මහනුවර මහාමායාවෙන් පොත් වැස්සක් | සිළුමිණ

මහනුවර මහාමායාවෙන් පොත් වැස්සක්

හනුවර අඳුර දියකර හරිමින් දළදා මැඳුරට ඉහළින් හිරු හෙමින් හෙමින් අඳුරු වළාවන් අතරින් එඹිකම් කරමින් අහසට නැගෙත්දී රූස්ස ගස්වල රෑ පුරා වසා සිටි සියොතුන් මෙතෙක් වේලා පැවැති නිහඬ බව බිඳිමින් ගී ගයමින් එහේ මෙහේ ඉගිළ ගියේ වෙනදා නැති උද්‍යෝගයනි. මීදුමට බියෙන් මෙන් ගල්ගැසී සිටින කිරි මුහුද දෙසින් ඇදී ආ මඳනල දළදා මැඳුර සිපගෙන උඩවත්ත කැලෙන් ගමන නිමකරත්දී තුරුලතා නළියන්නට පටන් ගන්නේ හරියට නැටුමකට සැරසෙන්නාක් මෙනි. සීතත් සමඟ හිරිපොද වැස්සක් ඇද වැටෙමින් පරිසරය ආශිර්වාදාත්මක ස්වරූපයෙන් හැඩගැහෙද්දී ශ්වේත වර්ණයෙන් සැරසුණු මහනුවර මහාමායා බාලිකාවේ සිසුවියන් පනස් දෙනෙකු සුඟන්දවත් මල් සමඟ පොත් ගොන්නක් දෝත දරමින් වැව අද්දර දිගේ එක පෙළට ගමන් කරන්නේ ඓතිහාසික සිදුවීමකට මුල පුරන්නටය. ඒ බුදුන් වහන්සේගේ සූඅසූ දහදක් ධර්මස්කන්ධයේ පහස ලද වාම ශ්‍රී දළඳා ධාතූන් වහන්සේ උදෙසා මෙතෙක් ඉතිහාසයේ කිසිදු දිනක කිසිවකු විසින් නොකළ පූජාවක් සඳහාය. මහාමායාවේ දෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන තෙසන්‍යා අල්වීර දියණිය පොත් නවයක් ලියා ඊට දායකත්වය ලබාදී තිබිණි. ඇය පෙරටුගත් ඇගේ සහෝදර සිසු කැළ හා ගුරුවරු මේ සූදානම ඔවුන් අතින් ලියවුණු පොත් 2564 ක් දළදා සමිඳුන්ට පූජා කරන්නටය. මහාමායා පන්හිඳෙන් දළදා උපහාර ලෙසින් නම් ලද මේ උතුම් පූජාව සුවිශේෂි එකක් වන්නේ එකම දිනක පාසැල් දරුවන් විසින් මෙතරම් විශාල පොත් සංඛ්‍යාවක් එකවර එළිදැක්වීම නිසාය.

පොත් 2564 ක් මහාමායා දියණියන් ලවා ලියවා දළදා වහන්සේට පූජා කරන්නට එම විදුහලේ ආචාර්යවරයකු වන එම්. එම් සෙනෙවිරත්නට මේ අදහස පහළ වන්නේ විදුහලේ 89 වැනි සංවත්සරය නිමිත්තෙනි. ඒ මඟ පෙන්වීම ඔස්සේ සිසු දරුවෝ පොත් 2564 ක් ලියා පළකර තිබුණේ මෙම වසරේ උදාවූ බුද්ධ පරිනිර්වාණයෙන් 2564 වසර සිහිගන්වන්නටය. සිදුහත් බෝසතාණන්ගේ මවගේ නම් ලද මහාමායාවේ අකුරු කළ දියණියෝ ගුණයෙන්ද මහාමායාව හා සම කරන්නට 89 වසක් තිස්සේ වෙහෙසුණු පාසැලේ ආදි කතුවරුන්ට පොත් පිළිගැන්වීම සිදු කළේ දළදා සමිඳුන් විෂයෙහි ග්‍රන්ථ පූජාව ඉෂ්ඨ සිද්ධ කිරීමෙන් අනතුරුව. කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පාසැල් වැසී ගොස් සිසු දරුවන් නිවෙස් වලට වී ගත කළ කාලය අර්ථවත්ව යොදාගත් ආකාරය පෙන්වන්නට මීටත් වඩා උදාහරණයක් අවැසි නැත. පොත් ලියන්නට ළමුන් උනන්දු කළ ඇතැම් ගුරවරු හා ආදි සිසුවියන්ද අවසානයේ නතර වී තිබුණේ ග්‍රන්ථ කතුවරු වීමෙනි. මවගේත්, දියණියගේත්, ගුරු මවගේත් ගත් කතු පදවි ප්‍රාප්තිය එකම මොහොතක එකම තැනකදී සිදුවීමෙන් ඔවුනොවුන්ගේ හදවත් තුළ උපන් හැඟීම් සමුදාය අවසානයේ පිටතට පැන්නේ සතුටු කඳුළු ස්වරූපයෙනි.

