රා කර්මා­න්ත­යට ‘මහ­ත්වරු’ එක්වෙති | Page 2 | සිළුමිණ

රා කර්මා­න්ත­යට ‘මහ­ත්වරු’ එක්වෙති

පොල් රා කර්මාන්තයේ රා මදින මහත්වරු සඳහා මසකට රුපියල් 150,000ක වැටුපක් සහිත පැකේජයක් ශ්‍රි ලංකාව තුළදිම... මෙය ඇදහිය හැකිද? එහෙත් එය සත්‍යයකි. ජනවාරි 13 පුවත්පතක එසේ දැන්වීමක් පළවිය. පොල් රා කර්මාන්තයේ රා මදින්නන් සඳහා ගෙවන මුලික වැටුප රුපියල් 20,000කි. සේවයට වාර්තා කිරීමේ දීමනාව රුපියල් 5,000කි. රා ලීටයරයක් සඳහා දීමනාව 26.50වාර්ෂික ජිවිතාරක්ෂණය රුපියල් 5,000කි. සියලුම වැටුප්වලට අදාළව සේවක ආර්ථසාධක අරමුදල් ගෙවනු ලැබේ. මතින් සුදුවෙන් තොර අවංක අවුරුදු 21 35ත් අතර ජවසම්පන්න උද්යෝගිමත් කැපවීමෙන් ජිවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය පුහුණු නුපුහුණු පිරිසක් අවශ්‍යව ඇත. නුපුහුණු අය සඳහා පුහුණුවක් ලබා දෙනු ඇති අතර මාස 03-06 අතර අවම වැටුප් සහිත පුහුණු පාඨමාලාවකින් පසුව රැකියා සඳහා බඳවා ගනු ලබන බව පුද්ගලික සමාගමක් මඟින් එහි තවදුරටත් සඳහන් ව තිබුණි.

 

රජයේ රැකියා හා පුද්ගලික ආයතන සඳහා පුරප්පාඩු ඇතිවූ විට මෙවැනි දැන්වීම් පුවත්පත්වල පළවනු අපි ඕනෑතරම් දැක ඇත්තෙමු. එහෙත් රා මදින මහත්වරු බඳවා ගැනීම පිළිබඳ මෙවැනි දැන්වීමක් මා නම් දැක ඇත්තේ ජීවිතයේ පළමු වතාවටය. මෙකී දැන්වීම අනුව පෙනී යන්නේ ඉදිරියේ දී රා මදින මහත්වරුන්ට ද හොඳ කලදසාවක් උදා වන බවය. ඒ විතරක් නොව පොල් රා මදින මහත්වරුන්ගේ රැකියාව ඉදිරියේ දි විශේෂ ශ්‍රේණියේ රැකියාවක් බවට පත්වනු ඇත. පොල් රා මදින්නන්ට පමණක් නොව මේ සම්බන්ධ උනන්දුවක් දක්වන රැකියා විරහිත ජවසම්පන්න තරුණයන්ට ද සේවක ආර්ථසාධක අරමුදල් සහිතව රැකියාවක් ලබාගැනීමට අවස්ථාව උදාවී ඇත්තේය.

කාලයකට ඉහත පොල් රා මැදීම යනු දරිද්‍රතාවයෙන් පෙලෙන අයගේ රැකියාවකි. කොටින්ම කිවහොත් රා මදින මහත්වරු මෙම වෘත්තිය ස්වයං රැකියාවක් ලෙස කරගෙන යන අතර; එය වෘත්තීයමය තත්ත්වයට පත්ව නොතිබුණි. ඒ විතරක් නොව මෙකී රැකියාව සඳහා නිසි ඇගයීමක්ද හිමි නොවීය. කෙතරම් පුහුණු කළ ද රා මදින්නන්ගේ හිඟයක් දක්නට තිබේ. අනික් කාරණය වන්නේ තරුණයන් ගස් නැඟීමට ඇති අකමැත්තය.

