අවුරුදු පහළොවක් විතර වෙනවා.

තාත්තගෙන් පස්සේ ගෙදර බර කර ගැහුවේ මමයි. පාසල් යන කාලයේ සිටම මේ රක්ෂාව තාත්තගෙන් හුරු වූ නිසා අපහසුතාවක් වුණේ නැහැ. අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ නව වැනි පන්තියට විතරයි ඉගෙන ගත්තේ. දැන් කාටවත් අතනොපා ජීවත් වෙන්න පුළුවන්. දැන් මා ළඟත් කිහිප දෙනෙක් සේවය කරනවා.

මේ වගේ මහන්සි වෙන රක්ෂාවලට යොමු වෙන අය අඩුයි. එහෙත් මේ කර්මාන්තයෙන් ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා. අමුද්‍රව්‍ය සොයා ගැනීම තමයි ප්‍රශ්නය තිබෙන්නේ. සියලුම අමුද්‍රව්‍ය ගේන්නේ වස්කඩුව පොතුපිටියෙන්. ඉදල් මිටි, ඉරටු, බෙලෙක් තහඩු, ප්ලාස්ටික් පටි, යකඩ ඇණ සියල්ලම ගේනවා. ලී මෝල් වලින් රබර් ලී මිටි ගන්නේ. ලී මිටක් රුපියල් විසිහතරක් වෙනවා. ලී මිම්මට කපල, ඇද ඇරල පඬු ඩයි දමල ගන්නවිට මිටක් රුපියල් විසිඅටක් වෙනවා. ලී මිටි සියයක් ගෙනාවොත් ලී පහක් හයක් ඉවත් කරන්න වෙනවා.

ඉරටු කිලෝවක් රුපියල් හැත්තෑවක්, අසූවක් විතර වෙනවා. ඒ මිල නිතරම වෙනස් වෙනවා. උත්සව කාලෙ ළං වෙන විට මිල ඉහළ යනවා. ඉරටු කිලෝවෙනුත් මුල් වලට, අග්ගිස් වලට ග්‍රෑම් දෙසීයක් විතර ඉවත් කරන්න වෙනවා. සමහරු නම් ඉරටු අග්ගිස්වලින් පොඩි ඉදල් හදනවා.

අපි නම් එහෙම හදන්නේ නැහැ. ඒවට වැඩි ඉල්ලුමක් නැහැ. තහඩු ෂීට් එකක් රුපියල් තුන්සියයක් වෙනවා. එයින් කපා ගන්න හැකි වන්නේ කෑලි පනස් පහයි. ඒයින් කිසිවක් අපතේ යන්නේ නැහැ.

ඉදලේ මුලට දමන ප්ලාස්ටික් පටියක් රුපියල් තුනයි. යකඩ ඇණ කිලෝවක් රුපියල් දෙසීය විස්සක් වෙනවා. ඇණ කිලෝවෙන් ඉදල් සියයක් හදන්න පුළුවන්. කුලියට දෙතුන් දෙනෙක් යොදා ගෙනයි ඉදල් හදන්නේ. ඒ වැඩ කරන අයට ඉදලකට රුපියල් දොළහක් ගෙවනවා. මේ මුදල් සියල්ලම ගිහින් එනවිට ඉදලකට රුපියල් සියයක් විතර වැයවෙනවා.

ඉදල් කොටස් දෙකකටයි හදන්නේ. ඉරටු ටිකක් වැඩි ඉදලක් කඩේකට දමන විට රුපියල් එකසිය පහළොවක් විස්සක් විතර වෙනවා. අනෙක් ඉදල එකසිය දහයක් වෙනවා.

හැබැයි කඩේ විකුණන්නේ රුපියල් එකසිය පනහට හැටටයි.

ඉදල් හැදුවත් අලෙවි කර ගැනීමේදී තමයි අමාරු වෙන්නේ.

මේ නිෂ්පාදන පිට පළාත් වලට ගිහින් විකුණන්නේ. ඉදල් අරගෙන යන විට ඩිමෝ බට්ටා ලොරියක් පිරෙන්න ලණු, බුරුසු, කොසු, කොමඩ් බුරුසු ආදියත් අරගෙන යනවා. ලෝඩ් එකක් අරගෙන ගියාම අලෙවි කරගෙන එනවිට දවස් තුන හතරක් යනවා. රාත්‍රිය ගත කරන්නේ පන්සල්වල. සුළු ලාභයයි තිබෙන්නේ. ඒකෙන් තමයි පවුලක් නඩත්තු කරන්නේ.

අපේ ආච්චිට සමෘද්ධිය තිබෙන නිසා පොඩි පොඩි ණය අරගෙනයි මේ කර්මාන්තය කරගෙන යන්නේ. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ කුඩා කර්මාන්ත කරුවන්ට අතදීම ගැන එතුමාට ස්තුතිය පුදකළ යුතුයි. ඒ ණය සහනය අපි වගේ අයටත් ලබා දෙන්න කියල ඉල්ලනවා.

තවත් ඉදල් නිෂ්පාදකයකු වන අහුන්ගල්ල ලෝකන්වත්තේ පදිංචි වික්‍රම රත්නසිරි ද සිල්වා (58) කීවේ මෙවැන්නකි.

“මම මුලදී කළේ මාළු වෙළෙඳාම. මේ රක්ෂාව කරන්න පටන් ගෙන අවුරුදු දහයක් විතර වෙනවා.

මුලදී හැදුවේ කොසු. පොල් ලෙලි සොයා ගන්න බැරි නිසා කොසු කර්මාන්තය නැත්තටම නැති වුණා. දැන් කොසු සියල්ලම ප්ලාස්ටික් ඒවා එන්නේ. පීරපු කොහුවලින් කොසු හැදුවත් ඒවට මාර්කට් එකක් නැහැ. ඉදලක් හදලා ඉවර වෙනවිට රුපියල් සියයකට වැඩි මුදලක් වැය වෙනවා. වැඩි ලාභයක් උපයන්නේ කඩේ මුදලාලිලයි.

අපට කරන්න වෙන රැකියාවක් නැහැ. මේ කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව විශාල පිරිසක් ජීවත් වෙනවා.

ඒවා වැඩිය පේන්නේ නැහැ. ඉරටු සුද්ද කරන අයට ආදායමක් තිබෙන්නේ ඉදල් හැදීම නිසයි. ලී මෝල් වලින් පිටපලු වලට වෙන් කරන ලී වලින් තමයි ඉදල් මිටි හදන්නේ. මේ කර්මාන්තයෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැ. ජනාධිපතිතුමාගෙන් අපි වගේ සුළු කර්මාන්ත කරුවන්ටත් අතහිත දෙන ලෙස ඉල්ලා සිටිනවා‘

 අනුර යසමිත්, බලපිටිය 

Comments