කහල්ල පල්ලෙ­කැලේ රක්ෂි­ත­ය­ටත් කණ කොකා හඬයි | Page 2 | සිළුමිණ

කහල්ල පල්ලෙ­කැලේ රක්ෂි­ත­ය­ටත් කණ කොකා හඬයි

අදාළ භුමිය එළි­පෙ­හෙළි කර ඇති අයුරු, කොහොඹ, මයිල ගස් බිම හෙළා ඇති අයුරු  හා මූලික ඉදි­කි­රීම් කර ඇති ආකා­රය මෙම ඡායාරූපවලින් දැක්වේ.
අදාළ භුමිය එළි­පෙ­හෙළි කර ඇති අයුරු, කොහොඹ, මයිල ගස් බිම හෙළා ඇති අයුරු හා මූලික ඉදි­කි­රීම් කර ඇති ආකා­රය මෙම ඡායාරූපවලින් දැක්වේ.

නුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, පොල්පිතිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හා මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි කහල්ල පල්ලෙකැලේ අභයභුමිය හෙක්ටයර් 2690 ක වපසරියකින් සමන්විතය.

1980 ජූලි මාසයේදී මුළුමනින්ම වන සතුන් වෙනුවෙන් වෙන්වූ අභයභූමියක් ලෙස කහල්ල පල්ලෙකැලේ අභයභුමිය ප්‍රකාශයට පත්කර ඇත. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති මෙම අභයභුමියේ රජයේ ඉඩම්, පුද්ගලික ඉඩම්, වන ජීවි හා වන සංරක්ෂණ අංශවලට අයත් ඉඩම් පිහිටා ඇත. මෙම අභයභුමිය තුළ පැරණි ගම්මාන 50 ක් පමණ ඇත. එසේම අභයභුමිය වටාද ගම්මාන රැසක් පිහිටා ඇත. මෙම ගම්මාන අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට පෙර තිබූ පැරණි ගම්මාන ය. එම ගම්මාන පිහිටා ඇත්තේද කුඩා වැව් කේන්ද්‍ර කරගනිමිනි.

කෙසේ වුවත් මෙම අභයභුමිය තුළ පිහිටි ඉඩම්වල කිසියම් ඉදිකිරීමක් හෝ යම් ක්‍රියාකාරකමක් හෝ සංවර්ධන කාර්යයක් සිදුකරන්නේ නම් වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් අනුමැතිය ලබාගත යුතුව ඇත.

පූර්ව අවසරයක් ලබා නොගෙන පලාගල ප්‍රාදේශීය ගොවිජන බල ප්‍රදේශයට අයත් දික්ඇඳියාව වැව් රක්ෂිතයේ පිහිටි භූමියක අක්කර එක හමාරක පමණ භූමියක් එළි පෙහෙළි කරමින් එහි තිබු වටිනා දැව කපා දැමීම හා කිසියම් ඉදිකිරීමක් පිළිබඳව අසන්නට ලැබිණි.

මෙසේ අනවසරයෙන් එළිපෙහෙළි කළ භූමියට යාබදව පැරණි සුසාන භූමියක්ද පිහිටා ඇත. සුසාන භුමියේ ලඳු කැලෑ එළි පෙහෙළි කරන මුවාවෙන් සුසාන භූමියට අවට අක්කරයක පමණ භුමියේ පිහිටි කොහොඹ, මයිල ඇතුළු වටිනා දැව වර්ග කීපයක්ම යාන්ත්‍රික මෙවලම් භාවිත කරමින් කපා දමා ඒවායේ කඳ කොටස් කර ඇතැම් කොටස් රැගෙන ඇති බව පැවසේ.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වූයේ පලාගල ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදේශයේ තරුණයන්ගේ හා මරණාධාර සමිතියේ ඉල්ලීමක් අනුව සුසාන භූමියට භූමදානය කිරීමට රැගෙන එන මළසිරුරු ස්වල්ප වේලාවක් තැන්පත් කර තැබීමට ස්ථානයක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමෙන් පසු අදාළ සුසාන භූමිය මෙන්ම යාබදව පිහිටි තවත් අක්කරයකට වැඩි භුමි ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ කිසිවකුගේ අනුදැනුමෙන් තොරව එළිපෙහෙළි කර ඇතිවා සේම කිසියම් මූලික ඉදිකිරීමක්ද කර ඇති බවයි.

මේ පිළිබඳව පලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්. ඒ.වික්‍රමසිංහගෙන් විමසීමේදී කියා සිටියේ දික්ඇඳියාව ගම්මානයේ ජනතාව සුසාන භුමියක් ලෙස එම භුමිය වසර ගණනාවක් පරිහරණය කරන බවයි. එම භූමියෙන් අක්කර එක හමාරක් වෙන්කර දෙන මෙන් පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත 2010 වසරේ සිට ඉල්ලීම් කර ඇතත්; එම භුමිය නිරවුල් කරදීමට අපොහොසත් වී ඇති බවයි.

