තැනක් නැතිවුණොත් සුගතදාස සංකීර්ණයේ පෝටිකෝව යටට හරි යනවා | Page 2 | සිළුමිණ

තැනක් නැතිවුණොත් සුගතදාස සංකීර්ණයේ පෝටිකෝව යටට හරි යනවා

 

RAVINDRA samarawickrama

අපේ පරිපාලනය යටතේ ජනතා බදු මුදල් පිල්ලි ගහන්න දෙන්නෙ නෑ

අලුත් හැඩයක් නව වැඩපිළිවෙළක් අනුව කටයුතු කිරීම සැලැස්මයි

සුගතදාස පාලනාධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයත් වෙනස් කරනවා

හැබැයි මම බෝල බෙදන ලේකම් කෙනෙක් නොවෙයි

රවීන්ද්‍ර සමරවික්‍රම මහතා තරුණ වුවද කාර්යශූර හා පෘථුල අදහස් වලින් සපිරි ලේකම්වරයෙකි. ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය තුළ ඔහුගේ රාජකාරි වපසරිය විහිදී තිබේ. ‘ක්‍රීඩා’ ඔහු මුණගැසුණේ අමාත්‍යාංශයෙන් දියත් කෙරෙන රටේ ක්‍රීඩාවේ ‘හෙට’ දවසේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ‘අද’ දවසේ සාකච්ඡා කිරීමටය.

මුලින්ම අපි මේ රාජ්‍ය අමාත්‍යංශය පිහිටවන්නේ කොහොම ද කියලා කතාකරමු?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර අමාත්‍යාංශ පිහිටුවීමේදී වගේම විෂයන් වෙන්කිරීමේදී සිදුකළ ගැඹුරු අධ්‍යයනයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපනය වන්නෙ. නම් දිග වගේ පෙණුනට රටේ බිම්මට්ටමේ සංවර්ධනය විය යුතු අංශ සලකලා තමයි මේ රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කරලා තිබෙන්නේ. ඒ අනුව රටක ක්‍රීඩාව නගාලීමේදී ඇතිවන ඌණතා නැතිකරන එක අපේ කාර්ය භාරයක්.

ක්‍රීඩා පිටි ටිකක් කපලා, රට පුරා බෝල බෙදලා ක්‍රීඩාවේ යටිතලය සකස් කරන්න පුලුවන්ද?

ඔබ කියපු කාරණාවන් දෙක අපේ අමාත්‍යාංශයේ විෂයන් දෙකක් විතරයි. ඒත් ඒවා ප්‍රධාන කාරණාවන් නොවෙයි. රටේ ඕනෑ කෙනෙකුට බෝල බෙදන්න පුලුවන්. පෞද්ගලිකවත් කරන්න පුලුවන්. ඒත් අමාත්‍යාංශයක් විධිහට තව බොහෝ වැඩ අප කරනවා. කොටින්ම කියනවා නම් රටට බෝල විතරක් බෙදපු යුගය අවසන් කරන්න තමයි මේ වගේ අමාත්‍යාංශයක් නිර්මාණය කළේ. ඉතින් මම බෝල පමණක් බෙදන ලේකම් කෙනෙක් පමණක් නෙවෙයි.

එහෙනං මොකක්ද ප්‍රධාන අරමුණ ?

අපි අපේ අමාත්‍යාංශය යටතේ ග්‍රාමීය ක්‍රීඩාවේ ඌණතාවයන් සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරනවා. උදාහරණයකට අපි දන්නේ නෑ රටේ ක්‍රීඩා පිටි කීයක් තියෙනවාද කියලා. දෙක රටේ විසිරිලා ඉන්න ක්‍රීඩකයෝ කවුද කියලත් අපි අධීක්ෂණය කරනවා.

කුමන පළාත්වලද වැඩිපුරම ක්‍රීඩකයන් මතුවෙන්නේ.

