කොවිඩ් රැල්ල දිය­ව­න්නා­ව­ටත් හමා එයි | Page 3 | සිළුමිණ

කොවිඩ් රැල්ල දිය­ව­න්නා­ව­ටත් හමා එයි

ආසා­දි­ත­යන් හඳුනා ගැනීම සඳහා දිව­යින පුරා සිදු­ක­රන රැපිඩ් ඇන්ට­ජින් පරී­ක්ෂ­ණ­යක අව­ස්ථා­වක්
ආසා­දි­ත­යන් හඳුනා ගැනීම සඳහා දිව­යින පුරා සිදු­ක­රන රැපිඩ් ඇන්ට­ජින් පරී­ක්ෂ­ණ­යක අව­ස්ථා­වක්

ට වඩා සැරිසරන කොවිඩ් 19 වසංගත අවදානමෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද උණුසුම් වූයේ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකරට, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකිම්ට හා ඇමැති වාසුදේව නානායක්කාර කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමඟය. කොවිඩ් -19 වෛරස පරීක්ෂාව සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල සති අන්තය වන විට ලැබී තිබූ අතර ඒ අනුව එම මන්ත්‍රීවරුන් කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

 

කෙසේ නමුත් 14 වැනිදා පාර්ලිමේන්තුවේ සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වූයේ පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොරෝනා වයිසරය ආසාදනය වී ඇති බවයි. පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ නියෝජ්‍ය මහ ලේකම් හැර සභානායක ලේකම්, ආණ්ඩු පක්ෂයේ ලේකම්, විපක්ෂ නායක ලේකම්, වේත්‍රධාරී, නියයෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී ඇතුළු සියලුම අංශ ප්‍රධානීන් ආහාරපාන ගනු ලබන්නේ එම භෝජනාගාරයෙනි. මේ වන විට එම භෝජනාගාරයේ ආහාර ගත් ආණ්ඩු පක්ෂ ලේකම්වරයාට සහ අගමැතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේට කොවිඩ් වැලඳී ඇති බව තහවුරු වූ අතර මේ නිසාවෙන් ඔවුන් ආශ්‍රය කළ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කරවීමටද පියවර ගැණුනි. මේ අනුව එම භෝජනාගාරයේ ආහාරපාන ගනු ලබන ඉහත කී සියලුම විධායක නිලධාරීන් හට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වේ.

15 වැනි සිකුරාදා මන්ත්‍රීවරුන් 16ක්, පොලිස් නිලධාරීන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු 493කට පී.සී.ආර් පරීක්ෂණ සිදු කළේය. කතානායක, මැති ඇමතිවරු, පාර්ලිමේන්තු මහලේකම්වරයා හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 463 දෙනකු පසුගිය 13 වැනිදා පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කෙරුණු අතර ඒවායේ ප්‍රතිඵලද 15 වැනිදා වන විට ලැබීමට නියමිතව තිබුණි. එම ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කෙරෙනු ඇති බවත් වේත්‍රධාරි කාර්යාලය නිවේදනය කළේය.

කොවිඩ් ව්‍යාප්තියේ පාලනය සඳහා කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් හඳුනා ගනු ලබන අවදානම් ප්‍රදේශ හුදෙකලා කිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින අතර ඒ අනුව බොරැල්ල පොලිස් වසමට අයත් ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය සහ ගෝතමීපුර 24,78 වත්ත යන ප්‍රදේශ හුදකලා කෙරුණේ සතියේ ආරම්භක දිනය වූ 11 වැනිදාය. මේ අතර කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් එදින හුදෙකලා බවින් ඉවත් කෙරණි.

11 වැනි සඳුදා බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කෙරුණු අතර සිසුන්ගේ පැමිණීම ප්‍රතිශතයක් ලෙස සියයට 51ක් බවත් ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රතිශතයක් ලෙස සියයට 80 ඉක්මවා තිබූ බවත් වාර්තා විය. කලවාන නගරයේ සහ අවට පාසල් නවයක් නැවත දැනුම් දෙන තෙක් වසා දැමීමට කටයුතු කෙරුණේද එවැනි පසුබිමක් තුළය. ඒ අතර නැඟෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් 32ක් තවදුරටත් වසා තැබෙන බව ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවසුවාය. ඒ අනුව කාත්තන්කුඩි කලාපයේ පාසල් 25ක්, කල්මුණේ කලාපයේ පාසල් 05ක් තිරික්කෝවිල් කලාපයේ එක් පාසලක් හා අම්පාර කළාපයේ එක් පාසලක් තවදුරටත් වසා තැබෙන අතර එම පාසල් 32 හැර සෙසු ප්‍රදේශවල පාසල් 11 වැනිදා සාමාන්‍ය පරිදි ආරම්භ විය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වාර්තා වූයේ ඔවුන් කිහිපදෙනකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව ඉකුත් සතියේ පොලිස් නිලධාරින් 60 දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂාවකදීය. ආසාදිත රෝගීන් ප්‍රතිකාර සඳහා කන්දකාඩු, පූනානි හා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පුත්තලම ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්තරවරුන් 44 දෙනකු වහාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කටයුතු කළේ පුත්තලම ඩිපෝවට අයත් මන්නාරම කොළඹ බස් රථයේ කොන්දොස්තර වරයකු කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟය.

