ගම සමඟ පිළි­ස­ඳ­රෙන් වැඩ සමග යළි ගමට | සිළුමිණ

ගම සමඟ පිළි­ස­ඳ­රෙන් වැඩ සමග යළි ගමට

ටක් සංවර්ධනයෙන් දියුණු වීමට නම් ඒ රටේ නායකයනට විශ්වාසයෙන් යුතුව අතහිත දෙන නිර්මාණශීලී බුද්ධිමත් සංවිධායකයකු අත්‍යවශ්‍ය වේ. ඒ සංවිධායකයාට හොඳ බුද්ධියක් සංවිධානාත්මක හැකියාවක් හා ජනතාවාදී හදවතක් ද තිබිය යුතුය.

ඒ අනුව සිර ගෙදර ගත කරද්දි අලුත් පක්ෂයකට අඩිතාලම දමා වසර 2 - 3 ක් ඇතුළත ඒ පක්ෂය මඟින් රටේ බලය ඇල්ලූ ඒ සුවිශේෂ නිර්මාණශීලී සංවිධායකවරයා දැන් අපේ රටේ ගම් 14013 ගමේ ජනතා අදහස් අනුවම දියුණු කිරීමට රුපියල් කෝටි 65000 ක් වැය කරන්න සූදානමින් සිටී.

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ හා අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ආශිර්වාදය හා උපදෙස් අනුව අපේ රටේ ගම් සමඟ පෙරට යන්නට වෙහෙස දරන මේ සුවිශේෂී පුද්ගලයා වනාහි වත්මන් ජනාධිපති කාර්ය සාධක බළකා සභාපති බැසිල් රාජපක්ෂයන්ය. ඔහු ගම හදන්නට හා අපේ රට හදන්නට වෙහෙසුණේ 2005 වසරේ සිටය.

අතීතයේ 2007 දි ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස උතුරු නැගෙනහිර මහ යුද්ධයක් කෙරෙන කාල‍ෙය්දී බැසිල් රාජපක්ෂයන් මුලින්ම අත ගැසුවේ ත්‍රස්තවාදින් අපේ රටින් කඩා ගන්නට හදන උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්නටය.

ඒ අනුව මුලින්ම මහින්ද චින්තනය යටතේ බැසිල් රාජපක්ෂයන් 2007 දී නැගෙනහිර නවෝදයේ වැඩසටහන ආරම්භ කළේය. ඒ යටතේ ත්‍රිකුණාමලයේ සිට මඩකලපුවට තිබූ සියලු පාලම් පාරු වෙනුවට නව පාලම් රැසක් ඉදි‍ කළේය. කින්නියා පාලම, ඉරක්කණ්ඩි පාලම, අරුගම්බේ පාලම් ඒ අතර ප්‍රමුඛත්වය ගනී. නැගෙනහිර සියලු මාර්ග කාපට් කළ අතර පාසල් විදුලිය බෙදාහැරීම වැනි යුද්ධයෙන් විනාශ වූ සියලු යටිතල පහසුකම් යළි ජනතාවට ලබා දෙන්නට නැගෙනහිර නවෝදය යටතේ බැසිල් රාජපක්ෂයන් පෙරමුණ ගත්තේය. එකල ජනපති වූ මහින්ද රාජපක්ෂයන් හා බැසිල් රාජපක්ෂයන් නොසිටින්නට ඒ නැගෙනහිර මුස්ලිම් දෙමළ සිංහල ජනතාව තාමත් ගමන් කරන්නේ පාලම් පාරු 12 ක් මඟිනි.

ඊට පසු බැසිල් රාජපක්ෂ උතුරු වසන්තය ආරම්භ කළේ උතුරේ යුද්ධයක් තිබියදීය. මුලින්ම යුද්ධයෙන් අවතැන්වූ ලක්ෂ හතර හමාරක පමණ ජනතාව සිය නිජ බිම්වලට යළි පදිංචි කිරීමට කටයුතු කළේය. මන්නාරම මුසලි ප්‍රදේශයෙන් හා සිලාවතුරෙන් ඒ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අපට ද එක්වීමට ලැබීම වාසනාවකි. මේ නැවත පදිංචිකිරීම් අවසන් කළේ මුලතිව් ප්‍රදේශයෙනි. එසේ පදිංචි වූ පවුල්වලට මාස 6 ක් සඳහා වියළි ආහාර ජීවනෝපාය කිරීමට උපකරණ කට්ටල, නව නිවසක් සෑදීමට උපකරණ හා සින්නක්කර ඉඩම් රජයෙන් ලැබීය. ඒ අනුව මේ නැවත පදිංචිකිරීමේ වැඩ සටහනට රුපියල් කෝටි 31731 ක් වැය විය. ඒ අනුව පදිංචි කළ පුද්ගලයන් ගණන 469500 කි. ඊට අමතරව උතුරු වසන්තය යටතේ කිලෝ මීටර් 252 ක් දුර ප්‍රමාණයක දුම්රිය මාර්ගය නැවත සකස් කරන ලදි. මේ සඳහා රුපියල් මිලියන 23505 ක් වැය කර තිබේ.

ඒ සමඟම උතුරු පළාතේ ඒ හා බී ශ්‍රේණියේ මාර්ග කිලෝ මීටර් 1865 ක් ද කුඩා, මධ්‍යම හා මහා පාලම් 32 ක් ඉදිකරන ලදි. එයට වියදම් කළ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 61750 කි. ඒ අතර වැඩිම වියදමක් සහිත ආයෝජනය වුණේ ඒ - 11 මාර්ගයේ ඉදිකරන ලද මන්නාරම පාලමයි. ඒ සඳහා වියදම රුපියල් මිලියන 2460 ක් විය. මේ නැවත පදිංචි කිරීම් ද සමඟම ත්‍රස්තවාදීන් 11669 ක් පුනරුත්ථාපනය කිරීමට ද අවස්ථාව ලැබිණ.

ඊට පසු බැසිල් රාජපක්ෂයන් අත ගැසුවේ දිවි නැගුම වැඩසටහනටය. ඒ අනුව 2011 ඇරමුණු දිවිනැගුම වැඩසටහන ඉසුරුමත් නිවහනක් අසිරිමත් මවුබිමක් යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරිණ.

මෙහි මුල්ම අරමුණ වූයේ පවුලේ ආර්ථිකය හා පෝෂණය වැඩි දියුණු කරන ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයක් දියුණු කිරීමයි. රටේ ග්‍රාම නිලධාරී වසම් 14019 ක් මේ යටතේ ආවරණය වූ අතර අවසානයේ මේ මගින් පවුල් ලක්ෂ 30 කට පමණ සෙත සැලසිණි.

කෘෂිකාර්මික, කර්මාන්ත, ධීවර යන ක්ෂේත්‍ර ඔස්සේ දුප්පත් පවුල් නගා සිටුවීමට මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීය. මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වූ මේ වැඩපිළිවෙළ රටේ දුප්පත් පවුල්වලට ස්වයං රැකියාවක් කිරීමට රටේ කෘෂිකර්මය දියුණු කිරීමට මහ මෙහෙයක් කළ බව ඉතා පැහැදිලි විය.

ඊට පසු ගම නැගුම යටතේ එක ගමකට එක වැවක් වැඩසටහන ක්‍රියාත්මක විය. ඒ අනුව 2012 - 13 වකවානුවේදි රුපියල් ලක්ෂ 20 ක වියදමින් සෑම ගමකට එක් සංවර්ධන කටයුත්තක් සිදුවිය.

ඊට අමතරව ජාතික සවිය ගම නැගුම යටතේ ද බැසිල් රාජපක්ෂයන් මේ රටේ ගම් නියම් ගම් නගර සංවර්ධනයට අැපකැපවී සංවිධානාත්මක ලෙස කටයුතු කළේ එවකට ජනපති වූ මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් හා ආශිර්වාදය යටතේය.

2015 දි අපේ රටේ ක්‍රියාත්මක වුණු යහපාලන ආණ්ඩුවෙන් ගමේ සංවර්ධනයට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. එහෙත් එකල ඒකාබද්ධ විපක්ෂය වූ පොදු ජන පෙරමුණ ගමේ ප්‍රශ්න පිළිබඳව දිගටම අවධානය යොමු කළේය.

