සුපුන්ව මුණගැහෙන්න ඇඟිලි ගණින ශ්‍රී ලංකාවේ වේගවත්ම මිනිසාට අවුරුදු නවයයි | Page 2 | සිළුමිණ

සුපුන්ව මුණගැහෙන්න ඇඟිලි ගණින ශ්‍රී ලංකාවේ වේගවත්ම මිනිසාට අවුරුදු නවයයි

 

HIMASHA eshan

මම, චානුක, මිනෝද් වගේම සුපුන් එක්ක එකතු වෙලා මීටර් සියය හතර සහාය දිවීමේ පුහුණුවීම් කරන්නත් අපේක්ෂාවෙන් ඉන්නේ. ඒකට සුපුන්ව ලංකාවට ගෙන්වා ගන්න වෙනවා. අපිට ඒ ඉසව්වෙන් ආසියානු පදක්කමකට යන්න වැඩි අවස්ථාවක් තියෙනවා.

මට ජාතික වාර්තාව හිමි කර ගෙන ඉන්න සුපුන්ව හම්බ වුණේ නෑ. ඔහු මේ තරගයට ආවේ නෑ. ඔහු ආවනම් අපි දෙන්නා අතර ඇතිවන තරගයේදී මීට වඩා හොඳ කාලයක් වාර්තා කරන්න තිබුණා.

‘හිමාෂ ඒෂාන් මෙරට වේගවත්ම මිනිසාය. එනමින් ගොඩනැංවූ වේගවත්ම මිනිසාට දැන් වයස අවුරුදු නවයකි. ඒ ඔහු එම වාර්තාව වසර නවයක් අඛණ්ඩව රැකගෙන පැමිණි නිසාය. එහෙත් අපි ඒ වාර්තාව දෙස බලා සතුටුවන්නෙමු ද? කනගාටුවන්නෙමු ද? සිතා ගත් නොහැකිය. හිමාෂගේ පෞද්ගලික ජයග්‍රහණයක් වශයෙන් එය ආඩම්බරයකි. එහෙත් රටක් වශයෙන් හිමාෂ නව වසරක් වේගවත්ම මිනිසා වීම එක අතකින් කනගාටුවකි. ඒ කනගාටුව ඔහුගේ තැන ගන්නට දෙවැනි පෙළක් ගොඩ නැගීම හේතුවෙනි. මේ හිමාෂ ජයග්‍රහණයෙන් පසු ‘ක්‍රීඩා’ හා කළ කතාවයි.

'මම මෙවර වාර්තා කළ කාලය ගැන ලොකුවට සතුටු වෙන්න බෑ. මොකද මම තත්පර 10.27කින් තමයි ඉසව්ව නිමකළේ. ඒත් මගේ ජාතික වාර්තාව 2016 දී පිහිටෙව්වේ තත්පර 10.22 කට දුවලයි. ඒත් මට මගේ උපරිමයට එන්න බැරිවුණා. ඒ නිසා විශේෂ සතුටක් නැතත් වේගවත්ම මිනිසා වුණු එක ගැන සතුටුයි.' හිමාෂ 'ක්‍රීඩා' හා පැවසුවේය. තරග නිමි කාලය ජාතික වාර්තාවක් නො වූව ද තත්ත්පර 10.27 කින් තරගයක් නිමකිරීම යනු දැවැන්ත අභියෝගයකි. එය සාමාන්‍ය මිනිසකුට කිසි ලෙසකින් වත් පවත්වා ගත නොහැකි වේගයකි.

'මම ලංකාවේදී වේගවත්ම මිනිසා වුණත් මගේ ජාතික වාර්තාව සුපුන් අබේකෝන් දැන් බිඳ දමලා තිබෙන්නේ. ඔහු යුරෝපයේදී තත්පර 10.16 කින් තරගයක් අවසන් කළා. ඒක නව ශ්‍රී ලංකා වාර්තාවක්. නමුත් මම කොරෝනා වසංගතයත් එක්ක සටන් කරන ක්‍රීඩකයෙක් හැටියට දක්වපු තරග දක්ෂතාවය ගැන සතුටු වෙනවා.' හිමාෂ පවසන්නේ කිසියම් සම්මිශ්‍රිත හැඟීමකිනි.

ඔහු කනගාටුවෙන් සිටින්නේ ඇයිදැයි 'ක්‍රීඩා' පෙරළා විමසූ විට හිමාෂ කීවේ, 'මට ජාතික වාර්තාව හිමිකරගෙන ඉන්න සුපුන්ව හම්බවුණේ නෑ. ඔහු මේ තරගයට ආවේ නෑ. ඔහු ආවනම් අපි දෙන්නා අතර ඇතිවන තරගයේදී මීට වඩා හොඳ කාලයක් වාර්තා කරන්න තිබුණා. ඒක තමයි කනගාටුවට කාරණය.' ඔහු පැවසූවේය.

