එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් පිටියට මුලින්ම ගිය සී.එච්. ගෙන් දොරටු විවර වුණු A.S. සහ K.S. | Page 2 | සිළුමිණ

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් පිටියට මුලින්ම ගිය සී.එච්. ගෙන් දොරටු විවර වුණු A.S. සහ K.S.

1973 දී ටෝනි ලුවිස්ගේ නායකත්වය යටතේ එම්.සී.සී. කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණි විටදී කොළඹ පැවති එක්දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම අගනා ජයග්‍රහණයක් වාර්තා කළේය.

1981 ටෙස්ට් වරම් දිනාගැනීමෙන් අනතුරුව එංගලන්තයට ගොස් ක්‍රීඩාකළ ක්‍රීඩකයන් අතර සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වාට හිමිවන්නේ ඉහළ පිළිගැනීමකි.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවට අදට වඩා අතීතයේ හිමිව තිබුණේ ඉහළ පිලිගැනීමකි. මේ ප්‍රාන්ති ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලාංකික ක්‍රීඩක යන්ගේ කතාවය.

'ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍ය සුජී රාජරත්නම් ඊයේ අස්ගිරි ක්‍රීඩාංගණයේදී එම්.සී.සී. පිලේ පන්දුයවන්නන් හමුවේ අපූරු පිතිහරඹයක් පෙන්නුම් කළා. මධ්‍යම පළාත් කණ්ඩායම තරගයෙන් පරාජය ලැබූවත් සුජීගේ පිතිහරඹය වාර්තාගත එකක් වුණා.'

මේ 1969 දවසක මෙරට දිනපතා පුවත්පතක පළවූ ක්‍රිකට් වාර්තාවක මුල් කොටස. වාර්තාවේ සිරස්තලය වුණේ 'පරාජය වුණත් සුජීගෙන් විරෝදාර ඉනිමක්' කියලයි. තවත් පුවතක් මේ ඉනිම වාර්තා කොට තිබුණේ 'ලංකාවේ රාජා එංගලනත්යට බැට දෙයි.' යනුවෙනුයි.

කවුද මේ සුජී එහෙමත් නැත්නම් රාජා. ඔහුගේ ඉනිම මෙතරම් අවධානයක් දිනාගත්තේ ඇයි?

එදා ලංකාවට ආව එම්.සී.සී. කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නා. ඔවුන් නියමිත පන්දුවාර පනහ තුළ ලකුණු 246ක් ලබාගත්තේ කඩුලු හයක් දැවී යද්දීයි. ඊට ප්‍රමුඛ දායකත්වයක් දැක්වූයේ රොජර් ප්‍රිඩොක්ස් (69) හා ජෝන් මරේ (නොදැවී 55) ලබාගත් ඉනිම් වලින්.

පිළිතුරු ඉනිම ඇරඹූ මධ්‍යම පළාත් කණ්ඩායමේ මුල් කඩුලු හය ලකුණු 70ක් තුළ දැවී ගියා. පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණේ සුජී රාජරත්නම් සහ ඩැරල් ලීවර්ස්ය. ඔවුන් දෙදෙනා එංගලන්ත පන්දුයවන්නන්ට තර්ජනයක් වෙමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සම්බන්ධතාවක් පැවැත්වූවා. එතැනදී සුජී රාජරත්නම් ලකුණු 50 ක් සහ ලීවර්ස් නොදැවී 24 ක් රැස්කළා. සුජීගේ අර්ධ ශතකය මිනිත්තු තිස් හයක් පුරා පැතිරී තිබුණේ හයේ පහරවල් පහක් සහ හතරේ පහරවල් තුනක් සමඟිනුයි. ඒ අනුව හහේ සහ හතරේ පහරවල් වලින් ඔහු රැස්කළ ලකුණු ප්‍රමාණය හතළිස් දෙකක්. ඔහුගේ එම ඉනිම සැලකෙන්නේ ‘ලංකා - එංගලන්ත’ අතර පැවැති නිල නොවන ටෙස්ට් ඉතිහාසයේ වාර්තාගත පිතිහරඹයක් ලෙසයි.

එදා ලංකාවට පැමිණි එම්.සී.සී. කණ්ඩායම පන්දුවාර පනහ තරග වෙනුවෙන් මෙරට දී සහභාගි වූ පළමුවැනි ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම. එහි එක් තරගයක් කොළඹ දී පැවැත්වුණේ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ කණ්ඩායම සමඟයි. මෙම තරගයෙන් ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අගනා ජයග්‍රහණයක් වාර්තා කළා. වසර අසූ නවයක් පැරණි එංගලන්ත - ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලංකා කණ්ඩායමක් පළමු වරට එංගලන්තය පරාජය කළ පළමු අවස්ථාව එයයි. ඒ තරගය පන්දුවාර හැටේ එක්දින තරගයක්. ලංකා පිල ජයගත්තේ කඩුලු තුනකින්.