විශේෂයෙන් 2017 - 19 වකවානුවේදි පොදු ජන පෙරමුණ සිය මැතිවරණ ව්‍යාපාරයේදි ගමක් ගමක් ගානේ ගොස් ගම සමඟ පිළිසඳර වැඩසටහන මඟින් ගමේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේය. ඒ සමඟම ඒ ගැටලු විසඳීමට ගමේ අය දෙන විසඳුම් ද ලිඛිත හා වාචික ලෙස ලබා ගන්නට අමතක නොකළේය.

2019 දි ජනාධිපති ධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ‘සෞභාග්‍යයේ දැක්ම’ රට නඟන වැඩපිළිවෙළේත් වත්මන් රජයේ 2021 අයවැය වාර්තාවේත් මූලික පදනම වූයේ මේ ගම් සමඟ පිළිසඳරක් මඟින් හඳුනාගත් ගැටලු හා ඒ සඳහා ගමේ ජනත‍ාව ලබාදුන් විසඳුම්ය.

එදා උතුරු වසන්තයෙන් හා දිවි නැගුමෙන් ලැබුණු අත්දැකිම් මත අද ගම හදන වැඩ පිළිවෙළ මෙහෙයවන ආර්ථික පුනර්ජීවනය පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂයන් අලුත් වැඩ පිළිවෙළ ගැන දක්වන අදහස් වලට අපි සවන් දෙමු.

“මෙවර අප ඉදිරිපත් කරන්නේ අපේ රටේ 71 වැනි අයවැයයි. මේ අය වැය ජාත්‍යන්තර මුල්‍ය අර්බුදයේ හො වෙනත් විවිධ සංවිධානවල අදහස් අනුව සකස් වුවක් නොවේ. මේ අයවැය ගමේ අයගේ අදහස් අනුව ඔවුන්ගේ ගැටලු විසඳුමට ඔවුන්ම ඉදිරිපත් කළ යෝජනා අනුව සැකසුණු අයවැයක්. ගමේ අයගේ අදහස් අනුව සැකසුණු මෙවැනි අයවැයක් රටේ ප්‍රගතිය වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ මුල්වරට. මේ අයවැය මඟින් ‘ගම සමඟ පිළිසඳර” වැඩසටහන ඉදිරියට ගෙන යාමට “වැඩ සමඟ යළි ගමට” සංවර්ධන වැඩසටහන ද අපි ආරම්භ කරනවා. ඒ සඳහා සියලු නිලධාරින්ගේ හා සංවිධානවල පූර්ණ සහාය අපි අපේක්ෂා කරනවා. බැසිල් රාජපක්ෂයන් පැවසුවේ ‘වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන සමාරම්භයක් දෙමිනි.

ප්‍රවීණ දේශපාලන, ආර්ථික හා සමාජික ගවේෂකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් පෙන්වා දෙන පරිදි බැසිල් රාජපක්ෂයන් මෙහෙයවන මේ වැඩපිළිවෙළේ අරමුණු කිහිපයකි. පළමු අරමුණ වන්නේ ගමේ සංවර්ධනයට අවශ්‍යතා හා ප්‍රමුඛතා ගමේ අදහස් අනුව ගමේ ජනතාවගේ අදහස් මඟින්ම සොයා ගැනීමයි.

දෙවැනි අරමුණ වන්නේ 2021 වසරේ අයවැය ලේඛනයේ ඇති සංවර්ධන යෝජනා රට තුළ ශක්තිමත් ආකාරයෙන් සමබර ලෙස පැතිරියාමක් නිර්මාණය කිරීමයි. මීට පෙර කාලවල ඒ ඒ අමාත්‍යාංශවලට පත්වෙන ඇමැතිවරුන් විසින් සිදුකළේ තමන්ට අවශ්‍ය තමන්ට වාසිදායක ප්‍රදේශවල පමණක් සංවර්ධන කටයුතු අයවැය සල්ලි මගින් ක්‍රියාවට නැංවීමයි.

නමුත් මෙවර අයවැය මුදල් නිශ්චිත ආකෘතියක් මගින් බෙදා විශේෂයෙන් ගමේ ගැටලු විසඳීමට කටයුතු කිරීම මේ වැඩසටහනේ තවත් අරමුණක් බව පැහැදිලිය. ඊට අමතරව මේ වැඩසටහනේ තවත් අපේක්ෂාවක් ලෙස ගමේ ජන ජීවිතය දියුණු කිරීමට පුළුල් ඒකාබද්ධ සංකල්පයක් අනුව කටයුතු කිරීම පෙන්වා දිය හැකිය.

“ග්‍රාම සංවර්ධනයේ වසන්ත සමය” යන තේමාව යටතේ ක්‍රියාත්මක කරන ‘වැඩ සමඟ යළි ගමට’ වැඩපිළිවෙළ යටතේ මෙවර අයවැයෙන් ගමට වැඩ කිරීමට රුපියල් කෝටි 65000 ක් පමණ වෙන්කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ රජයේ ආයෝජන වෙනුවෙන් 2021 අයවැය මඟින් රුපියල් කෝටි 100000 (බිලියන 1000 ක්) වෙන්කර ඇති බවත් ඉන් සියයට 65 – 70 අතර ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ර‍ෙට් ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනයට බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එම්.ආර්. ආටිගල මහතා පවසයි.

ගම සමඟ පිළිසඳර වැඩසටහනින් පැමිණි ගමේ ජනතාවගේම යෝජනා, අයවැය ප්‍රතිපත්ති ලෙසින් සකස් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කරන විට ඒ ප්‍රතිපත්තිවල ක්‍රියාකාරකම් නව අමාත්‍යාංශවලට ලබාදී ඇත. ඒ අනුව ඒ ගමේ අය ඉදිරිපත් කළ ප්‍රමුඛ අවශ්‍යතා ක්‍රියාවට නංවන ලියවිල්ලක් ලෙස 2021 අයවැය හැඳින්විය හැකිය.

‍අපේ රටේ ග්‍රාම සංවර්ධනය අපේ රටේ ආර්ථික කෘෂිකාර්මික හා සාමජික දියුණුවේ ප්‍රමුඛතම සාධකය වෙයි. අපේ රටේ බල විභේධනය කරගත් ප්‍රධානම අංගයක් වන්නේ ද ග්‍රාමීය සංවර්ධනයයි. ඒ නිසා ජනපතිගේ හා අගමැතිගේ උපදෙස් මත බැසිල් රාජපක්ෂයන් ප්‍රමුඛ ජනාධිපති කාර්ය සාධක බළකාය ගම් කේන්ද්‍ර කරගෙන රටේ සංවර්ධනය මෙහෙයවීම ඉතාමත් කාලෝචිත කටයුත්තකි.

ඒ සමඟම ගෝලීය වෙළෙඳ පොළ ජය ගැනීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැඟීමටත් බැසිල් රාජපක්ෂයන් තවත් පියවරක් ගෙන ඇත්තේ රට ඉදිරියට ගෙනයාම ඉක්මන් කිරීමටය. කෝවිඩ් 19 තත්ත්වය යටතේ වුවද සෞඛය ආරක්ෂිත ලෙස මේ ‘වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන ගම්වල සිටින ලක්ෂ 190 ක් පමණ ග්‍රාමීය ජනතාව වත්මන් රජයට සිය කෘතඥතාව පළකරති. ඒ අනුව බැසිල් රාජපක්ෂයන් කියන පරිදිම ගම හදන අලුත් වැඩසටහන සාර්ථක වුවහොත් 2021 වසර මෙරට ඉතිහාසයේ සුවිශේෂම වර්ෂයක් ලෙස ලක් ඉතිහාසයට එක්වනු ඇත. වසර 71 ක අයවැය ඉතිහාසයේ ජනතාවගේ අදහස් අනුව ඉදිරිපත් කළ ප්‍රථම හා එකම අයවැය යෝජනා අනුව ගම හදන වැඩසටහන සාර්ථක කර ගැනීමට සංවිධාන, ගමේ නිලධාරි බලධාරි මැති ඇමැති බළ ඇණිවල හා ස්වේච්ඡා සංවිධානවල පූර්ණ සහය අදාළ නිලධාරින්ට ලබාදිය යුතුව ඇත.

 

Comments