තමා විසින් පලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි සුසාන භූමි සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් ඒ යටතේ දික්ඇඳියාව ගම්මානයේ පිහිටි සුසානයටත් රුපියල් 30000 ක මුදලක් වෙන්කළ බවත් ඔවුන් එම මුදලින් මළසිරුරු තැන්පත් කිරීමේ ස්ථානයක් වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කිරීමට යෝජිතව ඇති බවත් සභාපතිවරයා පැවසිය.

කෙසේවෙතත් එම සුසාන භුමියේ පිහිටි දැව වර්ග කපා හෙළීම හා එළිපෙහෙළි කිරීම පිළිබඳව තමා දැනුවත් කර නොමැති බවත් ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවත් පැවසීය.

කහල්ල අභයභුමිය රක්ෂිතයක් ලෙස නම් කරන ලද්දේ කලාවැව, බළලු වැව, කහල්ල පල්ලෙකැලේ භුමිය මුළුමනින්ම වන සතුන්ගේම වාසස්ථානයක් ලෙස ආරක්ෂා කිරීමටය. මෙම අභයභුමිය තුළ ගලා බසිනා දිය දහරා රැසකි. කලාවැව, බළලු වැව, හක්වටුනා ඔය, මී ඔය, සියබලන්ගමුව ඔය, බෝගහපත්තු වැව, ආඳීයාගල වැව, මිල්ලගොඩ වැව, දික්ඇඳියාව වැව ඇතුළු වැවී රාශියක් ඉදිකර ඇත. ඒවායේ ජලය උපයෝගී කරගෙන ජනතාව කෘෂිකාර්මික කටයුතු කරති.

කහල්ල පල්ලෙකැලේ අභයභුමියේ උස වියන් සහිත ප්‍රාථමික වනාන්තර, තෙත් වියන් සහිත කඳු වැටි, සදාහරිත තෙත් බිම්, කුඹුරු ආදී පරිසර පද්ධති දක්නට ඇත. මෙම පරිසර පද්ධතිය තුළ අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, සුදුහඳුන්, වදකහ, කොහොඹ ආදී ඖෂධිය ශාක රැසකි.

අලියා, කළුවඳුරා, මීමින්නා, උණහපුලුවා, කැබැල්ලෑවා, කලවද්දා, මුවා, ගෝනා, රිලවා, ඉත්තෑවා, දඬු ලේනා ඇතුළු වනසත්තුද ජීවත්වෙති. මෙම අභයභුමිය සිය වාසස්ථානය කරගත් අලි 200-300 ක් පමණ ජිවත් වෙති.

ගොවීන් විසින් අත්හරින ලද හේන්, වැව් තාවුලු වල ඇති තෘණ අලින්ගේ ප්‍රියතම ආහාරයකි. මෙම අලි පස්වරුව වනවිට තෙත් බිම් සහිත තෘණ ආහාරයට ගැනීමට මෙන්ම ජලය පානය කිරීමට ද පැමිණේ.

අලි ඇතුන් ඇතුළු සත්ව විශේෂ රැසකට වාසස්ථානය සපයන මෙම අභයභුමියේ මානව ක්‍රියාකාරකම් නිසා අලි මිනිස් ගැටුම් උග්‍රවෙමින් පවතියි.

කෘෂිකර්මාන්තය ඇතුළු මානව ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීමට වනය එළිපෙහෙළි කිරීමට පදිංචිකරුවන් කටයුතු කිරීම නිසා වන සතුන්ගේ වාසස්ථාන අහිමිවී යාමේ තර්ජනයක්ද මතුවෙමින් ඇත.

එවන් පසුබිමක රජයේ වගකිවයුතු කිසිවෙකුගේ විධිමත් අවසරයකින් තොරව දික්ඇඳියාව වැව් රක්ෂිතය එළිපෙහෙළි කිරීම බරපතළ කාරණයකි. එසේම බළලු වැවේ හා දික්ඇඳියාව වැවේ ජලය ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවන්ට ප්‍රයෝජනයට ගනිමින් තිබෙන පසුබිමක එම රක්ෂිත පිහිටි භුමියට ඉහළින් ඇති ප්‍රදේශයක මළසිරුරු භූමදානය කිරීමෙන් ඇතිවන පාරිසරික බලපෑම් මනාව අධ්‍යයනය කළයුතු වන්නේය.

