ඈපා සොවින් | Page 2 | සිළුමිණ

ඈපා සොවින්

 

ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන තැනක් ලැබෙන්නේ චරිත සංවර්ධනයට. පන්දුව පිත්තේ යන්තම් ගෑවිලා උඩපන්දුවක් විධිහට රැකගත් විගස විනිසුරුවරයා කියන්න ඉස්සෙල්ලා අපිට පිට්ටනියෙන් ඉවත්වෙන්න කියලයි ඔහු කියාදුන්නේ. ඒත් අද ඒ තත්ත්වය හොඳටම පිරිහිලා.

මම ඔහුට මුහුණ දුන් පළවෙනි අවස්ථාවේ පිට ඉන්නට පිටින් දාපු පන්දුවකට හැන්ද දානව වගේ ගහන්න ගිහින් ස්ලිප් බෝඩ් එකට උඩ පන්දුවක් දුන්නා.

බොහෝ විට මතක මිහිරි ය. එවැනි බොහෝ මතක ඉමිහිරි ය. එවැනි ඉමිහිරි මතක නැවත නැවත සිහිපත් කිරීම ද සුවදායක ය. එහෙත් ඒ මතක යනු මතකයන්ම පමණි. අප එසේ කියන්නේ ඒවා යළි ඒ මතක ආවර්ජන ඇසුරේ හැරුණු කල කිසිම දිනෙක ස්පර්ශ කළ නොහැකි හෙයිනි. එහෙයින් ඉමිහිරි වුව මතකයන් සිහිපත් කරද්දී ඇතිවන්නේ ශෝකී භාවයකි. එකී ශෝකී භාවය නිකිණි කොටන්නාක් සේ සිතේ මතුවී වියැකී යයි. ඈපාසිංහයන්ට ද එහි වෙනසක් ඇත්තේ නැත. එහෙත් ඔහු තම අතීතයේ අභිරමණීය මතක අසපුව තුළ මහත් අභිරුචියෙන් සක්මන් කරයි. අපි ද ඔහු පසුපසින් එකී ස්මරණ චාරිකාවේ නියැලීමු.

එක්දහස් නවසිය පනස් හත වර්ෂය ඈපාසිංහයන් ගේ පාසල් දිවියේ කාර්ය බහුල කාල පරිච්ඡේදයක් විය. වසරේ මුල් මාස තුන තුළ ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරග දහයක් පැවැත්වීමට නියමිතව තිබූ හෙයිනි. එම තරග සියල්ල සති අන්තයේ පැවැත්වෙන අතර සතියේ සෙසු දින ගෙවී ගියේ සති අන්තයේ ක්‍රිකට් සටන් වෙනුවෙන් සිදුකළ පෙර පුහුණුවීම් සඳහාය.

‘එදා අපි ක්‍රිකට් ගැහැව්වේ කණ්ඩායම් හැඟීමෙන්. එතැන පෞද්ගලික කීර්තිය ගොඩනගා ගන්න ලොකු සැලසුමක් තිබුණේ නෑ. ඒ නිසා අපි කවදාවත් වැටුනේ නැහැ. අපිට ක්‍රීඩාව තුළින් ඒ අධ්‍යාපනය නිසි අයුරින් කියා දුන්නා. විශේෂයෙන් මෙහිදී ජෙරී ගුණරත්න මහත්තයාගේ නම සඳහන් කළ යුතුමයි. ඔහු ක්‍රීඩාවේ විනය ගැන අපට කියාදුන් පාඩම් බොහෝමයි. ඒ පාඩම් අතර වර්තමානයටත් ගැලපෙන වැදගත් පාඩමක් මට සිහිපත් වෙනවා, ‘ලකුණු සටහන් කරන්නා ඔබේ නම ඉදිරියේ ලියන්නේ ඔබ දිනුවද පැරදුණාද කියන එක නොවේ. ඔබ මහත්මයෙක් විධිහට තරග කළාද නැද්ද කියන එකයි. ඒක තමයි ක්‍රිකට් කියන්නේ.’ ඈපාසිංහයෝ පැවසූහ. එය අදටත් ගැළපෙන නිශ්චිතාර්ථ දෙන ක්‍රිකට් පාඩමකි.