ඔහුගේ සිතේ බියක, සැකයක, හෝ අවිනිශ්චිත භාවයක ලකුණක්වත් ගෑවී නැති සෙයකි. 'මට සුපුන් එක්ක නිතර නිතර තරග වදින්න ලැබුණොත් ඔලිම්පික් පරිසාධන මට්ටමට ළංවෙන්න අවස්ථාවක් තිබෙනවා. ඔලිම්පික් සුදුසුකම් ලබන්න නම් තත්පර 10.05 කින් දුවන්න ඕනෑ. ඒ වේගය මට හරි සුපුන්ට හරි ලබාගන්න අපි එකිනෙකා හමුවෙනවා නම් අවස්ථාවක් වෙනවා කියලා මම හිතනවා.' හිමාෂ කියන්නේය.

දැන් ඒ සඳහා අවස්ථාවක් නොමැති දැයි ඇසූ විට පිළිතුරු ලෙස හිමාෂ පැවසූයේ, 'නෑ. මාර්තු මාසයේ තවත් එක අවස්ථාවක් තියෙනවා. ඔය අතරෙ රටින් පිට තරග මාලා දෙක තුනකට සහභාගි වෙන්න ලැබුණානම් මොනවා හරි බලාපොරොත්තුවක් තබාගන්න පුලුවන්.' යැයි කීවේය.

'ඇත්තටම මම සියයට අසූවක් පුුහුණු සැලසුම් සම්පූර්ණ කරලයි තරගාවලියට ආවේ. කොරෝනා නොතිබුණානම් සියයට සියයක් සූදානම් වෙන්න තිබුණා. ඒක නිසා පුහුණුවීම්වලට බාධා ආවා. කොහාම වුණත් මම, චානුක, මිනෝද් වගේම සුපුන් එක්ක එකතුවෙලා මීටර් සියය හතර සහාය දිවීමේ පුහුණුවීම් කරන්නත් අපේක්ෂාවෙන් ඉන්නේ. ඒකට සුපුන්ව ලංකාවට ගෙන්වා ගන්න වෙනවා. අපිට ඒ ඉසව්වෙන් ආසියානු පදක්කමකට යන්න වැඩි අවස්ථාවක් තියෙනවා කියල තමයි පුහුණුකරුවන් කියන්නේ. ඉතින් මලල ක්‍රීඩා සංගමය ඒ වෙනුවෙන් කුමක් හෝ යහපත් දෙයක් කරාවි.' හිමාෂ ආසියානු පදක්කමක් ගැන ඇති සිහිනයක් ගැන කතාකළේ එලෙසිනි.

ශ්‍රී ලංකාවේ වේගවත්ම මිනිසා මීටර් දෙසීය ඉසව්ව අමතක කිරීම සම්බන්ධයෙන් මෙහිදී අප විමසීමක් කරන්නට අමතක නොකළ ද ඔහු කීවේ මීටර් 100 තමන්ගේ ප්‍රියතම ඉසව්ව වන හෙයින් මීටර් 200 ඉසව්ව අමතක කර දැමූ බවයි. 'මම මීටර් 100ට බර දානවා. ඊට අමතරව මට තියෙනවා සියය හතර ගැන සිතන්න. ඒ නිසයි මීටර් 200 අමතක කරන්නෙ.' හිමාෂ නිදහසට කරුණු කියන්නාක් මෙනි.

තමන්ගේ දීර්ඝ මලල ක්‍රීඩා ජීවිතය දෙස හැරී බලද්දී දැනෙන්නේ කවරාකාරයේ හැඟීමක්දැයි 'ක්‍රීඩා' ඔහුගෙන් විමසූයේ එය තරුණ ක්‍රීඩකයන්ට ආදර්ශයට ගත හැකි අධිෂ්ඨාන බලයක් ගැබ්වී ඇති හෙයිනි. 'මම මුලින්ම ජාතික ශූරයා වුණේ 2012 වසරේදී. එදා තමයි මම පළමුවරට මීටර් 100 තරගයක් දිනන්නේ. එතකොට මට වයස අවුරුදු 17 යි. ඒ ආරම්භය මම වසර නවයක් අඛණ්ඩව පවත්වාගෙන ආවා. මීටර් සියය කියන්නේ කෙටි දුරක් වුවත් මම ඒ කෙටි දුරෙන් දිගු දුරක් ඇවිදින් කියලා මට හිතෙනවා. ඒ ගැන නම් මා තුළ ඇත්තේ අභිමානයක්. ඒ වාර්තාව අවුරුදු දහයක් අඛණ්ඩව ජාතික ශූරයා වශයෙන් අවසන් කරන්න මේ වසරේදීත් මම බලාගෙන ඉන්නවා.' හිමාෂ කීවේ සැහැල්ලුවෙන් වුවද ගැඹුරු අපේක්ෂාවක් එතුළ ගැබ්වී තිබුණි.

 

ඡායාරූප - සුදම් ගුණසිංහ

සීවලී එදිරිවීර

Comments