අප්‍රි­කානු බෝඩ­රයේ ඡේද­නය වෙන ස්ත්‍රී නිමිත්ත | සිළුමිණ

අප්‍රි­කානු බෝඩ­රයේ ඡේද­නය වෙන ස්ත්‍රී නිමිත්ත

ජනනේන්ද්‍රිය සුන්නත් කිරීම ‘ඉතාමත් සුළු‘, ‘හානිකර නොවන්නක්‘ යන්න පවසමින් එය ‘සාමාන්‍ය දෙයක්‘ වශයෙන් දැක්වීමට ඇතැමුන් උත්සහ දැරුවද,විවිධ අවස්ථාවන්හි මෙවැනි දෑ සම්බන්ධව පසුගිය කාලය තුළ ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි පහළොවක් ලැබී තිබීම තුළින් එය හිතන තරම් ‘සුළු‘ නොවූවක් බව පැහැදිලි වෙයි. ස්ත්‍රී ජනනේන්ද්‍රිය චර්මඡේදනයට එරෙහි වූ නීතිමය තත්ත්වයක් අප රට තුළ දක්නට නොලැබුණද ‘ළමා අපයෝජනය‘ යටතේ මෙවැනි අවස්ථාවකදී නීතිය හමුවට යාමේ ඉඩකඩ ඇත.

එක්දහස් නවසිය හැටපහ වසරේ එක්තරා දිනයෙක සෝමාලියානු බෝඩරයෙහි, ගිනිගෙන දැවෙන කාන්තාරයෙහි අතිශයින් මන බඳනා කුසුමක් පිපුණි. ආශ්චර්යය නම් ඒ කුසුම පිපුණේ ගසක් වැඩී, කුසුමක් හට ගැන්මට අවැසි ජලය හෝ පොහොර වැනි වූ කිසිවකුදු නොමැතිවය. එහෙත්, ඒ කුසුම ලෝකය පුරා වෙසෙන බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට හේතුවිණි. ඒ අන් කිසිවකුදු නොව, ඉන් නැඟුණු සුගන්ධය අකලට මිලින වන්නට ගිය මල් පොහොට්ටු රැසකට ජීවය ගෙන දෙන්නට සමත් වූ බැවිනි.

කාන්තාවන්ගේ ජනනේද්‍රියෙහි ඇතැම් කොටස් අමු, අමුවේ කපා දමා ලේ ගලන එම මස් වැදලි ගිජු ලිහිණියන්ගේ ගොදුරු බවට පත්වෙද්දී, යෝනි මාර්ගය වැසෙන සේ මසා දමද්දී, එම චාරිත්‍ර හමුවේ ‘නිහඬව විඳ දරාගත්‘ දැරිවියන් බොහෝ දෙනකු මෙන්ම; අධික රුධිර වහනය හා විවිධ ආසාදන හේතුවෙන් රෝගාතුරව මරු වැලඳගත් දැරියන් ද බොහොමයකි.

එහෙත්, තියුණු පිති තුඩ ජනනේද්‍රිය හරහා ගොස්, උණුසුම් ලේ ධාරා ගලා යද්දී, මෙම ඇතැම් දැරිවියන් නැඟූ විලාප කාන්තාරයෙහිම වියැකී ගියේ ‘සම්ප්‍රදාය හා චාරිත්‍ර‘ සුරැකීම අන් සියල්ලට වඩා අගය කළ සමාජයක ඒ ළතෝනි හඬ කිසිවකුට නොඇසුණු බැවින් වන්නට ඇත.

එසේ වුවද; සෝමාලියාවෙහි කාන්තාර පෙදෙසක විසූ පස් හැවිරිදි දැරිය, ජනනේන්ද්‍රිය ‘සුන්නත් කිරීමේ‘ බිහිසුණු අත්දැකීමට මුහුණ දීමෙන් අනතුරුව නිහඬව සිටියේ නැත.

යාන්තම් වයස අවුරුදු දහහත වන විට ඇයව වියපත් මිනිසකුට සරණපාවා දෙන්නට ඇගේ පියා විසින් ගන්නා ලද තීරණය හමුවේ ඉන් බේරීමට නිවසින් පලා ගිය ඕ පසුකලෙක ප්‍රකට නිරූපණ ශිල්පිනියක වූවා පමණක් නොව දැරියක ලෙස ජනනේන්ද්‍රිය කොටස් කපා දැමීමේ බිහිසුණු අත්දැකීමෙන් ලොව පුරා වෙසෙන අනෙකුත් දැරිවියන් ආරක්ෂා කරගනු පිණිස ‘ස්ත්‍රී ජනනේන්ද්‍රිය කොටස් කප්පාදුව‘ නම් වූ මිලේච්ඡ අපරාධය පිළිබඳව ලොවට හඬගා කියන්නට සමත් වූවාය.

කලෙකදී කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක බවට පත් වාරිස් ඩයිරි නම් වූ ඕ මෙම බිහිසුණු අත්දැකීම ලෝකය හමුවට රැගෙන ආයේ ‘කාන්තාරයේ කුසුම‘ නම් වූ තම ජීවිත අත්දැකීම් ඇතුළුකොට රචිත කෘතිය මඟිනි. එය රංජිත් කුරුප්පු විසින් සිංහලට පරිවර්තනය කළ අතර, සුරස ප්‍රකාශන ආයතනය එය ප්‍රකාශයට පත් කළේය.

ස්ත්‍රී ජනනේද්‍රිය චර්මඡේදනය කිරීම ශ්‍රී ලාංකික ඇතැම් මුස්ලිම් ප්‍රජාව අතර ද සිදුවන්නකි. එහෙත් එය ඔවුනට පමණක්ම සීමා වන්නක් බැවින්, එවැනි දෑ සිදුවනුයේ බාහිර සමාජයෙහි දැනුම්වත් කමින් තොරව හොර රහසේය.

ශ්‍රී ලංකාවෙහි වෙසෙන මුස්ලිම් ජාතිකයන් අතර වන ‘මුවර්‘ (MOOR) හා ‘මැලේ‘ යන කොටස් වලට අයත් ගැහැනු දැරිවියන්ගේ ජනනේන්ද්‍රියෙහි චර්මඡේදනය සිදුකෙරෙනුයේ දැරියක ඉපිද දින හතත්, හතළිහත් අතරතුර කාලයෙහිදීය.

එම ප්‍රජාවෙහි කුල අතර පහත් කුලයකට අයත් යැයි පැවසෙන ‘ඔස්ති මාමි‘ (OSTHI MAMI) යනුවෙන් හැඳින්වෙන කාන්තාව විසින් බ්ලේඩ් තලයක හෝ පිහි තුඩක ආධාරයෙන් ස්ත්‍රී ලිංගයෙහි ‘භගමනිය‘ (CLITORIS) නම් වූ වඩාත් සංවේදී කොටසෙහි කැපුමක් සිදු කරන්නීය.

“මේක අපේ පරම්පරා ගණනාවක් තිස්සේම කරගෙන ආපු චාරිත්‍රයක්. මට දුවලා තුන්දෙනෙක් ඉන්නවා. මගේ ලොකු දුව දවස් හතළිහෙන් කොණ්ඩෙ කපන දවසේ මේ චාරිත්‍රයත් සිද්ධ කළා. දුවගෙ ලිංගික අවයවය උඩින් ‘ඔස්ති මාමි‘ සීරුවට බ්ලේඩ් තලය තබා අදිද්දි එතැනින් ලේ බින්දු වැක්කෙරෙන්න පටන් ගත්තා.

එතකොට දුව වේදනාවෙන් අඬන්න පටන් ගනිද්දි මට ඒක දරා ගන්න බැරුව කලන්තෙ හැදෙන්න වගේ දැනුණා.

