රටක් වසඟ කළ, 'සිරසෙන්' බිහි වූ දියණිය | Page 2 | සිළුමිණ

රටක් වසඟ කළ, 'සිරසෙන්' බිහි වූ දියණිය

ය සුන්දරය. චතුර ලෙස සිංහල භාෂාව කතා කරයි. සිනහව මන බන්ධනීයය. විරිතට අනුව අපූරුවට ගායනා කරයි. සාහිත්‍යය, ඉතිහාසය, භූගෝලය, සියල්ල දනී. අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයන්නේ තමන්ට ආවේණික අපූරු ලාලිත්‍යයකිනි.

විස්මය, බිය, සතුට සියල්ල ඇය තම මුහුණෙන් ප්‍රකට කරයි. ඉලක්කය ජයගත්විට ඇය ම සතුටින් ඉපිල ගොස් අත්පුඩි තලයි. විටෙක උන්හිටි තැන් අමතකව කෙළිලොල් යොවුන් වියේ චමත්කාරය මවා පෙන්වයි.

මේ ෂුක්රා ය.

ෂුක්රා මුනව්වර් ය.

ගාල්ලේ වෙරළබඩ කටුගොඩ ගම්මානයේ දුප්පත් පවුලක ඉපිද ඉතා අසීරුවෙන්, අභියෝගතා මැද, බෞද්ධ පාඨශාලාවක අධ්‍යාපනය ලැබූ ඇය එක් රැයකින් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම තම වසඟයට ගත් අපූරු යුවතියකි.

තවමත් පාසල් වියේ පසුවන ෂුක්රා ජාතිවාදයෙන්, ආගමික උන්මාදයෙන්, වියරු වැටී එකිනෙකාට චෝදනා කරගනිමින්, අඳුරු ආගාධයකට ගමන් කරමින් සිටි මෙරට ජන සමාජයට බලාපෙ‍ෙ‍රාත්තුවේ සලකුණක් වූවාය.

ෂුක්රා ශ්‍රී ලාංකීය ජන සමාජයේ සැබෑ ජන ලකුණ බව අපි නොබියව කියන්නෙමු.

ඒ ඇය සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් මිලියන දෙකක් වූ ජයමල්ල තම දෝතින් දිනාගත් නිසා නොවේ. ඇය මෙරට ජන සමාජයේ අනාගතය බාරගන්නා තරුණ පරපුර නියෝජනය කරන සැබෑ යුවතියක් වූ බැවිනි.

මුස්ලිම් පවුලක ඉස්ලාම් ආගම අදහන දෙමහල්ලන්ට දාව උපදින ෂුක්රා නිදහස් අදහස් ඇත්තියක වී සියලු ආගමික මතවාද පසෙක දමමින් ශ්‍රී ලංකාව යනු බහු ජාතික බහු ආගමික අපූරු සංහිඳියාවක් සහිත සම්මිශ්‍රිත ජන සමාජයක් බව සමස්ත රටවැසියන්ටම කියා සිටියේ ඒ පිළිබඳ වචනයකදු කතා නොකරමින් ඇගේ දක්ෂතාව ප්‍රදර්ශනය කරමිනි. දැන් ඇය සමස්ත ශ්‍රී ලාංකිකයන්ට අපේම දැරියක්, අපේම සොයුරියක් වී සිටියි.

ෂුක්රා දියණිවරු තිදෙනකුගෙන් යුතු පවුලේ බාලයාය. අඩු ආදායම්ලාභී පවුලක් වුව ද ෂුක්රාගේ තාත්තා ගමේ උගතෙකි. ගමේ ඕනෑම කෙනෙකුට යම් ලේඛනයක් සකසා ගැනීමට අවශ්‍ය නම් යන්නේ ෂුක්රාගේ පියා හමුවීමටය. යමක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ගැනීමට අවශ්‍ය නම් හමුවන්නේ ෂුක්රාගේ පියායි. එහෙත් ඔහු පොහොසතකු නොවූයෙන් ෂුක්රාගේ මවට සිය දියණියන් තිදෙනා නිවසේ තබා විදේශගත වීමට සිදුවූවා ය. එහි ප්‍රතිඵලය වූයේ ෂුක්රා ඇතිදැඩි කර ගැනීම සඳහා ඇගේ වැඩිමහල් සොහොයුරිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු නිවසේ නතර වීමයි.

මේ දියණිවරුන්ගේ අධ්‍යාපනය තම ජීවිතයේ වැදගත්ම අවශ්‍යතාව බව වටහාගෙන සිටි ඒ මවත් පියාත් ඔවුන් ඇතුළු කළේ ගමේ බෞද්ධ පාඨශාලාව වූ මාගාල්ලේ සුධර්මා විද්‍යාලයටය. සිංහල කතාකරන, බුද්ධ ධර්මය අදහන ගැහැනු පිරිමි දරුවන් සමඟ හරි හරියට අධ්‍යාපනය ලබන්නට මේ දෙමහල්ලෝ දරුවන්ට අවස්ථාව ලබා දුන්හ.

එහිි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලාංකීය සමාජයේ සැබෑ පැතිකඩ විදහා දක්වන අපූරු මුස්ලිම් ජාතික තරුණියක් බෞද්ධ පාඨාශාලාවකින් ඉගෙන ගෙන සමාජයට පැමිණ රටත්, සමාජයත් පිළිබඳ අපූරු විවරණ සැපයීමයි.

ෂුක්රා, පොත් පිටු ගණන් ලීවේ නැත. පැය ගණන් කතා කළේ නැත. ඇය කතා කළ විනාඩි කිහිපයෙන් ඇය සමස්ත සමාජයට ම මහා දාර්ශනික කතාවක් කීවාය. දැන් එය සමාජගත වී තිබේ. මේ ඇය කියූ වදන් ය.“මම මුස්ලිම් ගෑනු ළමයෙක් වුණාට හැම දෙයක්ම කරන්න කැමතියි. මට අම්මා තාත්තා නිදහස දීල තියෙනවා. නමුත් ඒක වැරදියට පාවිච්චි කරන්න හොඳ නැහැ. එයාලා නිදහස දෙන්නේ අපි කවදා හරි හොඳ තැනකට එනවාට කැමැත්තෙන්.

තමන් කැමති තැනට ඇවිත් තියෙනවා කියලා හිතෙනකම්ම උත්සාහය අතහරින්න හොඳ නැහැ. ජීවිතයේ බාධක එනවා තමයි. ඒක බරපතළ විදියට ගන්න ඕන නැහැ; බාධක එන්න එන්න තමයි අපි ශක්තිමත් වෙන්නේ. දැන් ඔන්ලයින් අරගලයක් වෙලා තියෙනවා. ගොඩක් දුප්පත් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔන්ලයින් ඉගෙන ගන්න හරියට ඩිවයිස් එකක් නැහැ.

දුප්පත්කම තමයි ඒකට හේතුව. ඩේටාවලට ගෙවන්නවත් අම්ලාට සල්ලි නෑ. මගේ ගමෙත් ඉන්න පුළුවන් හොඳට ඉගෙන ගත්තොත් නාසා එකට වුණත් යන්න පුළුවන් ළමයි. මේ හැම කෙනෙකුටම ඔන්ලයින් අරගලයක් වෙලා. මමත් අාවේ අම්මලාට බරක් නොවී ලැප්ටොප් එක්ක ගන්න. මේ තරඟය දිනුවොත් මට ලැප්ටොප් එකක් ගන්න පුළුවන්.”

මෙසේ කියා තරඟය ඇරඹූ ෂුක්රාට ලැබුණු පළමු ප්‍රශ්නය වූයේ ටීකා සීපදයකි. කිසිදු චකිතයකින් තොරව නිවැරදි පිළිතුර දුන් ඇය ඒ ටීකා සීපදය තාලයට කීවේ රටම වසඟ කරමිනි. “වාරේ වාරේ කියනවා විනා කොස් වාරේ ද අඹ වාරේ ද දෙල් වාරේ ද කෙහෙන් ආ වාරයක් ද දන්නෙ නෑ” කියූ ඇය තමන්ගේ වාරය ලබා ගැනීම ඇරඹුවාය.

තවමත් 17 හැවිරිදි වියේ පසුවන මේ පාසල් ශිෂ්‍යාව තමන් ලැබූ අධ්‍යාපනය ලොවට හඬගා කියමින් බුදුගුණ කවි අපූරුව ගායනා කළාය. සිංහල නාට්‍ය කාව්‍ය ඇය අපූරුවට කීවේ විටෙක හැඟීම්බර වෙමිනි. තමන් සිංහ සීවලී වූවා නම් තම පියා දමා නොයන බව ඇය කියන විට එය බලා සිටි බොහෝ දෙනකුගේ දෑසට කඳුළක් එක්වන්නට ඇත.

ඇයට ආගම හෝ ජාතිය ප්‍රශ්නයක් නැත. සිංහල ඉතිහාසයත්, ජන කතාත් ඇය දනී. ඇය දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් දැරියක වූවාට තම ශ්‍රී ලාංකික බව කියා පෑවේ ඒ අයුරිනි.

“මටත් බාධක ආවා. අනිත් අය මොනවා කිව්වත් විවේචනය කළත් හිත රිද්දුවත් විහිළු කළත් තමන්ගේ ගමන යන්න පිරිමියකුට වඩා මානසික ශක්තියක් තියෙන්නේ කාන්තාවකට. තාත්තා දුප්පත් කෙනෙක් වුණා නම් තාත්තාට බ්‍රැන්ඩඩ් ඇඳුමක් අරන් දෙන්න බැරි නම් හුඟක් දරුවෝ හිතන්නේ සිංහබාහු වගේ. මට අවුරුදු 13 දී තාත්තා ලෙඩ වුණේ. ඒත් මගේ තාත්තා තමයි මට දැනුම දුන්නේ. මගේ විරයා අම්මා; මගේ හැමදේම අම්මා තමයි. අම්මාට මම ආදරෙයි. ඒත් ඇය ගොඩක් සැරයි. වැරැද්දක් කළොත් සමාවක් නැහැ”

ඇයට අරමුණක් තිබේ. වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය හදාරා සුප්‍රසිද්ධ ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනිය වීම ඇගේ අපේක්ෂාවයි. “මේ සමාජයේ කට්ටියක් හිතාගෙන ඉන්නේ කාන්තාවක් කිව්වොත් දුර්වලයි කියලා. මම නම් හිතන්නේ පිරිමියකුට වඩා උසස් කායික මෙන්ම මානසික ශක්තියක් තියෙන්නේ කාන්තාවකට” ඇය කියන්නීය.

මේ කතාව අප ඇගේ විදුහලට ගිය විට ඇගේ ගුරුවර ගුරුවරියෝ ද සනාථ කළහ. ඔවුන් පවසන්නේ මුස්ලිම් දැරියක වුව ද ෂුක්රා විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය කරමින් රන්ටැඹේ ශිෂ්‍ය භට කඳවුරට ද සහභාගී වූ බවයි. මුස්ලිම් දැරියක් එවැනි පුහුණුවකට යාම සමස්ත දරු පරපුරටම ආදර්ශයක් බව ඔවුහු කියති.

මාගාල්ල සුධර්මා විද්‍යාලයේ විදුහල්පති සරත් ලියනගමගේ මෙසේ කීවේය.

“ෂුක්රා වගේ දරුවන් තමයි මේ ලෝකයට අවශ්‍ය වෙන්නේ. ඇය මේ රටේ තියෙන සියලුම ජාති ආගම් බේද වලට හොඳ පිළිතුරක් දුන්නා.

එක ජාතියක් එක රටක් හැටියට අපි සිතිය යුතු බව ඇය සමස්ත රටටම කිව්වා. ඇත්තටම ෂුක්රා දියණිය ගැන අපිට හරිම ආඩම්බරයක් තියෙනවා. ඇය පාසලට සම්පතක්. මම එහෙම කියන්නේ මේ තරඟයෙන් ජයගත් නිසා නෙවෙයි. ඇය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම එක වගේ නිවේදන කටයුතු කරනවා. දැල් පන්දු ක්‍රීඩිකාවක් ලෙස කටයුතු කරනවා. මේ දරුවා සියලු පාසල් දරුවන්ට ආදර්ශයක්. පෙළ පොත්වලට පමණක් සීමා නොවී අතට අසුවන සෑම පොතක්ම ඇය කියවනවා. පාසලේ පුස්තකාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න දියණියක්.

පන්තියේ වැඩ කරන අතරතුරත් වෙනත් පොත් කියවනවා කියා ගුරුවරු කියනවා. ෂුක්රාට ඉතාමත් පුළුල්ව පැතිරුණු විශාල දැනුමක් තිබෙනවා. හැමෝම එක්ක ඉතාමත් සහයෝගයෙන් ඉන්න ඇය අපේ පාසලේ ශිෂ්‍ය නායිකාවක්. මේ වැඩසටහනට සහභාගීවීම සඳහා ඇය පුද්ගලිකව ඉල්ලුම් කළත් පාසලෙන් අවසර ලබාගෙන තමයි සහභාගී වුණේ. අපි සිරස ආයතනයටත් ස්තූතිවන්ත වෙනවා ඇගේ දක්ෂතාව සුවිශේෂීත්වය රට හමුවට ගෙන ආවාට. මේ දරුවා ආදර්ශයට ගන්න කියා අපි සමස්ත සිසු පරපුරෙන්ම ඉල්ලා සිටිනවා.”