ඒ තරගයේ ලකුණු සාරාංශය පහත දැක්වෙනවා.

එම්.සී.සී. පිල - පන්දුවාර 60ක් අවසානයේ 236/6 (කීත් ප්ලෙචර් 46, කොලින් කවුඩ්රි 38, රොජර් ප්‍රිඩොක්ස් 36, ගුලාට් රසික් 3/47)

සභාපතිගේ පිල - පන්දුවාර 56 කදී 234/7 ( රංජිත් ප්‍රනාන්දු 58, බී.ජී.රීඩ් 57, ධනසිරි වීරසිංහ 43, අනුර තෙන්නකෝන් 42)

මෙහිදී සභාපතිගේ පිලට ජය හිමිවුණේ ලකුණු ලබාගැනීමේ වේගය මතයි. සභාපතිගේ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේ ආරම්භක පිතිකරුවන් වූ රංජිත් ප්‍රනාන්දු සහ බී.ජී. රීඩ් විසින්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක් රැස්කළා. මෙය එදා පිතිකරුවන් දෙදෙනෙක් අතර ඇතිවුණු වාර්තාගත සම්බන්ධතාවයක්.

දෙවැනි ජය

ටෝනි ලුවිස්ගේ නායකත්වය යටතේ එම්.සී.සී. කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ 1973 දි යි. එදා කොළඹ පැවති එක්දින තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම අගනා ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ කඩුලු 4 කින්. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේ මයිකල් තිසේරා. අනුර තෙන්නකෝන් පිත්තෙන් ද, සරත් ප්‍රනාන්දු සහ මෙවන් පීරිස් පන්දුවෙන් ද ශ්‍රී ලංකා ජයග්‍රහණයට අගනා මෙහෙවරක් කළා. පන්දුවාර 45 ක් බැගින් පැවැති එම තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේයි.

එම්.සි.සී. පිල - පන්දුවාර 45 කදී 158/5 (ඩෙනිස් ඒම්ස් 102, ටෝනි ලුවිස් 23, සරත් ප්‍රනාන්දු 2/33 මෙවන් පීරිස් 1/29)

ශ්‍රී ලංකා පිල - පන්දුවාර 43.2 කදී 161/6 (අනුර තෙන්නකෝන් 61, ගජන් පද්මනාදන් 24, මයිකල් තිසේරා 22, ඩේවිඩ් හයින් 20, ක්‍රිස් ඕල්ඩ් 3/34)

ප්‍රාන්ත දස්කම්

ශ්‍රී ලංකාවේදී පමණක් නොවෙයි එංගලන්තයට ගිහින් එරට ප්‍රාන්ත කණ්ඩායම්වලට ක්‍රීඩා කරන්න වරම් ලැබූ අපේ ක්‍රීඩකයන් ගැනත් සිහිපත් වෙනවා. ඒ දෙරට අතර ටෙස්ට් සංචාරයක් දියත්ව ඇති හෙයිනුයි.

ඒ ආකාරයට එංගලන්ත ප්‍රාන්ත තරගාවලියක් නියෝජනය කිරීමට සමත්වූ පළමු ලාංකේය ක්‍රීඩකයා සී.එච්. ගුණසේකර. වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ මොහුගේ සම්පූර්ණ නම දොස්තර චර්චිල් හෙක්ටර් ගුණසේකර. ඒත් එදා ඔහු ජනප්‍රියව තිබුණේ සී.එච්. වශයෙනුයි.

සී.එච්. එංගලන්තයේ ඉතා ජනප්‍රිය මිඩ්ස්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඒකේ ඇති සුවිශේෂත්වය වෙන්නේ 1920 වසරේ එංගලන්ත ප්‍රාන්ත ශූරතාව දිනාගනිද්දී සී.එච්. ඒ කණ්ඩායම නියෝජනය කිරීමයි. ඒ ජයග්‍රාහී කණ්ඩායමට ක්‍රීඩා කළ නිසාම සී.එච්.ට මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ ස්ථිර සාමාජිකත්වය සමඟ විශේෂ රන් පදක්කමකුත් පිරිනැමුණා. ඔහු ලකුණු 208ක් රැස් කරමින් කඩුලු 22 ක් දවාලමින් එම තරග වාරයේ දක්ෂතා දක්වා තිබුණා.