මාතර නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු ඇතුළු 5 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා දැමුණේ ඉකුත් 12 වැනිදාය.

මුහුණු ආවරණ නොපැලඳි පුද්ගලයන් සම්බන්ධයෙන් 12 වැනිදා දක්වා සිදු කළ පී. සී. ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදිතයන් 46 දෙනකු හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය. ඉකුත් 5 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 2334 දෙනෙකු සිදු කළ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේ දී මෙම පිරිස ආසාදිතයන් වශයෙන් තහවුරු කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියේය. මෙම කාලය තුළ පුද්ගලයන් 1313 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඔවුන් අතරින් 13 දෙනකු කොවිඩ් ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන ඇති අතර තවත් 1021 දෙනෙකු පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර ඔවුන් අතරින් 27 දෙනකු ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන ඇත. මුහුණු ආවරණ නොපලඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

අහඹු ලෙස සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට අනුව දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙනුර ප්‍රගීත් හෙට්ටිගමගේට සහ ඔහුගේ රියැදුරාට කොවිඩ් - 19 කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 දා අම්පාර උහන ලාතුගල ප්‍රදේශයේ පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනටද උප සභාපතිවරයා සහභාගි වී ඇති බවත් එහිදී ඔහු මහජනතාව සමඟ සමීපව සිටි බවත් සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කරගෙන ඇත. ඒ අනුව ඔහු ඇසුරු කළ සමීපතම පවුල් 100ක් පමණ නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. උප සභාපති වෙනුර ප්‍රගීත් හෙට්ටිගමගේ ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව දැන ගත් වහාම ඔහු සමඟ සමීපව කටයුතු කළ වනජීවි වන සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන පදිංචි නිවාස විෂබීජානුහරණය කිරීමට පියවර ගෙන ඇති අතර එම පවුල්වල අය නිරෝධායනය කර ‘පීසීආර්’පරීක්ෂණවලට යොමු කෙරිණ.

කොළඹ ප්‍රදේශ දෙකක ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අවනත නොවී නැවතත් සමූහ වශයෙන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඇති බවට සිවිල් ඇඳුමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරීන් වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඉකුත් 13 වැනිදාය. කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරව බවක් පෙනෙන්නට ඇති බවත් ඒ හේතුවෙන් නැවත එම ප්‍රදේශවලින් කොවිඩ් පොකුරු සහ අනු පොකුරු ඇතිවීමේ ඉඩකඩක් ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය. එවැනි අවදානමක් මතු වුවහොත් එම ප්‍රදේශ නැවත හුදෙකලා කිරීමට සිදුවිය හැකි බවටද හෙතෙම අනතුරු ඇඟවීය.

කොවිඩ් 19 වයිරසය මෙරට ව්‍යාප්ත වූ ආරම්භයේ සිට පසුගිය 13 වැනිදා දක්වා මෙරට සිදුකර ඇති සමස්ත පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1,427,366ක් බව එදින පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාව ඇතුළ් ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළු වීම ඉකුත් 14 වැනිදා සිට තහනම් කිරීමට එරට රජය විසින් පියවර ගෙන ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ජපානයට ඇතුළු වීම තහනම් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කොවිඩ් 19 වයිසර ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇතැයි වාර්තා වූයේ පසුගිය 14 වැනිදාය. ඒ අනුව ඔහු තම නිවෙස තුළම ස්වයං නිරෝධායනට ලක්වෙමින් සිටී.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 14ක්, කළුතර දිස්ත්‍රික්කයේ වසම් වසම් 13ක්, කොළඹ දිස්ත්‍රික්කයේ වසම් 10ක්, අම්පාරේ වසම් 11ක්, රත්නපුර වසම් 6ක් ඇතුළු දිවයින පුරා ග්‍රාමසේවා වසම් 64ක් හුදෙකලා කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීම් ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඉකුත් 14 වැනිදා නිවේදනය කළේය.

 

Comments