ඉංග්‍රීසීන් විසින් 1815 දී කන්ද උඩරට යටත් කර ගැනීමෙන් පසු සෙංකඩගල පුර බෞද්ධ කාන්තා විද්‍යාලයක් නොමැති වීමේ අඩුව පුරවාලමින් 1832 ජනවාරී 14 දින බෞද්ධ කාන්තා විද්‍යාලය නමින් මහනුවර මහාමායා වේ උපත සිදුවිය. සෑම වසරකම පාසැලේ සංවත්සර උත්සවය වෙනුවෙන් නොමැකෙන යමක් කරන්නට සිසු දියණියන්ට ශක්තිය දුන්නේ ගුරුවරු හා ආදි සිසුවියන්ය. කොවිඩ් තත්ත්වය සමඟ පසුගිය වසර පුරා නිවෙස් වලට වී සිටි දරුවන්ට තමන් කැමැති ඕනෑම අදහසකට අනුව පොතක් ලියා පළ කරන්නට යැයි අදහස දුන්නේ එම විදුහලේ ආචාර්යවරයෙකු වන එම්.එම් සෙනෙවිරත්න ය. තමන් අකුරු කරන පාසැල් මෑණියන්ට කෘත ගුණ දැක්විය හැකි හොඳම ක්‍රමය පාසැල් කාලය තුළදීම පොතක් ලිවීම බව ඔහු කීවේ අද ඊයේක නොවේය. කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේත් කටුගස්තොට ශාන්ත අන්තෝනි

මහා­මායා දිය­ණියෝ දළදා වහ­න්සේට පොත් පූජා කළ අයුුරු මාහා­මායා විදු­හල

බාලිකාවේත් ගුරුවරයකු ලෙස කටයුතු කරද්දී ඔහු ළමුන් ලවා පොත් ලියවා ඒවා මුද්‍රණ ද්වාරයෙන් එළිදක්වා තිබිණි. එහි දිගුවක් ලෙස මධ්‍යම පළාතේ සියලු පාසැල් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායකගේද සහය ඇතිව මධ්‍යම පළාතේ සිසුදරුවන් විසින් ලියන ලද පොත් 5000 ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී එළිදැක්වූයේ මැදරට ගත්කතු අංකුර අභිෂේක මංගල්‍යය නමිනි. එකවර එතරම් පොත් ප්‍රමාණයක් පාසැල් දරුවන් විසින් ලියා පළ කළ ලොව ප්‍රථම අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්ව තිබේ.

‘අද දරුවෝ පොත පතින් ඈත් වෙලා. ගොඩක් ළමයින් නිදහස් කාලය ගත කරන්නේ ජංගම දුරකතනයත් එක්ක. වීඩියෝ ක්‍රීඩා කරන එක තමයි ළමයින්ගේ විනෝදාස්වාදය.ළමයින්ගේ හිත්වල ලස්සන සිතුවිලි උපදිනවා. මේවා පිටතට ගන්න අද ක්‍රමයක් නැහැ. මොකද දරුවෝ ස්මාර්ට් ෆෝන් එක්ක හුදකලා වෙනවා. අද පාසැල් පුස්තකාල භාවිතයෙන් දරුවන් ඈත් වෙලා. මම හිතුවා මේ කාරණා විවේචනය කරමින් ඉන්නවට වඩා එක දරුවෙක් හරි පොතක් කියවන්න ලියන්න හුරු කරන්න ඕන කියලා. පොත් කියවීම ළමයා කරනවාද නැද්ද කියන එක අපිට තේරුම් ගන්න කාලයක් යනවා. එහෙත් දරුවෙක් පොතක් ලියන්න උත්සහ කරනවා නම් අපිට ඒක මුල පටන්ම පේනවා. කටුගස්තොට රාහුල විදුහලට වසර 125 ක් සපිරුණු වෙලාවේ මම ළමයින්ට කිව්වා අපි ඉගෙන ගන්න ඉස්කෝලෙට පොත් ලියලා උපහාර කරමු කියලා. ඒ ළමයි පොත් 206 ක් ලියලා එළි දැක්වූවා. ඊට පස්සේ ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ දරුවෝ පාසැලේ 79 වන සංවත්සරයට පොත් 267 ක් ලිව්වා. පසුව මම මහනුවර මහාමායා විදුහලට ආවා. 2017 දී විදුහල්පතිනිය වූ විතානාච්චි විශ්‍රාම යනකොට මම දරුවන්ට කිව්වා අපි විදුහල්පති තුමියට පොත් ලියලා උපහාර කරමු කියලා. එදා දරුවෝ පන්හිඳෙන් උපහාර කියලා පොත් 150 ක් ලියලා විදුහල්පතිනියට උපහාර පුදනකොට ඇයත් වේවැලක් නොව සැරයැටියක් කියලා පොතක් ලියා පළ කළා. අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක් ලෙසින් ජාතික මට්ටමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළේ මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් එම්.එම් සෙනෙවිරත්න ගුරුපියාණන් පවසයි.

ඡායාරූප - රුවන් මීගම්මන

Comments