සැබවින්ම රා මැදිමේ කර්මාන්තයේ නිරත වීම සඳහා හොඳ ජවයක් තිබිය යුතුය. මෙය ඉතා වෙහෙසකර රැකියාවකි. දිනකට දෙවතාවක් පොල්ගසට නැගිය යුතුය. ඒ විතරක් නොව මෙය අනාරක්ෂිත රැකියාවකි. වර්ෂය පුරාම රා මැදීමට නොහැකිය. ගස් නැගිමේ දි ශරිරයට දුඟදක් ආරෝපනය වෙයි. ගස් ගඳට කවුරුත් කැමති නැත. සැබවින්ම මෙය වංසක්කාරයින් විසින් එකී කර්මාන්තයේ නිරතවුවන්ට අපහාස කිරීම සඳහා භාවිත කරන යෙදුමකි. රා වෙළදාමේ පවතින ගැටලු ආදි නොයෙකුත් හේතු නිසා මේ වනවිට රා මැදීමේ කර්මාන්තය අභාවයට යමින් පවතින කර්මාන්තයක් බවට පත්ව ඇත්තේය. කෙසේවුවද මෙකි සමාගම මඟින් පළ කළ දැන්වීමට අනුව රා මැදීමේ කර්මාන්තය ආකර්ෂණිය කර්මාන්තයක් බවට පත් කිරීමට සැලසුම් කොට ඇති බවක් පෙනෙන්නට තිබේ. රජයේ සේවකයින්ට පුද්ගලික කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ට නොයෙකුත් වරප්‍රසාද වාර්ෂික වැටුප් වැඩිවිම ,බෝනස් ආදිය හිමි වේ.

එහෙත් මෙම දැන්වීම පළකොට ඇති සමාගම විසින් රා මැදිමේ නිරත මහත්වරු සඳහා මසකට රුපියල් 1.50000ක වැටුපක් සහිත පැකේජයක් හඳුන්වා දී ඇත්තේය. සැබවින්ම මෙය එක අතකින් විශ්මය දනවන සිද්ධියකි. ස්වයං රැකියාවක් වශයෙන් වත්තේ ඇති ගසක් දෙකක් මැද රා බෝතල් තුන හතරක් නැතිනම් පැණි බෝතලයක් අලෙවිකොට දිවගැට ගසාගන්නා අයට මෙය ගජ වාසියකි.

මෙකී පුද්ගලික සමාගම සඳහන් කරන ආකාරයට මසකට රුපියල් 1.50000ක ආදායමක් උපයාගත හැකිය. අනික් කාරණය රා මදින මහත්වරු වැඩිදෙනෙකු පොල්ගස් බද්ධට ගෙන බදු මුදලක් ගෙවා මෙම කර්මාන්තයේ නිරත වෙති. නැතිනම් පොල්මලෙන් වැහෙන තෙලිජ්ජ එක් දිනක් පොල්ගස් හිමියාට ලබා දෙන අතර අනික් දින රා මදින අයට ලබා දෙයි. ඒ විතරක් නොව මින් වැඩිදෙනෙකු රා බෝතල් හය හතක් නිෂ්පාදනය කොට තම ගනුදෙනුකරුවන්ට අලෙවි කරති. ඇතැම් අවස්ථාවලදි මහාපරිමාණයෙන් රා කර්මාන්තයේ නිරත නොවන මෙවැනි පුද්ගලයින් සුරාබදු මහත්වරුන්ට මාසිකව නඩුවක් ලබාදිය යුතුය. රා කර්මාන්තය සාර්ථක කරගැනීමට පොල්ගස් මැදිමේ තාක්ෂණය පොල්ගස මුදුනට ගෙන යා යුතුය. පුහුණුව ලබාදිය හැක්කේ පොල්ගස මුදුනේ මිස මහපොළවේ දි නොවේ. මීට වසර ගණනාවකට පෙර පොල් රා මදින්නන් පොල් පර්යේෂණ ආයතනය මඟින් පුහුණු කරණු ලැබීය. ඒ කොයිහැටි වුවද අපේ රටේ රා කර්මාන්තයට ඇත්තේ දිගු ඉතිහාසයකි. මුහුදුකරය ආශ්‍රිතව සහ පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව රා කර්මාන්තය ජයටම සිදු වේ.