අපි කොහොමද අලුත් ක්‍රීඩකයන් තවත් බිහිකරගන්න ඒ ප්‍රදේශවලට වැඩි පහසුකම් දෙන්නේ කියන එක සොයා බලනවා. ජව සම්පන්න පරපුරක් රට තුළ බිහිකරගැනීමට යන ගමනේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති හදන එක, අයැවැය, රාජ්‍ය අයෝජන වගේම ජාතික සංවර්ධන වැඩපිළිවෙලේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එක. අපේ අමාත්‍යාංශය යටතේ තියෙන ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රතිපත්ති සකස්කිරීමත් පසුවිපරම් කරමින් ඇගයීම ඇතුළු කටයුතු රැසක් අප සතු වගකීම් අතර වෙනවා.

ජව සම්පන්න තරුණ පරපුරක් හදන්න බලාපොරොත්තු වෙන එක හොඳයි. ඒත් පොතට ඇලුණු දරුවන් නිර්මාණය කරන්න හදස මාපියන්ගේ ආකල්ප වෙනස් කරන එක අභියෝගයක්?

නිරෝගී භාවය, විනය වගේම ආර්ථිකය සමෘද්ධිමත් වුණු ක්‍රීඩකයෙක් බිහිකරන එක තමයි අවශ්‍ය වන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශයට, අධ්‍යාපන අමාත්‍යාංශයට එකී ඉලක්ක සාධනය කරන්න අවශ්‍ය පහසුකම් සම්පාදනය කරනවා. මොන දේ තිබුණත් නිරෝගී නැත්නම් මොකටද? ‘සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් සැමට ක්‍රීඩාව’ ගොඩනැංවීම තමයි අපේ ප්‍රමුඛ කාර්යය. ඒ වගේමයි රටේ හැම දරුවෙක්ම ක්‍රීඩකයෙක් කියන තේමාව යටතේ අපි පාසල් සිසුන් ක්‍රීඩාවට ආකර්ශනය කරගන්න වැඩකරනවා. ඔවුන් ජාත්‍යන්තරයට රැගෙන යන්න අවශ්‍ය පෝෂණය, පුහුණුව ඇතුළු සෙසු යටිතල පහසුකම් සපුරනවා. එය අපට කළ හැකියි.

ජීවිතය තුළ තමන්ට ළඟා වෙන්න බැරිවුණු ඉලක්කවලට තමන්ගේ දරුවෝ ළංවෙනවා දකින එක මාපියන්ගෙ හීනයක්. ක්‍රීඩාව ඒ කියන හීනයට බාධාවක් නොවෙන්න වැඩපිළිවෙලක් තියෙනවද?

ඔව්. මම මුලදී කිව්වේ ඒක තමයි. දැන් ක්‍රීඩාව කියන්නේ නිරෝගීකම රැකදෙන, විනය, ශික්ෂණය ඉහළ නංවන, ආර්ථික සුරක්ෂිතතාවක් බිහිකරගන්න හැකිවෙන පුළුල් විෂයක්. අපි ක්‍රීඩාව තුළින් ගොඩනගන්න හදන්නේ මෙන්න මේ ස්ථාවරත්වය.

ඒවුණාට ක්‍රීඩාවේ නිරතවුණාම අධ්‍යාපනය අසාර්ථක වෙයි කියලා මාපියන් තුළ වගේම දරුවන් තුළත් බියක් පවතිනවා නේද?

අන්න ඒ නිසා තමයි ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් හදන්න සැලසුම් දියත් කරලා තිබෙන්නේ. ක්‍රීඩාව කළා කියලා අධ්‍යාපනය නැතිවෙන්නේ නෑ. දෙකම සමබරව කරගෙන යන්න පුලුවන් වතාවරණයක් නිර්මාණය කිරීම, ඊට දිරිගැන්වීම අපි රජයක් වශයෙන් සිදුකරනවා. එවිට රට නිරෝගී බලකායක් විධිහට පෝෂණය වෙනවා. ඒක තමයි ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ වගේම ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනාගේ මූලික ඉලක්කය. අපි කරන්නේ ක්‍රීඩා සංස්කෘතිය වෙනස් කරන එක. එතකොට ඔය කියන බිය නැතිකරන්න හැකිවෙනවා.

