ගමනේ යා.....! සෞඛ්‍ය උප­දෙස් පිළිපදිමින් බස්නාහිරින් පිටත ටියු­ෂන් ඇරඹේ | සිළුමිණ

ගමනේ යා.....! සෞඛ්‍ය උප­දෙස් පිළිපදිමින් බස්නාහිරින් පිටත ටියු­ෂන් ඇරඹේ

කොවිඩ්වලට පෙර කොළඹින් පිටත පැවති උපකාරක පන්තියක්
කොවිඩ්වලට පෙර කොළඹින් පිටත පැවති උපකාරක පන්තියක්

ලංකාවේ විභාග පාදක කරගත් අධ්‍යාපන ක්‍රමයක් පැවැතීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපකාරක පන්ති වලට හිමිවූයේ සුවිශේෂි ස්ථානයකි. ලබන 25 වැනිදා සිට බස්නාහිර පළාත් හැර සෙසු පළාත්හි ටියුෂන් ආරම්භ කිරීමට විධි විධාන සලසා ඇත්තේ දැඩි නීති රීති පද්ධතියක් මධ්‍යයේය. නමුත් ලංකාවේ බොහෝමයක් රාජ්‍ය හා පෞද්ගලක ආයතන මේ වෙද්දි සක්‍රීයව පැවැතියද තවමත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති සඳහා මේ අවස්ථාව නොලැබී ඇත්තේ මන්දැයි බොහෝ දෙනා විමසීම් කරති. දෙවැනි කොරෝනා රැල්ලෙන් පසු උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරු බොහෝමයක් අද අතරමංව ඇත්තේ මාස 4 කට වැඩි කාලයක් සිය ජීවත් වීමේ සියලු මං ඇහිරුණු නිසාවෙනි.

වෘත්තිමය වශයෙන් උපකාරක පංති පවත්වන ගුරුවරුන්ගේ එකම සංගමය වූ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA) පසුගිය දිනවල ලංකාවේ උපකාරක ගුරුවරුන්ගේ මේ තත්ත්වය පිළිබඳ අදාළ බලධාරින් සමඟ දිගින් දිගටම සාකච්ඡා කළ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් සෞඛ්‍ය බලධාරින් දැඩි නිර්දේශ මධ්‍යයේ පන්ති පැවැත්වීමට අනුමැතිය ලබා දී ඇත්තේ උපරිම සිසුන් ගණන 100 ක් වන පරිදි හෝ මෙතෙක් පන්තියක සිටි සිසුන්ගේන් 50% ක් වන පරිදීය. නමුත් බස්නාහිර පළාතට අවම වශයෙන් හෝ කුඩා සිසු ප්‍රමාණයක් යොදා ගෙන මේ අවස්ථාවට අවසර දී නැත. සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ලියාපදිංචිය ලත් ප්‍රමාණය 4000 කි. නමුත් වැඩිමනත් උපකාර පන්ති පවත්වන ගුරුවරුන් මෙහි ලියාපදිංචිය ලබා නැති අතර ටියුෂන් වෘත්තියෙන්ම පමණක් යැපෙන පිරිසක් වෙයි. ටියුෂන් වලින් පමණක් යැපෙන ගුරුවරු ලංකාවේම ලක්ෂ 2 කට ආසන්න පිරිසක් ඇති අතර කෙරෝනා වසංගතය හේතුවෙන් මොවුහු බලවත් පීඩාවකට පත්ව සිටිති.

ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ ඉතිහාසය පිළිබඳ ප්‍රවීණ ආචාර්යවරයකු වන අනුර බටගොඩය. මේ වන විට මාර්තු මස බස්නාහිර පළාත තුළ සාමාන්‍ය පෙළට පෙනි සිටින දරුවන් හා අනිකුත් පාසල් සිසුන් වෙනුවෙන් ඔවුහු තවමත් උගැන්වීම් සිදු කරන්නේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය හරහාය. එහෙත් ඔවුහු මෙහිදි අපමණ ගැටලුවලට මුහුණ දෙන්නේ දැඩි ප්‍රශ්න ගොන්නක් මධ්‍යයේය.