මුහුදුකරය ආශ්‍රිතව පදිංචි පිරිමි පුද්ගලයින් එකල සිය කායික වෙහෙස හා පවස නිවාලන්නට රා පානය කළහ. සැබවින්ම පොල් මලෙන් වැස්සෙන තෙලිදිය සිනිවලින් පමණක් නොව පොටැසියම් වැනි ලවන වලින්ද පොහොසත්ය. මුහුද ආශ්‍රිත ලුණු ගතිය මිශ්‍ර කටුක උෂ්ණත්වය නිසා ශරිරයෙන් දහඩිය සමග පිටවන ඛණිජ ද්‍රව්‍ය මි රා හා රා වැනි පානයන් තුලින් නැවත ශරිරයට ලබා දෙයි.

ඉංග්‍රිසි යුගයේ දී අරක්කු හා රා රේන්දය නිසා රජයට නිත්‍ය ආදායමක් හිමි විය. රා රේන්දය නිසා ආදායම් ඉපයු ස්වදේශිකයින් පොල්වගාව ව්‍යාප්ත කිරිමට මුල් වූහ. එකල මුඩුබිම් පනත යටතේ රජය සතු වු ඉඩම් වගාව සඳහා වෙන් කිරිමේ දී එවා අත්පත්කරගත් ස්වදේශික ධනවතුන් පොල් වැවූහ.

එකල අපේ පැරැන්නෝ ගසකින් බාගත් රා පොල්කට්ටක් පානය කිරිමට පුරුදුව සිටියහ. ඒ විතරක් නොව ඇතමුන් දරුවන්ගේ පණුගායට රා හැන්දක් දීමට පුරුදුව සිටියහ. ඇතැම් දේශීය බෙහෙත් වර්ග සඳහාද රා අවශ්‍ය වේ. එකල ආප්ප සැදීමට නම් රා මණ්ඩි නැතිවම බැරිවිය. කෙසේ වුවද නොයෙකුත් ක්‍රියාකාරකම් නිසා වර්තමානයේ රාවල ඇති ප්‍රමිතිය පිළිබඳ ගැටලු ඇති වී තිබේ.

රා මදින මහත්වරු සඳහා මෙකී පුද්ගලික සමාගම විසින් ලබාදී ඇති මේ ගජවාසිය පිළිබඳ රා මදින්නන් තවමත් හරිහැටි දැනුවත් වී නැත. තෙල්වත්ත මල්වැන්නේ පදිංචි සංකද සිල්වා (53) දැනට වසර 15ක පොල් රා මැදීමේ කර්මාන්තයේ නිරත අයෙකි. ඔහු මේ අපිට කී කතාවය.

ඒ කාලයේ මල්වැන්න ගමේ රා මැදපු අය 15ක් විතර හිටියා. දැන් නම් මේ ගමේ රා මදින්නේ මම විතරයි. ඒ කාලයේ මමත් අපේ වත්තේ පොල්ගස් දහ පහළොවක් මැද්දා; දැන්නම් පොල්ගස් 03ක් විතර තමයි මදින්නේ. ඇගේ හයි ශක්තිය තියෙනකම් තමයි මේ කර්මාන්තය කරන්න පුළුවන්. රා ටිකක් විකුණලා තමයි දැන් කීයක් හරි හොයා ගන්නේ. පැණි බෝතලයක් හදා ගන්න තෙලිදිය බෝතල් 05ක් විතර අවශ්‍ය වෙනවා. පැණි උණුකරන්න දර අවශ්‍ය වෙනවා. මහන්සිය දිහා බැලුවිට පැණි උණුකිරිම පාඩුයි. උදේ හවසට පොල් මල කපන්න ඕන; උදේට විතරයි තෙලිදිය බාන්නේ. මුහුදු සුළං අල්ලන කාලයට තමයි වැඩියෙන් තෙල්දිය බාන්නේ.