‘ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන තැනක් ලැබෙන්නේ චරිත සංවර්ධනයට. පන්දුව පිත්තේ යන්තම් ගෑවිලා උඩපන්දුවක් විධිහට රැකගත් විගස විනිසුරුවරයා කියන්න ඉස්සෙල්ලා අපිට පිට්ටනියෙන් ඉවත්වෙන්න කියලයි ඔහු කියාදුන්නේ. ඒත් අද ඒ තත්ත්වය හොඳටම පිරිහිලා.’ ඔහු පැවසුවේ ඉමහත් කලකිරීමකිනි.ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය පරාජය කරමින් මුදලට ඔට්ටු තබන්නන් අද පෙරමුණ ගෙන ඇති සැටියකි.

‘හරියටම බැලුවොත් මගේ පාසල් ක්‍රිකට් දිවියට මාස තුනයි. තරග කළේ තරග දහයකට පමණයි. ඒකත් වාර්තාවක්. ඒ අතරවාරයේ තරග පහකදී මමත් සරත් සිල්වාත් එකතු වෙලා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු සියයක සම්බන්ධතාව ඉක්මවා ගියා. ඇත්තටම සරත් කියන්නෙ දක්ෂ වමත් පිතිකරුවෙක්. මම ලකුණු තිහක් ගන්න විට සරත් ලකුණු හැත්තෑව ඉක්මවනවා. මම නිතරම උත්සාහ කළේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට වැඩිපුර අවස්ථාව දීලා කණ්ඩායමට ශක්තිමත් පදනමක් ලබා දෙන්නයි. ආනන්ද, නාලන්දා අපේ අවසන් තරගය බොරැල්ලේ සරවනමුත්තු (ඕවල්) ක්‍රීඩාංගනයේ පවත්වන දිනයත් කෙමෙන් කෙමෙන් උදාවුණා. එය මගේ අවසන් තරගය. මම එදා බොහොම සැහැල්ලු හිතින් තමයි ක්‍රීඩා කරන්න ගියේ. අපේ කණ්ඩායමේ පිතිකරණයේ අනුපිළිවෙල අනුව මමත්, සරත් සිල්වා, මිත්‍ර සිරිවර්ධන, චන්ද්‍රසිරි වීරසිංහ (නායක), දයා ඉලුක්කුඹුර, ෂර්ලි වීරසිංහ, නිහාල් අමරදාස, මහින්ද අතුලත්මුදලි, මහවත්ත ප්‍රේමරත්න, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ඩන්ස්ටන් ද සිල්වා, තිලක් පලාකඩ ඇතුළත් වුණා. මුළු පිටිය වටාම අනන්ද නාලන්දා කොඩි ළෙල දෙනවා. පාසල් නරඹන්නන් වගේම අමුත්තන් ගෙනුත් ක්‍රීඩා මණඩප පිරිලා. මුලින්ම ලකුණු ලබා ගැනීමේ අවස්ථාව හිමිවුණේ ආනන්දයට. පන්දු යැවීම ආරම්භ කළේ ෂර්ලි වීරසිංහයි, ගාමිණී ජයවික්‍රම පෙරේරයි. පළමු ඉනිම සඳහා මගේ මතකයේ හැටියට ආනන්ද කන්ඩායම සියලු දෙනාම දැවී ලකූණු 255 ක් ගත්තා. ජයවික්‍රම පෙරේරා අපේ දක්ෂ වමත් වේග පන්දු යවන්නා . ඔහු ලකුණු 55 කඩුලු පහක් දවා ගත්තා. මම ටිප් කැච් දෙකකින් ඔහුට සහය දුන්නා. ඒ වගේම අපේ දඟ පන්දු යවන්නන් වුණේ මහවත්ත ප්‍රේමරත්නයිළ මහින්ද අතුලත් මුදලයි. මේ පන්දු යවන්නන අතරින් ප්‍රේමරත්න 1958 දී ත් ජයවික්‍රම පෙරේරා 1960 ත් නාලන්දාවේ නායකයන් ලෙස කටයුතු කළා මට මතකයි. ඇත්තෙන්ම ගාමිණීගේ තිබුණ පන්දු යැවීමේ අති දක්ෂ හැකියාව ඒ කාලේ ලංකාවේ ජාතික තලයට ගියානම් ඔහු ජාත්‍යන්තර කීර්තියට පත්වන්නට ඉඩ තිබුණයි කියලයි මට හිතෙන්නෙ.’ ඔහු පවසයි.