ඩෑන් පිවවඩ්, ක්ලියිව් ඉන්මන්, ස්ටැන්ලි ජයසිංහ, ලැඩී අවුට්ස්න් සහ ගාමිණී ගුණසේන ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවීමට ඉස්සර එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම් වලට ක්‍රීඩා කළ දේශීය ක්‍රීඩකයෝයි.

1981 ටෙස්ට් වරම් දිනාගැනීමෙන් අනතුරුව එංගලන්තයට ගොස් ක්‍රීඩාකළ ක්‍රීඩකයන් අතර සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වාට හිමිවන්නේ ඉහළ පිළිගැනීමක්. ඔහු නියෝජනය කළේ කෙන්ට් ප්‍රාන්තය යි. ඒ 1995 වසරේදී. එහිදී තරග 16 කට ක්‍රීඩා කළ අරවින්ද ප්‍රාන්තය වෙනුවෙන් ලකුණු 1781ක් රැස් කළා. ඊට ශතක හතක් සහ අර්ධ ශතක හතහක් ඇතුළත් වුණා. එම තරග වාරයේ ඔහු රැස්කළ හොඳම ඉනිම් අතර ලකුණු 255ක් සහ 116 ක් ඩාබිෂයර් සමඟ, නොටිංහැම්ෂයර් සමඟ 225, ග්ලැමෝගන් සමඟ 125 ක් දක්වන්න පුළුවන්. ඔහු ග්‍රැහැම් කවුඩ්රි හා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 368 ක සම්බන්ධතාවක් පැවැත් වූයේ ඩාබිෂයර් කණ්ඩායමට එරෙහිවයි.

අරවින්දගෙන් අනතුරුව කුමාර් සංගක්කාර, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන් එංගලන්ත ප්‍රාන්ත පිටියේ පෑ දස්කම් ද අමතක කරන්න බෑ. 2017 වසරේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරමින් සංගක්කාර එසෙක්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 200 ක් සහ 84 ක් රැස්කරමින් කැපී පෙණුනා. ඔහු මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව ලෝඩ්ස් පිටියේදී 114 ක් සහ 120 ක් රැස්කළා. පසුව යෝක්ෂයර් පිලට එරෙහිව නොදැවී ලකුණු 180ක් ලබාගත්තා. කුමාර් සංගක්කාර එවර ප්‍රාන්ත තරගමාලාවේ ලකුණු දහසේ සීමාව ඉක්මවා ගිය පළමු පිතිකරුවාත් වුණා.

ටෙස්ට් වරම් ලැබෙන්න ඉස්සර 1979 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනුබද්ධ රටවල තරගාවලියක් සඳහා එංගලන්තය ගියා. ඒ තරගාවලියෙන් අයි.සි.සී. ශූරතාව දිනාගන්න ඔවුන්ට හැකිවුණා. ඒ ජයග්‍රහණය එම වසරේම පැවැති ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාවට අවස්ථාව උදාකර දුන්නා. එහිදී ප්‍රාන්ත කණ්ඩායම් සමඟ පැවැති තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා කැපී පෙණුනා.

එතැනදී රංජන් මඩුගල්ල කෙන්ට් සහ ඩාබිෂයර් කණ්ඩායම්ට එරෙහිව පිළිවෙලින් 88 ක් හා 86 ක් රැස් කරද්දී ඩී.එස්. ද සිල්වා කෙන්ට් පිලට එරෙහිව 76ක් හා වගේම පන්දුයවන්නෙක් වශයෙන් 5/7ක් ලෙස කඩුලු දවාලීමට සමත් වුණා. ඒ වගේම ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමඟ 4/17 ක් ලෙස කඩුලු දවාලමින් දස්කම් පෑවා.

සුනිල් ජයසිංහ නොටිංහැම්ෂයර් සමඟ 55, ඩාබිෂයර් සමඟ 64 කුත් අජිත් ද සිල්වා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල හා 6/30 ක් දවා ගනිද්දී, රංජන් මඩුගල්ල සහ ඩී.එස්. ද සිල්වා හත්වැනි කඩුල්ල වෙනුවෙන් කෙන්ට් පිලට එරෙහිව ලකුණු 159 ක සම්බන්ධතාවයක් පවත්වමින් කැපී පෙණුනා.

ක්‍රිස්ටෝපර් රණසිංහ

 

Comments