සංස්කෘතිය වෙනස් කරන්න මාධ්‍ය වාහකයක් කරගත හැකියි. ඒත් අමාත්‍යාංශය ඒ අවකාශයෙන් ගත්ත ප්‍රයෝජනය ඉතා සීමිතයි?

අපිට අවශ්‍ය එය වෙනස් කරන්න. උදාහරණයකට අපිට අතිරේකව රුපියල් මිලියන තුන්දහසක් වෙන්වුණා. ඒ මුදල රටේ ක්‍රීඩාවට, ක්‍රීඩකයාට ඵලදායක ලෙස බෙදාලිය යුතුයි. ඒ වෙනුවෙන් මාධ්‍ය අවකාශය හරි විධිහට යොදාගන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම පර්යේෂණ ව්‍යාපෘති දියත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ඒත් ඉතිහාසයේ නම් බොහෝවිට සිද්ධ වුණේ අයවැයෙන් ලැබෙන අතිරේක මුදල් බෝලයකට, කඩුල්ලකට, පිට්ටනියක් හාරන්න, තාප්පයක් බඳින්න වියදම් කරලා පරිපාලන නිලධාරීයොයි, දේශපාලනඥයොයි, ඔවුන්ගේ හිතමිත්‍රයොයි එකතුවෙලා කොමිස් හැටියට සාක්කුවල දාගත්ත එක. මේ ගමනත් සල්ලි එහෙම වෙයිද?

ඒවාට ඉඩක් නෑ. හරියට ගේට්ටුව වැහුවනම් හොරුන්ට මුකුත් කරන්න බෑ. අනික අපි වැටුප් ගන්නේ රටේ ජනතාවගේ බදු මුදලින්. මේ අපි වියපැහැදම් කරන්නෙත් රටේ ජනතාවගේ බදු සල්ලි. ඒක එහෙම වෙද්දී ජනතාවගේ මුදල් එක එක්කෙනාට පිල්ලි ගහන්න ඉඩ දෙන්න බෑ. මොකද මම වගකියන්නේ මහජනතාවටයි.

ඔබ අර ඉස්සෙල්ලා කියපු පර්යේෂණ ව්‍යාපෘති මොනවද ?

උදාහරණයකට බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ක එකතුවෙලා සිරකරුවන් පුනරුත්ථාපනයේදී ක්‍රීඩාවේ දායකත්වය ගැන පර්යේෂණයක් කරන්න අපේ සැලසුමක් තිබෙනවා. අනික සිරමැදිරි ඇතුළේ හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා කියලා අප විශ්වාස කරනවා. අපි එවැනි පුද්ගලයන්ට සමාජ පිළිගැනීමක්, මුල්‍යමය වටිනාකමක් ලබාදිය යුතුයි. එවිට ඔවුන් සමාජ විරෝධී භාවයෙන් මිදෙනවා. එය සුවිශාල සමාජ ශෝධනයක්.

මේ දේවල් කඩදාසි වලට සීමාවෙන යෝජනා වෙයිද?

නෑ. අපි මේ වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රියාවට නංවනවා. අනෙක අපේ අමාත්‍යාංශය ආරම්භ කරන ව්‍යාපෘති නිසි අයුරින් අධීක්ෂණය කෙරෙනවා. ඒ නිසා ඒවා කටින් කියන යෝජනා විතරක් නොවෙයි.

අමාත්‍යාංශයටම ඉන්නේ සේවකයෝ 78ක් කියලා ආරංචියි. එහෙම නම් කොහොමද මේ තරම් වැඩකන්දක් කරන්න යන්නෙ?

අපි කරන්නේ සම්පත් ඵලදායී ලෙස භාවිත කරන එකයි. රජයේ ඕනෑම නිලධාරියෙක් අපිට වැඩවලට යොදාගන්න පුලුවන්. මැතිවරණ කොමිසම ඊට නිදසුනක්. ඉතින් මේ ඉන්න හැත්තෑ අටත් වැඩියි. පළාත් සභා, මධ්‍යම රජයේ අනුබද්ධ ක්‍රීඩා නිලධාරීන් ඉන්නවා. දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන් ඉන්නවා, අධ්‍යක්ෂවරුන් ඉන්නවා. අභ්‍යන්තර චක්‍ර ලේඛයක් නිකුත් කරලා වැඩකරන්න විතරයි තියෙන්නේ. ක්‍රීඩා ගුරුවරු ඉන්නවා, ක්‍රීඩා උපදේශකයෝ ඉන්නවා. මේ කණ්ඩායම එක්ක වැඩකරන්න බෑ කියනවා නම් ඒක ගැඹුරින් සොයා බලන්න ඕනෑ කතාවක්.