ගාමිණී ජයවික්‍රමට අමතරව ලින්කන් පෙරේරා (1947) හා අසෝක පෙරේරා (1963) ද නාලන්දා පිලේ නායකත්වය දරා තිබේ. ‘ආනන්ද - නාලන්ද තරගයේ තේ පානයෙන් පසුව පළමු ඉනිම සඳහා මමත් සරත් සිල්වත් පිටියට පිවිසුණා. මොනවා උනත් එදා මම ටිකක් කලබල වුණා වැඩියි. සනී යටවර ඒකාලේ ආනන්දයේ මුල් පෙළේ වේග පන්දු යවන්නෙක් ඔහු පසු කාලෙක සර් ගාෆීර් සෝබස් ගෙත් විකට්ටුව දවා ගත්ත දක්ෂයෙක්. මම ඔහුට මුහුණ දුන් පළවෙනි අවස්ථාවේ පිට ඉන්නට පිටින් දාපු පන්දුවකට හැන්ද දානව වගේ ගහන්ඩ ගිහින් ස්ලිප් බෝඩ් එකට උඩ පන්දුවක් දුන්නා. ඒ වෙන කොට මම ලකුණු දෙකයි. මම ක්‍රීඩාගාරයට එන කොට ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ගුවන් විදුලියේ සජීවී විස්තර ප්‍රකාශය ඇහෙනවා. ඒ කාලේ හිටපු ප්‍රවීණ ක්‍රීඩා විස්තර ප්‍රකාශක සිරිසෝම ජයසිංහ කියනවා, ඈපාසිංහ අනවශ්‍ය පාරක් එල්ල කරන්න ගිහින් දැවී ගියා කියලා. ඔහු මේක කිහිප විටක්ම කියන කොට මගේ හිතට දුකක් වගේම කේන්තියකුත් ආවා.

‘ක්‍රිකට් ක්‍රීඩා කරද්දී විනිශ්චයකාරවරුන්ගේ තීරණවලට අභියෝග කරන්න එපා කියලා ජෙරී ගුනරත්න සර් නිතරම අපිට අවවාද කළා. විනිසුරුවරයා ඇඟිල්ල ඔසවන්න පෙර අත් ආවරණ ගලවා පිටියෙන් නික්මී යාම මහත්මා ගතියක් බව ඔහු අපට හැමවිටම කියාදුන්නා. ඒත් අද වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ මහත්මා ගතිය හොඳටම පිරිහිලා ගිහින්.’ ඈපාසිංහයෝ පවසති.

වර්තමානයේ ක්‍රිකට් පිටියේ නොහික්මුණු අරගල සහ ගැටුම් අපට දක්නට ලැබෙන්නේ එහෙයිනි එදා ක්‍රිකට් ක්‍රීඩාවකි. එහෙත අද එය ව්‍යාපාරයකි.

 

ලබන සතියට - ඈපාසිංහට ගුවන් විදුලියට හිත යයි

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments