බල සුබනිමිති පෙරමඟ නැකතටත් වැඩී හම්බන්තොට පාපන්දු වසන්තය ඇරැඹෙයි | සිළුමිණ

බල සුබනිමිති පෙරමඟ නැකතටත් වැඩී හම්බන්තොට පාපන්දු වසන්තය ඇරැඹෙයි

වර්ෂාව පැමිණියේ ප්‍රමාද වීය. තංගල්ල ධීවර වරායෙන් නැගෙන සුළං දහරා අහස් කුස වැසි වළා පෑ කීපයකට ඈතට තල්ලු කර දැමුවේය. ඒ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම මගින් සංවිධානය කරන 'හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021' පාපන්දු තරගාවලිය පවත්වන්නට සොබාදහම පළමුව ලබාදුන් ආශිර්වාදය ය.

කෝවිඩ් යැයි සැඟවී නොසිටි තංගල්ලේ ක්‍රීඩා ලෝලීහු වෛද්‍ය උපදෙස්වලට අනුකූල වෙමින් තැන තැන නැවතී පාපන්දු තරගාවලියේ උණුසුම් ආරම්භය විඳගැනීමට සැරසී සිටියහ. කුඩා ප්‍රත්‍යන්ත නගරයක් වූ තංගල්ලට මායිම්ව දෙනෙතට අනන්තයක් තරම් ඈතට දිවෙන සයුරු තලය ද මෙම තරගාවලිය අරඹනු බලන්නට මෙන් පොරොත්තු වෙමින් සිටි'යුරුය. බස්නාහිරෙන් දකුණු මුහුදු තීරය ඔස්සේ රන්වන් වාටියක් සේ දිවෙන මුහුදු බඩ මාර්ගයේ තංගල්ල බලාගිය අප සයුර දුටුවේ එලෙසය.

තරගාවලියේ සමාරම්භය සනිටුහන් කළේ වර්ණවත් සංස්කෘතික නර්තනයක් සමඟිනි. එය උඩරට, පහතරට නැටුමෙන් සජ්ජිත විය. එකී නර්තන ලීලාවන් මනලොල් මෙන්ම කාන්තිමත් විය.

ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, තංගල්ල නගරාධිපති රවිඳු වෙදආරච්චි, හම්බන්තොට දිසාපති ඩබ්.එච් කරුණාරත්න, අග්‍රාමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් නිශාන්ත ජයසිංහ, පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, ලේකම් ජස්වර් උමාර්, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ ඇතුළු සම්භාවනීය අමුත්තන් කීපදෙනෙකු එක්ව සිටියහ. එය චාම් වුවද සන්තුෂ්ඨිකර සමාරම්භයකි.

පළමුව පැවැතියේ තංගල්ල ලා ටැංගෝලියන්ස් හා තිස්සමහාරාම කණ්ඩායම අතරය. සමාරම්භක තරගයේ අවසන් භාගය වද්දී උණුසුමින් ප්‍රබෝධමත් වූ අහස කඩාවැටෙන්නට වූයේය. දිනයේ දෙවැනි තරගය වූ බෙලිඅත්ත ක්‍රීඩා සමාජය හා හම්බන්තොට වයිට් ටයිගර්ස් අතර පැවැත්වුණු තරගය අතර මඟ නතර කළේය. එහෙත් ලබන මස හයවැනිදා දක්වා සෑම සෙනසුරාදා දිනකම මෙම තරගාවලිය පැවැත්වෙයි. 'ග්‍රාමීය පාපන්දු' උණුසුම 'ක්‍රීඩා' කැමරාවේ සටහන් වූ අයුරුය.

කසුන්

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

Comments