ඔබේ අමාත්‍යාංශය සම්බන්ධීකරණ අමාත්‍යාංශයක් වගේ. උදාහරණයකට සෞඛ්‍ය, අධ්‍යාපන, ක්‍රීඩා අමාත්‍යාංශ එක්ක ඔබේ අමාත්‍යාංශය සම්බන්ධ වෙනවා. ඒවගේ අමාත්‍යාංශයක ලේකම් ධූරයක් හොබවනවා කියන්නේ ටිකක් දැලි පිහියෙන් කිරි කනවා වගේ අසීරු වැඩක් නේද?

මතුපිටින් බලද්දී එහෙම පෙණුනට අපේ විෂයන්, වගකීම් පැහැදිලිව බෙදා වෙන්කරලා දීලා තිබෙනවා. අපි දන්නවා අපි කළ යුතුදේ මොනවාද, වෙනත් අමාත්‍යාංශයක විෂය පථයට අයත්වන කොටස් මොනවාද කියලා. ඇත්තටම ජනාධිපතිතුමාට අවශ්‍ය විෂය කාගෙද කියන එක නෙවෙයි. එතුමා කියන්නේ රජයක අවශ්‍යතාව සිදුකළ යුතු සුවිශේෂී අමාත්‍යාංශයක් ස්ථාපනය කිරීමයි. උදාහරණයකට ක්‍රීඩා පාසල් අධ්‍යාපනය අමාත්‍යාංශය යටතේ තිබුණට ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් හදන වගකීම තිබෙන්නේ අපේ අමාත්‍යාංශයටයි. දැන් අපි නව වසරට අලුතින් පන්තියක් හඳුන්වා දෙන්නෙත් ඒ විධිහට යි.

දැන් ඔය හදන අතරමැදි පන්තියටත් දේශපාලනඥයා තමන්ගේ පාක්ෂිකයෝ රිංගවා ගන්න ගහන ගැටයක්ම වෙයි ද?

ඒකට එහෙම එක එක්කෙනාට දරුවෝ දාන්න බෑ. ක්‍රීඩා දක්ෂතා ඇති අයට විතරයි එන්න පුලුවන් වෙන්නේ. දේශපාලනඥයාට නෙවෙයි ඕනෑම කෙනෙකුට ක්‍රීඩාවට දක්ෂ දරුවෙක් එතනට එවන්න පුළුවන්. එහෙම එවන අය පරීක්ෂා කරලා තමයි අතර මැදි පන්තියට ගන්නෙ. නැතිව එන්න බෑ.

ජන ක්‍රීඩා ප්‍රවර්ධනයට ඔබේ අමාත්‍යාංශය තුළ සැලසුමක් තිබෙනවා?

ඇත්තටම කියනවා නම් ජන ක්‍රීඩාව කියන්නේ ක්‍රීඩකත්වය ඉතා හොඳින් විචිත්‍රවත් වන ක්‍රීඩාවක්. ජය පැරදුම සමලෙස විඳගන්න, පරාජිතයාට ගෞරව කරන ජයග්‍රාහකයකු නිර්මාණය කිරීමේ අරමුණ තමයි එහි ඇත්තේ. ජන ක්‍රීඩාවේ එකම අරමුණ සතුටයි. ක්‍රීඩා ආර්ථිකයක් තුළදී අපිට ජන ක්‍රීඩා තවත් පැත්තකින් අනාගතයට රැගෙන යන්න පිළිවන්. පර්යේෂණ කරන්න පුලුවන් ක්‍රීඩා රටාවක්.

