එඩ්වින් ආරි­ය­දා­ස­යන් දැයෙන් සමු­ගනී! | සිළුමිණ

එඩ්වින් ආරි­ය­දා­ස­යන් දැයෙන් සමු­ගනී!

ලාකිර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසයන් ඉකුත් 22 සිකුරාදා අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ අවසන් කටයුතු 24 ඉරිදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මිය යන විට 98 හැවිරිදි වියේ පසුවූ ආරියදාසයන් ගාල්ල උණවටුනේදී උපත ලැබුවේ 1922 වසරේ දෙසැම්බර් 3 වැනිදාය. පවුලේ බාලයා වූ ඔහුගේ දෙමාපියන් වූයේ ජී.කේ.වී.කේ ඒබ්‍රහම් අප්පුහාමි හා සිසිලියාන හාමිනේය.

දේවාතුර ඉංග්‍රීසි පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයෙනි. අනතුරුව 1945 කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර උපාධිය සමත් වීමෙන් පසු 1949 වසරේ මාධ්‍යවේදියකු වශයෙන් ලේක්හවුස් ආයතනයේ සේවයට බැඳුණි. අනතුරුව දිනමිණ, ඩේලි නිව්ස්, සන්ඩේ ඔබ්සවර්, මෙන්ම සිළුමිණ පුවත්පතට සම්බන්ධ වී කටයුතු කළ ආරියදාසයන් වසර කිහිපයක් නවයුගය පුවත්පතේ කතුවරයාද විය. ආරියදාසයෝ සියවසකට ආසන්න සිය ජීවිත කාලය තුළ දශක 6කට අධික කාලයක් ලාංකීය සන්නිවේදන කලාව ප්‍රවර්ධනය කිරීමෙහිලා අසමසම සේවයක් ඉටු කළහ. හැටේ දශකයේ අග භාගයේ පුවත්පත් කලාව විෂයයක් වශයෙන් ලාංකීය සමාජයට හඳුන්වා දීමේ පුරෝගාමියකු වන්නේද එඩ්වින් ආරියදාසයන්ය. ඔහුගෙන් ආභාසය හා ගුරුහරුකම් ලබාගත් මාධ්‍යවේදීන් සංඛ්‍යාව දහස් ගණනකි.

‘ඇවිදින පුස්තකාලය’ නමින් බොහෝ දෙනා ඔහු හඳුන්වා දෙනු ලැබු අතර අවසාන කාලයේ මාධ්‍ය උපදේශයකු වශයෙන් දෙස් විදෙස් මාධ්‍ය සහ ආයතන ගණනාවක සේවය කළ අතර සිංහල සහ ඉංග්‍රීසි බසින් සිය මාධ්‍ය කටයුතු සිදු කිරීමට ඉහළ පරිචයක් දැක්වීය. අවිවාහක දිවියක් ගත කළ ඔහුගේ ඇල්විටිගල මාවතේ නිවස ඕනෑම අවස්ථාවක මාධ්‍ය කටයුතුවල නිරත වන අය වෙනුවෙන් විවෘතව තිබුණි. දේහය මහජන ගෞරවය සඳහා ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත. ලේක්හවුස් ආයතනය බිහි කළ විශිෂ්ට මාධ්‍යවේදියකු වූ එඩ්වින් ආරියදායන්ට මෙසේ ලේක්හවුස් ආයතනයේ උපහාරය පුද කරමු.

Comments