ඇත්තෙන්ම පාරම්පාරික කර්මාන්තයක් වන රා කර්මාන්තය දැන් අභාවයට යමින් පවතින කර්මාන්තයක් බවට පත්වෙලා. රා මදින්න අලුතෙන් තරුණයන් එන්නේ නැහැ. මේ සඳහා කැමති තරුණයින්ට පුහුණුවක් දීලා හොඳ වැටුපක් දුන්නොත් තරුණයන් මේ කර්මාන්තයට යොමු වේවි; ඔහු කියයි.

කටුදම්පේ ගලබෝඩ පදිංචි එම් ඩබ්ලිව් සිරිල් (65) රා මැදිමේ පළපුරුදු කාරයෙකි. ඔහු අපි සමඟ කිවේ මෙවැනි කතාවකි.

මුලින්ම මම රා මදින්න පටන්ගත්තේ මැතිණියගේ ආණ්ඩුකාලයේදි. ඒ කාලයේ සීනි හිඟයක් තිබුණා. මේ නිසා පොල්ගස් මදින්න බලපත්‍රයක් දුන්නා. ගම්මුලාදෑණි මහත්තයා ඇවිත් තමයි බලපත්‍රය දුන්නේ. එක් ගසකට අය කළේ රුපියල් 5ක මුදලක්. ඒ කාලයේ මම ගස් දහ පහළොවක් මැද්දා; පැණි හදලා විකුණුවා. ඒ කාලයේ පැණි බෝතලක් රුපියල් 06ට තමයි විකුණුවේ. ඒ කාලයේ හැමගෙදරකම පාහේ පොල් ගසක දෙකක් මැද්දා. දැනුත් මම පොල්ගස් දෙකක් මදිනවා.

රා මැදිම එතරම් පහසු කාරියක් නොවයි. ඒ ශාස්ත්‍රය හරියට ඉගෙන ගන්න ඕන. අත්ගුණයත් තියෙන්න ඕන. පොල් ගසේ දෙවැනි මල තමයි මදින්නේ. දින 03ක් තලන්න ඕන. දියතෙල් වැහෙන්න දින 14ක් විතරක් යනවා. ගස්වල හැටියට තමයි තෙල්දිය වැහෙන්නේ. දැන් නම් ඉතින් රා ටිකක් පෙරාගෙන. පැණි ටිකකුත් විකුණා ගන්නවා.

තරුණ පිරිස් දැන් මේ කර්මාන්තයට යොමුවන්නේ නැහැ. නමුත් ඔය සමාගම කියන විදියට හොඳ වැටුපක් දිලා බඳවා ගතහොත් ගම්වල ඉන්න තරුණයන් මේ කර්මාන්තයට යොමු වේවි. 2015 වර්ෂය වෙනකම් සිරිකදුරවත්තේ රා මැද්දා.

ශ්‍රමිකයින් විශාල පිරිසක් හිටියා; ස්කාගාර සංස්ථාවට තමයි රා දුන්නේ. ඉන්දියාවෙන් දෙදෙනෙක් ඇවිත් රා මැද්දා යැයි සිරිල් කිවේය. ගලබොඩවත්ත කටුදම්පේ පදිංචි පි එච් අනුර නිශාන්ත (44) මෙසේ කිවේය.

දැනට වසර 02ක සිට පොල් රා මදිනවා. මලෙන් වැසෙන්නේ රා පොඩි ප්‍රමාණයක්. ඒවා විනාකිරිවලට දෙනවා. සමහරු පෙරේත තටුවලට ගෙනියන්නත් රා හොයාගෙන එනවා, අනුර නිශාන්ත කිවේය.

 ලලිත් චාමින්ද, ගාල්ල

Comments