“ කොවිඩ් දෙවැනි රැල්ලෙන් පසු අපි මේ වන තෙක් මාස 4 ක් පංති වහලා තිබුණේ. තවමත් ආරම්භ කරන දිනයක් ගැන සඳහනක් නැහැ. මේ ආයතන බොහෝමයක් පවත්වා ගෙන යන්නේ බැංකු ණය මත. මේ නිසා පසුගිය මාස කිහිපයේම ඒවාට මුදල් ගෙවීම් ගැන අපට ගැටලු මතුවුණා. බැංකු සහන ලබා දුන්නා කිව්වත් ඒවා පසුව සියලු ගෙවීම් කරන්න සිදුවුණා. ඒ වගේම අපේ ආයතන වසා තිබුණත් වතුර ජල බිල්පත් ගෙවීම පමණක් නොව පළාත් පාලන ආයතන විසින් කිසිදු සංශෝධන රහිතව වරිපනම් බල්පත් පවා එවා තිබුණා. මේ වන විට අපි වසා තිබුණු මාස 4 ම අපේ කාර්ය මණ්ඩලවලට වැටුප් ගෙවන්න සිදුවුණා, ඒ ඔවුන් ස්ථීර සේවකයන් නිසා. දුරස්ත අධ්‍යාපනය සියයට සියයක්ම සාර්ථක නැහැ. එහි සාර්ථකත්වය තියෙන්නේ උසස් පෙළ මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට පමණයි. පොඩි පන්තියේ සිට සාමාන්‍ය පෙළ දක්වාට අපි සිසුන් පිළිබඳ පෞද්ගලික මට්ටමින් හදුනා ගනිමින් ඔවුන් සමඟම මේ ගමන යායුතුයි. නමුත් ඔන්ලයින් අධ්‍යාපනය හරහා මේ කටයුතු කිරීම අපහසුයි. දෙවනුව අපිට මේ ක්‍රමය හරහා ඉගැන්වීමේදී සිසුන්ගෙන් මුදල් ඉල්ලන්න අපහසුයි. නමුත් අද වන විට රටේ සෑම ක්ෂේත්‍රයක්ව විවෘතයි. සිනමා කර්මාන්තය පවා ආරම්භ වෙලා. ඒත් කිසිම හේතුවක් නැතුව මේ වාරණය ක්‍රියාත්මක වෙන්නේ උපකාරක පන්තිවලට වලටයි. පළමු රැල්ලේදි අපි කොවිඩ් නීතිරීති අකුරටම පිළිපදිමින් උපකාරක පන්ති ආරම්භ කළා. කිසිම උපකාරක පංතියකින් කිසිදු කොවිඩ් රෝගියෙක් වාර්තා වුණේ නැහැ. “ඒ අනුර බටගොඩය.

බස්නාහිර පළාතේ උපකාරක පංති විවෘත නොකිරීම් සම්බන්ධයෙන් ගැටලු ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට පමණක් නොව ගම්පහ මෙන්ම දුෂ්කර පළාත් පිරි කළුතර දිස්ත්‍රික්කයටද පොදුය. ඔවුන්ද මේ වන තෙක් මාස 4 ක පමණ කාලයක් ගෙවන්නේ නීරස ජීවිතයකි. බොහෝ ගුරුවරුන්ට මේ වන විට ජීවත් වීමේ විවිධ මාර්ග කරා යොමු වීමට සිදුවීම හේතුවෙන් ගුරු අභිමානයද නැතිවන අවස්ථා ඕනෑ තරමිය.

ඉසුරු මේනක උපකාරක පන්ති මෙහෙය වන කළුතර දිස්ත්‍රික්කයේ උසස් පෙළ ගණකාධිකරණ ආචාර්යවරයෙකි.

“ කළුතර නගරයෙන් පිටත බොහෝ සිසුන්ට අන්තර්ජාල පහසුකම් නැහැ. ඒ වගේම සූම් තාක්ෂණයෙන් උගන්වන්න ස්මාර්ට් ෆෝන් නැහැ. මේ පළාතේ ධීවර කර්මාන්තයේ නියැළෙන දෙමවුපියන්ගෙන් පසුගිය කාලයේ රැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා අන්තර්ජාල පහසුකම් තියා මොවුන්ට පන්ති ගාස්තු ගෙවන්නත් මුදල් නැහැ. ඒත් අපි මේ කටයුතු කරගෙන යන්නේ දුෂ්කරතා ගොන්නක් මධ්‍යයයේ. අද පෞද්ගලික උපකාරක පන්ති කරන ගුරුවරු ලක්ෂ 3 ක් පමණ ඉන්නවා. තවත් ලක්ෂ 2 ක් පමණ ඉන්නවා, පාසල් යන ගමන් උපකාරක පන්ති කරන අය. මේ අයගෙන් 90% ක්ම අද මේ දුෂ්කරතාවට පත්වෙලා ඉන්නේ. මේ නිසා එදාවේල හම්බ කර ගන්න ගුරුවරුන්ට විවිධ රැකියා කරන්න සිදුවෙලා. සමහරු ගෙවල්වල තීන්ත ගාන්න යනවා. තවත් අය වාහනවල ගිහින් යම් යම් දේ විකුණනවා. ගුරුවරයාගේ සමාජ අභිමානය නැතිවෙලා. කොළඹට සාපේක්ෂව අපේ පළාතවල ගුරුවරු පංති ගාස්තු අය කරන්නේ අඩුවෙන්. මේ නිසා අපි ඉල්ලා සිටින්නේ බස්නාහිර පළාතේ අවම වශයෙන් සිසුන් 25 දෙනෙකුටවත් එකවර උපකාරක පන්ති ආරම්භ කරන්න අවසර දෙන්න කියා ...“ ඒ උපාකරක පන්ති ගුරුවරයෙකුවන ඉසුරු මේනකය.

ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ සජිත විජේසිංහ හම්බන්තොට ප්‍රදේශයේ කුඩා ගම්මානවල දරුවන්ට උපකාරක පන්ති පවත්වන ආචාර්යවරයෙකි.

“ අපිට මේ වන විට අවසර ලැබීම ගැන සිය දහස් වාරයක් ස්තූතියි. අපි උපකාරක පන්ති පවත්වන්නේ දුෂ්කර ගම්මානවල කුඩා කණ්ඩායම්වලට. මේ ගම්මානවල දුරස්ත අධ්‍යාපනය කියන්නේ සුළු පිරිසකට පමණක් සීමා වූවක්. දරුවන්ට මේ ඉගෙනීම් ක්‍රියාවලියේදි විවිධ ගැටලු මතුවුණා. මට තංගල්ල නෙතෙල්පිටියේ එක්තරා දුප්පත් ප්‍රදේශයක දරුවෙකුගේ පියකු හමුවුණා. ඔහු මට කිව්වේ දරුවාට උගන්නවන්න ස්මාර්ට් ජංගම දුරකතනයක් නැති බව. ඒ නිසා මෙවර අස්වැන්නෙන් වී ලබා ගත් පසු එය විකුණලා දරුවාට ස්මාර්ට් ජංගම දුරකතනයක් අරගෙන දෙන බව. මෙවැනි සංවේදි අවස්ථා ඕනැතරම් අපේ ගම්මානවලින් හමු වෙනවා. මේ වන විට දෙමවුපියන් දරුවන්ට උගැන්වීමට පැමිණෙන ගුරුවරන්ට අවශ්‍ය පහසුකම් නිවෙස්වලම සකස් කර තියෙනවා. කුඩා කණ්ඩායම් පන්ති ආරම්භ කිරීමේ තත්ත්වය අනුව තමයි සිසුන් 50 සීමාවට යන්නේ. ළමයින්ට මුඛ ආවරණ නැතිනම් අපි එයත් ලබා දෙනවා. සියයට සියයක් සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීම තමයි අපේ අරමුණ....“ ඒ සජිත විජේසිංහය‍

“ පසුගිය කාලයේ අපි දැඩි මානසික පීඩාවකට පත්වුණා. මේ පළාත්වල දුරස්ත අධ්‍යාපනය කිරීමේ විවිධ අපහසුතා තිබුණා. දුෂ්කර පෙදෙස්වල කිසිම දරුවකුට සිග්නල් පහසුකම් තිබුණේ නැහැ. තවමත් අපිට හිතා ගන්න අමාරුයි මේ කටයුතු කොයි ආකාරයෙන් සිදුවෙනවාද කියලා.....“ ඒ කෑගල්ල රඹුක්කන උපකාරක පන්ති ගුරුවරයකු වූ කමල් පතිරණය. කෙසේ වෙතත් ඔවුහු අනේකවාරයක් ස්තූතිවන්ත වන්නේ මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක වුවද රජය විසින් මේ අවස්ථාව සලසා දීම පිළිබඳවය. උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ එකම සංගමය වූ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA)මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර බස්නාහිර විවෘත කිරීම් සම්බන්ධයෙන්ද යම් ප්‍රගතියක් ඔවුහු අපේක්ෂා කරති. මේ වෙනුවෙන් ඔවුන් වැඩ සටහන් ගණනාවක් ආරම්භ කර ඇත.

“සෞඛ්‍ය බලධාරීන් අපිට අනුගමනය කිරීම සඳහා අදාළ නිර්දේශ ලබා දුන්නා. ඒ වගේම සෞඛ්‍යාරක්ෂිතව පන්ති පැවැත්වීම ගැන අත් පොතක් සකස් කළා. මේ පොත සියලුම අධ්‍යයන ආයතනවලට ලබා දෙනවා. ඒ වගේම සැම පන්තියකම සිසුන් පැමිණීමට පෙර පන්ති සූදානම ගැන සතිපතා පිරික්සුම් පත්‍රිකා දෙකක් ආයතන ප්‍රධානීන් විසින් පිරිවිය යුතු වෙනවා. ඒ වගේම සිසුන් හා ආයතන විසින් දැන ගැනීමට සෑම පන්තියකටම පෝස්ටර් කිහිපයක්ද අප විසින් සකස් කළා. ඒ වගේම කොවිඩ්වලින් තොර උපකාරක පංතියක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ගැන වීඩියෝවක් සකස් කර ලංකාවේ සියලුම පංතිවලට ලබා දුන්නා. ඒ වගේම ප්‍රෙද්ශයේ සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් එකඟතා පත්‍රයක් නිර්මාණය කළා. ...“ ඒ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ මහ ලේකම් කමල් ප්‍රියංකර පෙරේරාය.

 

Comments