ඔය හින්දම අනිත් දුවල දෙන්නගෙ චර්ම ඡේදනය කරපු අවස්ථාවලදි මගේ අම්මාවත්, නැන්දම්මාවත් මට ඒ පැත්තටවත් එන්න දුන්නෙ නැහැ.“

‘ඔස්ති මාමි‘ දුවගෙ කැපුම සිදුකරපු තැනින් ගලපු ලේ පුළුන් ගුලියක් තියල තද කර, පසුව තුවාලය මතුපිට පවුඩර් ඉස්සේ මේක දවස් දෙක තුනක් යද්දි වේළිලා යයි කියලයි. ඒත් මුත්‍රා පිටකරන සෑම විටම දරුවා දැඩි වේදනාවෙන් අඬන්න වුණා.“

ස්ත්‍රී ජනනේන්ද්‍රිය චර්ම ඡේදනය පිළිබඳව විමසුමේදී බොහෝ දෙනකු පැවසූයේ ‘ඔස්ති මාමි‘ එමෙන්ම ‘නාසුවා පොම්බුලේ‘ නැමැත්තියක් විසින් ඒ සිදුකරන අතර එය ‘කැපුමක්‘ පමණක් බවය.

මේ අනුව ‘ඔස්ති මාමි‘ යනු දරුවන් ප්‍රසූත කිරීමේදී ‘වින්නඹුව‘ ලෙස ගමේ ගොඩේ ප්‍රසිද්ධියට පත් තැනැත්තිය බැව් ඇතැමුන් පවසන්නට යෙදුණි.

මෙවැනි චර්මඡේදනයක් සඳහා ඇය විසින් අය කරනු ලබන ගාස්තුව රුපියල් තුන්දහසක්; පන්දහසක් පමණ වන අතර, ‘ඔස්ති මාමි‘ යනු වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙලෝ හසරක් නොදත් නූගත් කාන්තාවක වුවද ඇයගේ කාර්යය අගය කිරීමක් වශයෙන් බොහෝවිට ඇයගේ ගාස්තුවට අමතරව රෙදිපිළි, සාරි හා වෙනත් දෑ තෑගි වශයෙන් ලබාදීමට ඇගේ සේවය ලබනවුන් නොමසුරු වෙති.

කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංග ප්‍රදේශයෙහි චර්මඡේදනය, එසේත් නැත්නම් ‘සුන්නත් කිරීම‘ සම්බන්ධව විමසුමෙහිදී වැඩි දෙනෙකු ඒ විස්තර කළේ එය ‘යාන්තම් කැපුමක්‘ පමණක් බවය. එසේත් නැත්නම් බ්ලේඩ් එකකින් හෝ පිහි තුඩකින් ‘ඉරක් ගැසීමක්‘ පමණක් බවයි.

මුස්ලිම් බාලිකාවන් කණ්ඩායමකට ‘ගැහැනු දැරිවියන් වැඩිවිය පැමිණීම සහ මාසික ආර්තවය‘ සම්බන්ධව කරන ලද දැනුවත් කිරීමේ කාලය තුළදී ඔවුනගෙන් චර්මඡේදනය පිළිබඳව විමසන්නට අවස්ථාව ලැබිණි. මෙහිදී වැඩිදෙනෙකුම තම ලිංගික අවයවයෙහි චර්මඡේදනය කර ඇති බව පැවසූහ.

එහෙත් එම අත්දැකීම පිළිබඳව කිසිදු මතකයක් ඔවුනට නොතිබුණි.

බාල සොහොයුරියන් සිටිනා දැරිවියන් අතර වූ ඇතැම් දැරිවියකට තම සොහොයුරිය ලද අත්දැකීම පිළිබඳ අමිහිරි මතක ඉතිරිව තිබිණි.

‘ඔස්ති මාමි‘ නංගි නිදාගෙන සිටිය කාමරේට එක්කන් ගිය ආච්චි හිමිහිට කාමරේ දොර වහගත්තා.

ඒත් ටිකකින් චූටි නංගී කෑ ගහල අඬනව ඇහුණු හින්දා දොර ඇරගෙන ඇතුළට යද්දි ඔස්ති මාමි නංගිගෙ චූ දාන හරියෙ ලේ එන එක නවත්තන්න සුදු පාට රෙදි කෑල්ලක් තබාගෙන හිටියා. “මේ කහ ටික දැම්මට පස්සෙ එතන නිකම්ම වේලිලා යයි“ ඔස්ති මාමි කිවුවෙ හරියට පළපුරුදු කෙනෙක් වගෙයි.