මේ පිළිබඳව ගල්කිරියාගම වනජීවී අඩවි කාර්යාලයේ ප්‍රධානි ඩි.රාමසිංහගෙන් කළ විමසීමකදී කියා සිටියේ දැනට එළිපෙහෙළි කර ඇති භුමිය කලාවැව-බළලු වැව හා කහල්ල කඳු වැටිය සිය වාසස්ථානය කරගෙන සිටින වන අලින්ගේ සංචරණ මාර්ග (අලිමංකඩ ) කීපයක් ඇති බවයි. මෙම කලාපයේ අලි සංචරණය කිරීමේදී එම අලි ළැඟුම් ගන්නා ස්ථානයක් ලෙසත් බළලු වැව හා දික්ඇඳියාව වැව් රක්ෂිත උපයෝගී කරගන්නා බව පැවසූ රාමසිංහ වැඩිදුරටත් කියා සිටියේ ආදී කාලයේ සිට අධික වර්ෂාව නිසා කලාවැවේ හා බළලු වැවේ ජල ධාරිතාව වැඩිවූ අවස්ථාවන්හි කලා වැවේ පිටවාන හා සොරොව් දොරටුවලින් අතිරික්ත ජලය පිටතට මුදා හැරිය නොහැකි අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගනු ලබන්නේ බළලු වැවේ වැව් බැම්ම කපා එම අතිරික්ත ජලය මුදා හරිනුයේ දික්ඇඳියාව වැවට බව පැවසීය.

කිසියම් හෙයකින් දික්ඇඳියාව වැවේ රක්ෂිතය එළිපෙහෙළි කිරීමෙන් එම කාර්යයට බරපතළ අභියෝගයකට ලක් කෙරෙන්නක් බවත් එම වැව අතීතයේදී නිර්මාණය කර ඇත්තේ ද එවන් පසුබිමක බවත් මිට වසර පහකට පමණ පෙර ඇතිවූ අධික වර්ෂාව හමුවේ පවා බළලු වැව් බැම්ම කපා වැඩි ජලය දික්ඇඳියාව වැවට මුදාහැරිය බව ද පැවසීය.

දැනට වැව් රක්ෂිතයට කර ඇති හානිය පිළිබඳව අදාළ අංශ දැනුම්වත් කිරීමට හා මැනුම් නියෝග ලබා ගැනීමට අවශ්‍ය මුලික කටයුතු සඳහා ඉහළ කළමනාකාරිත්වයෙන් උපදෙස් ඉල්ලා ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. පලාගල ප්‍රාදේශීය ලේකම් ඒ. එස්. බණ්ඩාර මේ පිළිබඳව මෙසේ පැවසීය.

‘දික්ඇඳියාව වැව් රක්ෂිතයේ එළිපෙහෙළි කර ඇති අදාළ භුමි කොටස නිරීක්ෂණයේදී ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් දැවමය වටිනාකමක් නැති මයිල ගස් කීපයක් හා කොහොඹ ගස් කීපයක් බිම හෙළා ඇති බව නිරීක්ෂණය කළා. එසේම අදාළ භුමිය අක්කරයකට වැඩි ප්‍රමාණයක් එළිපෙහෙළි කර තිබෙනවා.

මෙම භුමිය ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සුසානභුමියක් ලෙස වසර ගණනාවක් භාවිත කර තිබෙනවා. 2010 වසරේ පලාගල ප්‍රාදේශීය සභාව මගින් දැනට භාවිත කරන සුසාන භුමිය ඉඩම් වෙන්කර ලබාදෙන ලෙස ඉල්ලීම කර තිබෙනවා.

ඒවායේ මැනුම් නියෝග ලබාගැනීම, මුලික වාර්තා සකස් කිරීම ඉඩම් නිරවුල් කරගැනීම, පරිසර, පුරාවිද්‍යා, වනජීවී, වන සංරක්ෂණ, ගොවිජනසේවා ක්ෂේත්‍ර අධ්‍යයනයන් ආදී කටයුතු සිදුවෙමින් පවතිනවා. විශාල පාරිසරික හානියක් සිදුව නැහැ. දැවමය හානියක් සිදුව තිබෙනවා. මාධ්‍ය වාර්තා කළ අයුරින් ඩෝසර් කිරීමක් සිදුව නැහැ. දැනට අදාළ භූමියට ඇතුළුවීම හා භාවිත කිරීමට තහනම් කර තිබෙනවා. කිසිදු වගකිවයුතු අංශයකින් පූර්ව අවසරයක් නොමැතිව එළිපෙහෙළි කර තිබෙනවා. මේ පිළිබඳව අදාළ සියලු අංශවලින් වාර්තා කැඳවා තිබෙනවා’’ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Comments