ෂුක්රා දියණියගේ වසර හතරක් ම සිංහල ගුරුවරිය වූ සකුන්තලා සමරනායක මහත්මිය මෙසේ කීවාය. ෂුක්රා දියණියට අවුරුදු 4ක් ම සිංහල ඉගැන්නුවේ මම. මේ දරුවා පන්තියේ සුවිශේෂීයි.

හැමදාම සිංහල පාඩමට වාඩිවෙන්නේ ඉස්සරහ පේළියේ. භාෂාවේ එයා ආසම කොටස සාහිත්‍යය රසවින්දනය. මුස්ලිම් දියණියක් නිසාදෝ ඇයට ව්‍යාකරණ වැරදීම් වෙනවා. නමුත් හරිම ලස්සනට සිංහල සාහිත්‍යය පාඩම් ලියනවා. ව්‍යාකරණ වරදින නිසා රචනා ලියන්න වැඩි කැමැත්තක් නොදැක්වුවත් ෂුක්රා සිංහල සාහිත්‍යයට, රසවින්දනයට හරිම කැමතියි.

ඒ වගේම පොත්පත් කියවන්න ගොඩක් උනන්දුයි. එයාට හරිම අපූරු අදහස් තියෙනවා. පන්තියේදි ඒවා මා සමඟ සාකච්ඡා කරනවා. එය අනිත් ළමයින්ටත් ලොකු පහසුවක්.

සාහිත්‍යය ගැන කතාකරද්දී එයාගේ මුහුණෙන් පේනවා කොතරම් උනන්දුවක් තියෙනවා ද කියා. ෂුක්රා අකුරු වැරැද්දුවාම අනේ මිස් සමාවෙන්න,

සොරි සොරි ආයිත් වරද්දන්නේ නැහැ කියලා එයාගේ වැරැද්ද හදාගන්න උනන්දු වෙනවා. පන්තිකාමරයේ දී වගේම විද්‍යාලයේ දී පවා ඉතාමත් තැන්පත් ළමයෙක්. ඒ දරුවා තමන්ගේ අරමුණ කරා ගියපු එක ගැන ඉතාමත් සතුටුයි.

තරඟයෙන් දිනලා අපේ ගෙදරට ආවා. ඇවිත් ගිරවි වගේ ඔක්කෝම විස්තර කිව්වා. එයා උත්තර දීපු හැටි, ඒ උත්තර හොයන්න හිතපු විදිය හැමදේම කිව්වා.

ඇත්තටම හරිම සතුටුයි. මේ දරුවාට උගන්වන්න ලැබීමත් සතුටක්. මගෙන් තව පොත් ඉල්ලගෙන ගියා, වාණිජ අංශයෙන් උසස් පෙළ කළත් සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න ඕනෑ කියලා. මගේ ජීවිත කාලෙදි අහපු හොඳම කතාව මම ඇහුවේ ෂුක්රාගේ මුවෙන්,

එදා ලක්ෂපති වැඩසටහනේ දී ෂුක්රා කිව්වා ලෝක අභිමානය අපි ළඟ තියෙන්න ඕනෑ කියලා.

ජාති ආගම් කුල බේද සියල්ල ඒ එක වචනයෙන් ඇය කැඩුවා. ඒක තනිකරම එයාගේ සිතිවිල්ලක්. ඇත්තමට ෂුක්රා ගැන මට හරිම ආඩම්බරයි.”

ෂුක්රා සිරස ලක්ෂපති වැඩසටහනේ දී පැවසූ වදනක් ඇගේ විද්‍යාලයේ ගුරුවරු අප සමඟ සිහිපත් කළහ.

ඔවුන් පවසන්නේ එය සැබැවින්ම ෂුක්රා පොත්පත් පරිශීලනයෙන් සහ ජාතික ආගමික වශයෙන් සම්මිශ්‍රිත වූ සමාජයකින් ලැබූ අපූරු අත්දැකීම් හේතුවෙන් ඇය දැක්වූ අදහසක් බවයි.

“අපිට ඕනේ දේශාභිමානය නෙවෙයි. අපි හිතන්න ඕනේ ලෝක අභිමාන. අපි දේශාභිමානය ගැන කතා කරනවා. නමුත් පරිසරය විනාශ වුණාම අපිට අපේ පෘථිවිය නැතිවෙනවා කියා හිතන්නේ නැහැ.” සැබැවින්ම ෂුක්රා කියූ සෑම වචනයකටම අපූරු අර්ථයක් තිබේ.

ඇය කතා කළාය. ඇය විවෘතව අදහස් දැක්වූවාය. ඇය මෙරට සමාජයේ සැබෑ සලකුණ රට හමුවේ තැබුවාය.

Comments