පස්සෙ දවසක එදා නංගී මුහුණ දුන් සිදුවීම ගැන ආච්චිගෙන් අහද්දි ආච්චි කිවුවෙ “ඕක ගැහැනු වුණහම කරන්න ඕනෙ දෙයක්. එතකොට තමයි ගැහැනු ළමයෙක් පිරිසිදු විදියට ගණන් ගන්නෙ. ඔයා පොඩි කාලෙ ඔයාටත් කරල තියෙනව. ඔයා කසාද බැඳල දුවෙක් ලැබුණොත් එයාටත් ඒ දේ කරන්න වෙනවා කියලයි. ඒත්, දවස් කිහිපයක් යනකන් චූ දාන වෙලාවට නංගි එක දිගට අඬන්න ගත්තහම මට හිතුණෙ ඒක ආච්චි කියපු තරම් ලේසි දෙයක් නෙවි කියලයි.

මුස්ලිම්වරුන් අතර වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති ‘බෝරා‘ වරුන් තම ගැහැනු දරුවන් චර්මඡේදනය කරනුයේ දැරියට අවුරුදු හතක් පමණ වන විටදීය.

'KHATNA' යනුවෙන් මුස්ලිම් ජනයා විසින් හඳුන්වනු ලබන මෙම චර්මඡේදනය බොහෝවිට ‘ඔස්ති මාමි‘ නැමැති කාන්තාව විසින් සිදු කළ ද දැන් දැන් ධනවත් පවුල්වල දැරිවියන් මේ සඳහා පෞද්ගලික වෛද්‍යවරුන් වෙත ගෙන යන අවස්ථා වෙති.

බොහෝවිට දැරියක ඉපදී හතළිස් වැනි දින එළැඹෙන විට මෙම චර්මඡේදනය සිදු කළද එය වැඩිවිය පැමිණෙන වයස දක්වා කාලය තුළ සිදුකිරීමට ද හැකියාව ඇත.

ජනනේන්ද්‍රිය චර්මඡේදනයට භාජනය වූ බාලිකාවන්ගෙන් ඒ කුමන හේතුවක් මත සිදුකරන්නේ ද? යන්න විමසුමෙහිදී වැඩි දෙනකුට ඒ පිළිබඳ අදහසක් නොතිබිණි.

එක් දැරියකට ඇයගේ මව විසින් පවසා තිබුණේ ගැහැනු ළමුන් මුත්‍රා කිරීමේදී එය විසිරීම වැළැක්වීම මේ මඟින් සිදුවන අතර; ලිංගික ප්‍රදේශයෙහි පවිත්‍රතාව පවත්වා ගෙන යාමේදී එය ඉතා වැදගත් බවයි.

අපගේ විමසුමෙහිදී තොරතුරු අනාවරණය කළ කාන්තාවන් අතරින් ඇතැමකු තම බිලිඳු වියෙහිදී මෙන්ම දැරිවියන්ව සිටියදී ලද මෙම අත්දැකීම පිළිබඳව ධනාත්මක ආකල්ප දැරූවෝ වූහ.

“අපේ පරම්පරාවෙ ඉපදුණ හැම ගැහැනු ළමයකුටම මේක අනිවාර්ය දෙයක්.“

“ඒක ඒ තරම් ලොකු දෙයක් නෙවී. නිකම් පොඩි සීරීමක් වගේ දෙයක් විතරයි.“

“බ්ලේඩ් එකෙන් මතුපිට ඉරක් ගහනව විතරයි.‘

“මොනවා වුණත් අපි මේ දේ අනිවාර්යයෙන්ම කරන්න ඕනි.“

“මේක ආගමික දෙයක් නෙවි. සම්ප්‍රදායක්.“

“පිරිමි සුන්නත් කරන කොට ඇතිවෙන වේදනාව ගැන හිතද්දි මේක එතරම් දෙයක් නෙවි.“

“මේ තුළින් ගැහැනු දරුවකු තුළ පවිත්‍රතාව ඇතිවීම සිදුවෙනවා.“

ඒ ගැන ඔවුහු දැරූ අදහස් වෙති. එහෙත් ස්ත්‍රී ජනනේන්ද්‍රිය චර්මඡේදනය, ශිෂ්ට සම්පන්න සමාජයකට නුසුදුසු සමාජයෙන් ඉවත්කර දැමිය යුතු වූවක් යැයි පැවසූ අතළොස්සක් ද ඒ අතර වූහ.

අවුරුදු දහයක දැරියකව සිටියදී මෙම අත්දැකීමට මුහුණ දුන් ‘අස්තා‘ මේ වන විට විසිතුන් හැවිරිදි දෙදරු මවකි.

“අපේ අම්මා ගුරුවරියක්. මේ චාරිත්‍ර ගැන අම්මගෙ විශ්වාසයක් තිබුණෙ නැහැ. ඒත් ආච්චි මේ ගැන ප්‍රශ්න කරද්දි (පියාගේ මව) අම්මට තනි තීරණයක් ගන්න බැරිවුණේ තාත්තත් මේ ගැන තදින්ම හිටිය නිසයි.

දවසක් එහා ගමේ ඉඳන් නැන්දා ගෑනු කෙනෙක්ව අඬගහගෙන ආවා. නැන්දලා දෙන්නයි, ආච්චියි මාව තදින් අල්ලගෙන ඉද්දි අර ‘ඔස්ති මාමි‘ බ්ලේඩ් එකකින් මගේ ලිංගික ප්‍රදේශයේ කැපුමක් කරද්දි මට ඇතිවුණේ දැඩි වේදනාවක්. ඒත් එක්කම ක්ලිටෝරිසයෙහි උඩ කොටස කපා දැමීම හේතුවෙන් අමු ලේ ගලද්දි මගේ බය දෙගුණ තෙගුණ වුණා.“

අස්තාගේ මතකයට අනුව මුත්‍රා පිටකිරීමේදී දින කිහිපයක් යනතුරු ඈ දැඩි වේදනාවෙන් පෙළෙන්නට වූවාය. එම අත්දැකීම හේතුවෙන් ඇතිවූ මානසික කම්පනය හා භීතියෙන් ඇය කාලයක් යනතුරුම පීඩා වින්දාය.

එම සිදුවීම මතකයට නැඟෙන හැම මොහොතකදීම සිතුණේ තමන් පවුකාරකම හේතුවෙන් ගැහැනු ළමයෙකු වී උපදින්නට ඇති බවය.

ස්ත්‍රී ජනනේන්ද්‍රිය චර්මඡේදනයට ලක්වූ කාන්තාවන් හා ගැහැනු ළමුන්ගෙන් බොහෝ දෙනෙකුම චර්ම ඡේදනයට ලක්වූයේ නිසැකයෙන්ම ලිංගික අවයවයෙහි කුමන ස්ථානයද? යන්න පිළිබඳව නිශ්චිත දැනීමක්, අවබෝධයක් නොතිබුණි.

බොහෝ කාන්තාවන් එය ස්ත්‍රී ජනනේන්ද්‍රියෙහි යම් කොටසක් මත ඉරක් මෙන් කැපුමක් දැමීම පමණක් බව පැවසුවද ‘අස්තා‘ පැවසූ අන්දමට එය ස්ත්‍රී ජනනේන්ද්‍රියෙහි ඉහළ කොටසෙහි වඩාත් සංවේදී ස්ථානයක් වූ භගමනියෙහි (CLITORIS) උඩු කොටස කපා දැමීමකි.

කෙසේ වුවද භගමනිය මත ‘ඉරක් ඇඳීම‘ ‘තීරුවක් දැමීම‘ ‘කොටසක් ඉවත් කිරීම‘ යන කුමන කරුණක් සිදු කළද එවැනි අත්දැකීමක් ලබාගැන්ම මගින් අපේක්ෂා කරන්නේ කුමක්ද? යන්න පිළිබඳ නිශ්චිත, පැහැදිලි වැටහීමක් අදහසක් බොහෝ දෙනෙකුට නොතිබිණි.

මේ පිළිබඳව විමසුමෙහිදී මුස්ලිම් ජාතික පුරුෂයකුගේ අදහස වූයේ, මෙම ස්ත්‍රී ජනනේන්ද්‍රිය චර්මඡේදනය ආගමෙන් නියම කෙරුණක් නොව නබිතුමන් ජීවත් වූ කාලෙයහි පැවති චාරිත්‍ර පිළිබඳ ලියවිල්ලක සඳහන් වූවක් බවයි.

ඒ අනුව කාන්තා ජනනේන්ද්‍රියෙහි උඩ කොටසෙහි ඇති වඩාත්ම සංවේදී කොටස වන ‘භගමනිය‘ සුළු ස්පර්ශයකදී වුවද වඩාත් හැඟීම් දැනෙන ස්ථානයක් බැවින් එවැනි හැඟීම් ඇතිවීමෙන් ගැහැනු දැරියන් වරදෙහි බැඳීමෙන් වළක්වා ගැන්මට එම ස්ථානයෙහි ‘කැපුමක්‘ සිදු කරන බවය.

තවත් එක් මතයක් වූයේ භගමනියෙහි උඩ කොටස කැපීමෙන් ලිංගික සම්බන්ධතාවලදී යම්කිසි සන්තර්පිත අවස්ථාවකට පැමිණ අවසන් වීම සාමාන්‍ය ක්‍රමය වූවත් මෙම ‘කැපුම‘ තුළින් ස්ත්‍රිය ද පුරුෂයා මෙන් ශක්තියෙන් යුත් කාම සම්භෝගයෙහිදී ඉක්මණින් සන්තර්පිත අවස්ථාවට පැමිණීම වළක්වා වැඩි වේලාවක් එනම් ස්ත්‍රියගේ කාමෝන්මාදය ඇවිස්සීමට සමත් වන බවයි.

ආලෝක් ඩුබේ නැමති ඉන්දීය මහාධිකරණ විනිසුරුවරයාට අනුව ඉන්දියාවෙහි කේරළ, මහාරාෂ්ට්‍ර, ජම්මූ කාශ්මීරයේ වෙසෙන සාක්ෂර හැකියාව නැති, අධ්‍යාපනය නොලද මුස්ලිම් ප්‍රජාව විසින් මෙම පිළිවෙත් අනුගමනය කරන අතර ආගමික නොවන එහෙත් පුරාණයේ සිට පැවත එන මෙම පිළිවෙත් මගින් ස්ත්‍රී ජනනේන්ද්‍රියෙහි කොටසක් වන 'Labia Majora' යන්නට දැඩි හානි පමුණුවන බවකි.

ශ්‍රී ලංකාවෙහි මෙම සම්ප්‍රදාය ඉටු කිරීමට යාමෙහිදී භගමනිය යම්කිසි කැපීමකට මෙන්ම ඇතැමුන්ට අනුව එහි කොටසක් ඉවත් කිරීම යන කුමන සිදුවීමකට මුහුණ දුන්නද, එම අත්දැකීම ලද කාන්තාවන් වැඩි දෙනකු පැවසූයේ ලිංගික සබඳතා පැවැත්වීමේදී එම තත්ත්වය බාධා නොවන බවකි.

එහෙත් වඩාත් විවෘතව අදහස් දක්වමින්, මෙම සම්ප්‍රදාය තවදුරටත් ගෙන යෑම නවතා දැමිය යුතු යැයි පැවසූ කතුන් කිහිපදෙනකු පැවසූයේ ජනනේන්ද්‍රිය චර්මඡේදනය කිරීම ලිංගික සබඳතාවන්හිදී එහි සතුට විඳ ගැන්මට කාන්තාවට බාධා පමුණුවන බවකි.

කෙසේ වුවද වෛද්‍ය විද්‍යාව පිළිබඳව කිසිදු දැනුමක් නැති නූගත් ගැහැනියක විසින් සිදු කරන මෙවන් චර්මඡේදනයකදී අධික රුධිර වහනය, මුත්‍රා පිට කිරීමේ ගැටලු වැනි දෑ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන අන්දමට ඉහත සංකූලතා හැරුණු විට කාන්තාවගේ මානසික හා ලිංගික සෞඛ්‍යයට ද තර්ජනයක් විය හැකිය.

මෙම ස්ත්‍රී ජනනේන්ද්‍රිය චර්ම ඡේදනය කිරීම පිළිබඳව අදහස් දැක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි ලිංගාශ්‍රිත රෝග හා ලිංගික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිටට අනුව

“ස්ත්‍රී ජනනේන්ද්‍රිය යනු සාමාන්‍ය ලිංගික ක්‍රියාවන්ට අදාළ අවයවයකි. අපගේ ජාන මඟින් ලබා දෙන බාහිර හා අභ්‍යන්තර ලිංගික අවයව ප්‍රජනනය සඳහා අවශ්‍ය වූවකි.

සාමාන්‍යයෙන් ලිංගිකත්වය යන්න මෙන්ම ‘ලිංගික ආකර්ෂණය‘ මෙන්ම ‘ලිංගික ප්‍රතිචාර චක්‍රය‘ යන්න වැදගත්ය. ලිංගික ප්‍රතිචාර චක්‍රය තුළ ලිංගික උත්තේජනය මෙන්ම වින්දනයක් ද තිබිය යුතුයි. ස්වභාවික ප්‍රජනනය සිදුවන්නේ ගැහැනියක හා පුරුෂයකු අතර ඇතිවන ලිංගික සබඳතා වඩාත් සතුට දනවන්නක් වීම තුළය.

ස්ත්‍රී ජනනේන්ද්‍රිය චර්මඡේදනයෙන් ඇතැම් විටෙක ‘භගමනිය‘ ඉවත් කර දැමීමකදී කාන්තාවකට ලිංගික සබඳතාවකදී වඩාත් සතුටක් ලැබ දෙන අවයවය අහිමිවීමක් සිදු වෙයි. ස්වභාවික ප්‍රජනනයේදී කාන්තාවක හා පුරුෂයකු අතර වින්දනාත්මක ලිංගික සබඳතාවක් ඇතිවීම වඩා වැදගත් වූවකි. පුරුෂාධිපත්‍ය රජයන සමාජයක වගකීමක් ලෙසින්, එසේත් නැතහොත් වෙනත් යම් බලපෑමක් මත ප්‍රජනන කාර්යය ඉටු කළ හැකි වුව ද වඩාත් වැදගත් වන්නේ කාන්තාව හා පුරුෂයකු අතර ඇති වන වින්දනාත්මක ලිංගික සබඳතාවකි.

ස්ත්‍රී ජනනේන්ද්‍රිය චර්ම ඡේදනයකදී 'Labia Miora' යන කොටස් දෙකද ඇතුළුව කුඩා කැපුමක් සිදුකොට, සංකේතයක් ලෙස රුධිරය ස්වල්පයක් ලබා ගන්නා අවස්ථා තිබිය හැකියි.

කෙසේ වුවත් මෙවැනි චර්ම ඡේදනයකට භාජනය වූ කාන්තාවන් මානසික පීඩාවට පත්වන අතර ලිංගික සබඳතාවකදී වින්දනය ලැබ දෙන අවයවය ඡේදනයට ලක්වීමෙන් ලිංගික සබඳතාව යන්න බලහත්කාරයෙන් සිදුවන්නක් බවට පත්විය හැකියි.

එමෙන්ම ජනනේන්ද්‍රියෙහි කොටස් කැපූ ප්‍රමාණය, කැපූ ස්ථානය අනුව විවිධ සංකූලතා ඇතිවිය හැකියි.

මෙම චර්ම ඡේදනය බොහෝවිට එම ප්‍රජාව තුළ වෙසෙන කාන්තාවක විසින් සිදු කරන්නක් බැවින්, ඒ සඳහා පාවිච්චියට ගන්නා කැපුම් උපකරණ, ජීවානුහරණය නොකිරීම හා කිහිපදෙනකු සඳහා එකම කැපුම් උපකරණ භාවිතය තුළ H.I.V., හෙපටයිටිස් B හා හෙපටයිටිස් C වැනි රෝග පවා පැතිරීමේ අවදානම් ඇත.

එමෙන්ම ‘ක්ලිටෝරිසය‘ මත දිගු කැපුමක් සිදු කළේ නම් එම ස්ථානයෙහි කැලැල් හටගැන්මත් එය ස්ථාරණය නොවීම තුළ ලිංගික ක්‍රියාවලියෙහිදී වේදනාකාරී හා අපහසුතාවයන් ඇතිවිය හැකියි.

මේ හැරුණු විට මෙවැනි කැපුමක් හේතුවෙන් කැපීමේ ප්‍රමාණය අනුව රුධිර වහනය, ආසාදන, ජනනේන්ද්‍රියෙහි ගෙඩි ඇතිවීම වැනි අවදානම් සහිත තත්ත්ව ඇතිවිය හැකියි.

ලිංගික සබඳතාවයකදී පුරුෂයකුගේ ශිෂ්ණය මෙන් ගැහැනියකට ආවේශ, සංවේදීතා, ශරීරයට ලබා ගන්නා වින්දනය ලැබ දෙන ‘භගමනිය‘ ඉවත්කිරීම හේතුවෙන් දැරියක විවාපත් වූ පසු ඇයට ලිංගික ජීවිතය නීරස වීමක් මෙන්ම ජනනේද්‍රියට අනවශ්‍ය පීඩාවක් දීම තුළ විවාපත් වූ පසු ලිංගික වශයෙන් පසුගාමී තත්ත්වයක් ඇය තුළ හටගැන්මට ඉඩ ඇති බැව් ද විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට විසින් පවසන්නට යෙදුනි.

මෙයට වසර තුනකට ඉහතදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් වෛද්‍යවරුන් හට මෙම ස්ත්‍රී ජනනේන්ද්‍රිය චර්මඡේදනය තහනම් කරන්නට යෙදුණි.

බොහෝවිට මෙම ජනනේන්ද්‍රිය සුන්නත් කිරීම ‘ඉතාමත් සුළු‘, ‘හානිකර නොවන්නක්‘ යන්න පවසමින් එය ‘සාමාන්‍ය දෙයක්‘ වශයෙන් දැක්වීමට ඇතැමුන් උත්සහ දැරුවද, විවිධ අවස්ථාවන්හි මෙවැනි දෑ සම්බන්ධව පසුගිය කාලය තුළ ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි පහළොවක් ලැබී තිබීම තුළින් එය හිතන තරම් ‘සුළු‘ නොවූවක් බව පැහැදිලි වෙයි.

ස්ත්‍රී ජනනේන්ද්‍රිය චර්මඡේදනයට එරෙහි වූ නීතිමය තත්ත්වයක් අප රට තුළ දක්නට නොලැබුණද ‘ළමා අපයෝජනය‘ යටතේ මෙවැනි අවස්ථාවකදී නීතිය හමුවට යාමේ ඉඩකඩ ඇත.

විටෙක ‘සම්ප්‍රදායක්‘ ලෙසින් ද විටෙක ‘ආගමික මුහුණුවරක්‘ ගනිමින්, කාලයක් තිස්සේ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත දැරියන්ගේ ජනනේන්ද්‍රිය සුන්නත් කිරීම සිදු කළ ද, වර්තමානයේදී අල් අසාර් විශ්වවිද්‍යාලය (AL - AZHAR) මෙන්ම මුස්ලිම් ප්‍රජාව බහුතරයක් නියෝජනය කරන ORGANIZATION OF ISLAMIC COOPERATION යන දෙපාර්ශ්වය විසින්ම කාන්තා ජනනේන්ද්‍රිය චර්මඡේදනය (Female Genitle Mutilation) යන්න පිළිනොගත යුත්තක් යනුවෙන් නිවේදනයක් නිකුත් කොට ඇත. එහෙයින්, අධ්‍යාපනය මෙන්ම දැනුම්වත් කිරීම් හරහා ප්‍රජාව දැනුම්වත් කිරීමෙන් “ගැහැනු දරුවන්ට එරෙහිව“ සිදුකරනු ලබන මෙවන් හානිකර තත්වයන්ගෙන් ඔවුන් මුදවා ගැන්ම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.

Comments