මිනිත්තු තුනයි ගෝල පහයි | Page 2 | සිළුමිණ

මිනිත්තු තුනයි ගෝල පහයි

 

ROBERT lewandowski

ජගත් තරග 116කදී රැස්කර තිබෙන ගෝල ගණන 63කි.

එහෙත් ඔහුගේ ආරම්භය සාර්ථක එකක් නොවේ. ඒ පෝලන්තයේ තෙවැනි පෙළ ක්‍රීඩා කණ්ඩායම් විසින් ද ඔහුව ප්‍රතික්ෂේප කළ හෙයිනි. එහෙත් ඒ සියලු දුක් දොම්නස් මැදින් දිරියවන්තව ඉදිරියට ආ මෙම ක්‍රීඩකයා අද වනවිට පෝලන්තයේ ජාතික ක්‍රීඩා වීරවරයෙකි.

 වර්තමානයේ ලොව විශිෂ්ටතම පාපන්දු තරු යුගලය ලෙසට අවිවාදයෙන් සැලකෙන්නේ ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. යම් හෙයකින් ඔවුන් අභිබවා යෑමට තවත් ක්‍රීඩකයකු සමත් වන්නේ නම් ඔහු විශිෂ්ටයකු විය යුතුමය. පෝලන්තයේ රොබට් ලෙවන්ඩොව්ස්කි එවැනි ශූරයෙකි.

 

ජගත් පාපන්දු සම්මේලනය හෙවත් ෆිෆා ගිය වසරේ ක්‍රීඩකයා ලෙස තෝරා ගත්තේ තිස් දෙහැවිරිදි රොබට් ලෙවන්ඩොව්ස්කි ය. එහිදී ඔහුට හිමි වූ ලකුණු ගණන 52 කි. තිස්පස් හැවිරිදි රොනාල්ඩෝට හිමි වූයේ ලකුණු 38කි. තිස්තුන් හැවිරිදි මෙසීට ලකුණු 35ක් හිමි විය.

‘මම ඇත්තටම හරිම සතුටක් දැනෙනවා. ඒ රොනාල්ඩෝ සහ මෙසී වැනි සුපිරි ක්‍රීඩකයින් ඉදිරියේ මට මේ සම්මානය ලබාගැනීමට හැකිවීම නිසා. ඒ වගේම ඔවුන්ගේ මට්ටමින් ම මමත් දස්කම් දක්වනවා කියලා ඔප්පු වෙනවා.’ වාර්ෂිකව පිරිනැමෙන මෙම සම්මානය හිමිකර ගැනීමෙන් අනතුරුව රොබට් පැවසීය.

ගතවූ කාලය තුළදී මෙම සම්මානය වැඩිම අවස්ථා ගණනාවක් හිමිකරගෙන ඇත්තේ මෙසී හා රොනාල්ඩෝ සුපිරි යුගලය විසිනි. එහිදී මෙසීට සම්මාන හයක් ද රොනාල්ඩෝට සම්මාන පහක් ද වශයෙන් සම්මාන බෙදී ගොස් ඇත. එම කාලය තුළදී ඔවුන්ගේ ආධිපත්‍යය බිඳ දැමුවේ 2018 වසරේ ලුකා මොඩ්රිච් විසිනි. මේ වනවිට තිස්පස් වැනි වියේ පසුවන මොඩ්රිච් 2018 ලෝක කුසලාන අනුශූරයන් වූ ක්‍රොයේෂියානු කණ්ඩායමේ නායකයා ය.

මෙවර එම සම්මානයට හිමිකම් කියූ රොබට් වෘත්තීයමය ඉදිරිපෙළ ක්‍රිඩකයකු වශයෙන් පාපන්දු ක්‍රීඩා කරන්නේ ජර්මනියේ බයර්න් මියුනිච් කණ්ඩායමට ය. ඊට පෙර හෙතෙම එරටේම බොරුසියා ඩර්ටමන්ඩ් කණ්ඩායමට ක්‍රීඩා කළේය .

ගිය වසරේදී ප්‍රධානතම පාපන්දු තරගාවලි ත්‍රිත්වයකදීම වැඩිම ගෝල් ගණනක් රැස්කළේත් රොබට්ය. ඒ යුරෝපීය ශූරතා ලීග්, ජර්මන් බුන්ඩන් ලීග් සහ ජර්මන් කුසලාන තරගාවලියන්හිදී ය. එහිදී ඔහු තරග හතළිස් හතක දී ගෝල 55 ක් රැස් කිරීමට සමත් විය. පුදුමු විය යුතු නැත. එම ත්‍රිත්ව ශූරතා දිනාගත්තේ ද බයර්න් කණ්ඩායම විසින්මය.

රොබට් පෝලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන්නේ 2008 වසරේ සිටය. එහිදී ජගත් තරග 116 කදී රැස්කර තිබෙන ගෝල ගණන 63කි. එය ජාතික වාර්තාව ද වෙයි. එමෙන්ම 2012 සහ 2016 වසරවල යුරෝපීය සහ 2018 ලෝක කුසලාන තරගාවලියන්හිදී ද ඔහු ක්‍රීඩා කළේය. මින් ඇතැම් තරගාවලියන්හිදී ඔහු තම කණ්ඩායමට නායකත්වය සැපයීය.

ඔහු මේ වනවිට ජාතික සහ සමාජ මට්ටමින් ශූරතා රැසක හිමිකරුවෙකි. ඔහු සතුව ගිනස් ලෝක වාර්තාවකුත් තිබේ. එනම් ප්‍රධාන යුරෝපීය පාපන්දු ලීග තරගයකදී අඩුම කාලයකදී ගෝල පහක් රැස්කළ ක්‍රීඩකයා වශයෙනි. 2015 වසරේදී ඔහු මෙම දස්කම දැක්වූයේ ජර්මනියේ වුල්ෆ්ස්බර්ග් කණ්ඩායමට එරෙහිවය. ඒ විනාඩි තුනක් තුළදීය.

අද වනවිට රොබට් ලොව සුපිරිතම, එමෙන්ම ධනවත්ම ක්‍රීඩකයකු බවට පත් සිටි. එහෙත් ඔහුගේ ආරම්භය සාර්ථක එකක් නොවේ. ඒ පෝලන්තයේ තෙවැනි පෙළ ක්‍රීඩා කණ්ඩායම් විසින් ද ඔහුව ප්‍රතික්ෂේප කළ හෙයිනි. එහෙත් ඒ සියලු දුක් දොම්නස් මැදින් දිරියවන්තව ඉදිරියට ආ මෙම ක්‍රීඩකයා අද වනවිට පෝලන්තයේ ජාතික ක්‍රීඩා වීරවරයෙකි.

රොබට් අපූරු ක්‍රීඩා පවුලක සාමාජිකයෙකි. ඔහුගේ පියා ක්‍රිස්ටෝෆ් ජුඩෝ ශූරයකු මෙන්ම දෙවැනි පෙළේ පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු 2005 වසරේදී මිය ගියේය. රොබට්ගේ මව ඉවෝනා සහ සොහොයුරිය මිලේනා වොලිබෝල් ක්‍රීඩිකාවෝය. ඔහුගේ බිරිය වන ඇනා කරාතේ ලෝක කුසලාන පදක්කම්ලාභිනියකි. මේ යුවළට ක්ලාරා සහ ලෝරා නමැති දියණියන් දෙදෙනකු සිටිති. ඔහු විවිධ පුන්‍යාධාර කටයුතුවලත් නිරත වේ. මීට අමතරව ඔහුට පෝලන්ත, ඉංග්‍රීසි හා ජර්මානු භාෂාවන් චතුරව හැසුරවිය හැකිය.

ජර්මනියේ ප්‍රමුඛ පෙළ පාපන්දු තරගාවලිය වන්නේ බුන්ඩස් ලීග්ය. එහිදී තරග වාරයකදී වැඩිම ගෝල් ගණනක් රැස්කිරීමේ වාර්තාව පවතින්නේ හිටපු සුපිරිතම ජර්මන් ප්‍රහාරකයා වන ගර්ඩ් මුලර් නමිනි. ඔහු 1971-72 තරග වාරයේදී ගෝල් 40ක් රැස්කළේ බයර්න් මියුනිච් කණ්ඩායම නියෝජනය කරමිනි.

එම වාර්තාව රොබට් විසින් බිඳ දැමුණු ඇතැයි බොහෝ දෙනා පවසති. ගිය වසරේදී ඔහු ගෝල 34 ක් ම රැස්කිරීමට සමත් විය. මෙවර තරග වාරයේදී ඔහු දැනටමත් සාර්ථක ආරම්භයක් ලබා ඇත. ඒ තරග 13 කදී ගෝල් 19ක් රැස් කරමිනි.

‘මට විශ්වාසයි. රොබට් තමයි මේ වාර්තාව බිඳ දමන්නේ.’ මෙසේ රොබට් හට සහතිකයක් ලබා දෙන්නේ ලෝතර් මතයාස්ය. හෙතෙම 1990 ලෝක ශූර ජර්මන් කණ්ඩායමේ නායකයාය.

 

Comments