ක්‍රීඩා ආර්ථිකයක් ගැන සිහිපත් කළ නිසා ත්‍රාස ජනක ක්‍රීඩා මගින් ලබාගත හැකි විනිමය විශාලයි. නමුත් ඔබේ අමාත්‍යාංශය යටතේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි මැදිහත්වීමක් ගැන සඳහන්ව නෑ. ඇයි ඒ?

ඒක ඇත්ත. ග්‍රාමීය ක්‍රීඩා සංවර්ධනය ගැන කතාකරද්දී අපිට ත්‍රාස ජනක ක්‍රීඩා ඇතුළත් කිරීමේ හැකියාව තිබෙනවා. අවශ්‍යතාව පරිදි අපේ විෂය පුළුල් කරගත හැකියි. නමුත් ඒක සංස්කෘතියට ගැලපෙන, පරිසර හිතකාමී ආකාරයට, රේඛීය අමාත්‍යාංශ සම්බන්ධ කරගෙන කළ යුතුයි.

සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සම්බන්ධයෙන් ඔබ අමාත්‍යාංශය සංවේදීද? එතැනට ප්‍රවිශ්ඨ වීමේ බස් සේවාවක් හඳුන්වලා දෙන්න, විශාල පිරිවැයක් නොදරා ක්‍රීඩාංගණය වෙන් කරගන්න ඇති අවස්ථා පුළුල් කරන්න අපේක්ෂාවක් නැද්ද?

තිබෙනවා. අපි දියගම, බෝගම්බර ක්‍රීඩාංගණ වැඩිදියුණු කිරීම මගින් සුගතදාස ක්‍රීඩාංගණයට පවතින දැඩි ඉල්ලුම පහළ හෙළන්න අපේක්ෂා කරනවා. ඒ වගේම සුගතදාස, ටොරින්ටන්, දියගම අතර ක්‍රීඩකයන්ට ගමන් කළ හැකි බස් රථ සේවාවක් නිර්මාණය කරනවා.

හුඟාක් සාර ගර්භ ව්‍යාපෘති ලිපි ගොනු ඇතුළේ හිරකරලා වසර කීපයකින් ඇමැතිවරු, ලේකම්වරු අමාත්‍යාංශයෙන් සමු අරගෙන යනවා. ක්‍රීඩාව එක තැන පල්වෙනවා?

අපි කිසිසේත්ම ඒකට ඉඩ තබන්නේ නෑ. මම ලේකම්වරයෙක් වශයෙන් වැඩ අවසන් කරන තැනින් ඊළඟට පැමිණෙන ලේකම්වරයාට ආරම්භ කරන්න පුළුවන් විධිහට පරිසරය සකස්කරලා තමයි මෙතැනින් නික්ම යන්නේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිබෙන ක්‍රීඩාංගණ ගූගල් මැප් එකෙන් බලන්න හැකි තාක්ෂණයක් අපි ගොඩනගනවා. අපි ගියත් ක්‍රීඩාව නවතින්නේ නෑ. ඒක ගලනය වෙනවා.

අවසන් වශයෙන් ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්න තිබෙනවා නම් මේක අවස්ථාවක් කරගන්න පුළුවන්?

අපි ඉන්න කාර්යාලයට ග්‍රාමීය පාසලක විදුහල්පතිවරයකුට එන්න ගියාම අසීරුතා තිබෙනවා. ඉතින් ඉක්මනින්න අපි මෙතැනින් යායුතුයි. ඉක්මනට තැනක් නොලැබුණොත් අපි සුගතදාස ක්‍රීඩාංගණයේ පෝටිකෝව යටට හරි යනවා. ඒ වගේම මෙරට ක්‍රීඩාවේ හදවත සේ සැලකිය හැකි සුගතදාස පාලනාධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය හැකි ඉක්මනින් වෙනස් කරනවා. එතැන ලාභ ලැබීම කෙසේවෙතත් රජයෙන් යැපෙන තත්ත්වයෙන් යම් පමණකට මුදාගැනීමත් අපේ ඉලක්කයක්. අලුත් හැඩයක් ඇතිව නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛ සැලසුමයි.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments