දුම්බර කඳු අස්සේ සැඟවුණු මානිගල | සිළුමිණ

දුම්බර කඳු අස්සේ සැඟවුණු මානිගල

හාත්පස සිහිල් මිහිදුමෙන් වැසී ගොස්ය. රන්වන් හිරු කිරණ මිහිදුම් අරතින් බේරී විත් හාත්පස නහවමිනි. පිටවල පතනේ මැවෙන මේ චමත්කාරය ජීවිතයේ නොවිඳි අරුමයක් මවනු දැනේ. මේ අරුමැසියෙන් මිදුණු මොහොතේ ඊළඟ ගමනාන්තය සොයා යා යුත්තේ ඇටන්වලය. මීදුමෙන් බරවූ නිසා දුම්බර වී යැයි ජනවහරේ කියැවෙන පෙදෙසෙහි උත්කර්ෂය නන්වන නකල්ස් කඳු පන්තියේ මියුරු සලකුණක් වූ මානිගල තරණය කිරීම ඇරඹිය යුත්තේ ඇටන්වලිනි.

 

ඒ මඟ තුරු වියන් යටින් දිවෙන මනරම් මඟකි. සුළං පොදකට සැලෙන අතු පතර යටින් කෙරෙන මේ ගමන නිමා කිරීමටත් ලොබ සිතේ. ගතවන වෙලාව පිළිබඳ නිනව්වක් නැත. සිත් ශාන්තියකින් පිරී යනු දැනේ. ඇටන්වල ගම සරසන සොඳුරුම සිත්තම වැද්දා පැනි ඇල්ලය. ඒ අසල මඳක් නොනැවතී යෑමට සිත් නොදේ. කිරි පැහැති පෙණ කැකුළු නන්වමින් කඩා හැලෙනා වැද්දා පැනි ඇල්ලෙන් විසිරෙන සිරිපොදෙහි නැහැවෙමින් ඒ අසල රැඳී සිටීම පුදුමාකාර අපූරුවකි. තවත් කල් මග හැරෙනු නොරිසිය. එවිට ගමනේ ඉලක්කය මගහැරී යයි. දකින දැකුම් සිත් පුරා විඳගනිමින් අපි ඇටන්වල ගම්මානයට අැතුළු වුණෙමු.

ඇටන්වල තවමත් නොඉඳුල්ය. මානිගල කන්ද දැවැන්ත යෝධයකු නිදා සිටින්නාක් විලසින් අප ඉදිරියෙන් දර්ශනය වෙයි. නකල්ස් කඳු පන්තියේ බටහිර බෑවුමේ පිහිටි මානිගල කන්ද ලංකාවේ දිගම කන්ද නොවේ. එහෙත් එහි හැඩය දුටු මතින් තිගැස්මක් ඇති කරයි. කන්දේ උස ප්‍රමාණය පියවි ඇසින් එක්වරම ග්‍රහණයකර ගත නොහැකිය. කඳු පාමුල වනස්පතීන් සහිත වන දහනින් වැසී ගොස්ය. කඳු පාමුල දිවෙන තැනි බිම වසාගත් වෙල් යායකි. කෘතහස්ථ සිත්තරෙක් විසින් තෙලිතුඩින් හැඩ ගන්වන කදිම සිතුවමක මහිමය මා නෙත් මානයේ ජීවමානව මැවී ඇත. ඇටන්වල සරල මිනිසුන් දිවි සරි කරගන්නා ගෞරවනීය ආකාරය නිල්ල ගැසී බැබළෙන වෙල් යායෙන් පෙනේ. අතරින් පතර ගෙවතුවල එළවළු කොරටුය. මේ මිනිසුන්ගේ ජීවිත සරල ස්වයංපෝෂී රිද්මයකට පෙළ ගැසී ඇති අයුරු ආශ්වාදයෙන් යුතුව බලා හිඳිමි.

කන්දට පිවිසෙන මඟට ප්‍රවේශ විය යුත්තේ ගම හරහා ගමන් කරමිනි. "මහත්තයල කන්දට ද යන්නෙ, අඳුර වැටෙන්න කලියෙන් පහළට එන්න බලාගෙන යන්න". අපට හමුවූ අම්මා කෙනෙක් ආදරණීය දැනමුතුකමක් දුන්නාය. ඔවුන් ආදරය පිරුණු මිනිස්සුය.

මඟෙහි ආරම්භය ගල් පඩි යොදා සකස් කර ඇත. ගල් මුල් ආශ්‍රයෙන් සැදි පඩිවලින් ද මඟ සැදී ඇත. ගමන් මාර්ගය සම්පුර්ණයෙන්ම තුරු වියනින් වැසී ගොස්ය. මඳක් ඉදිරියට ගමන් කරන විට හමුවන සුසාන භූමිය මේ පටු මඟෙහි අවසන් ගමන් එන සොබාදහමේ මිනිසුන්ගේ නිස්කාන්සුව අවසන් නින්දට ඉඩ හැර ඇත. විඩාවක් නොදැනේ. කිසිදු අපහසුතාවකින් තොරව අපි ඉදිරියට ගමන් කරමින් සිටිමු. හිරු අවරට ගොස්ය. තුරු වැස්මෙන් යුත් ඒ අඳුරු පරිසරය ඔස්සේ ගමන් කිරීම තිගැස්මක් ඇති කරවයි. පැය දෙකහමාරක් ගත වීමට මත්තෙන් අපි කන්ද මුඳුනට පැමිණියෙමු.

වෙනත් කඳු තරණයන් හා සැසඳීමේදී මානිගල කඳු තරණය පහසුය. එහි මුළු උස මීටර් 1100කි. මානිගල කඳු තරණය සම්පූර්ණ කිරීමට ඇටන්වල සිට අප ගෙවා දැමූයේ කිලෝමීටර 03කට ආසන්න දුරක් බව අනුමාන කරමි. මානිගල කඳු මුඳුන යටත් පිරිසෙන් අක්කර 10ක පමණ වූ තැනිතලාවකි. ගල් පර්වතය මත පිහිටි තුනී පස් තට්ටුව තෘණ වර්ගවලින් වැසී ගොස්ය. ඒ පස විශාල ගස් වැඩීමට තරම් නොවේ. බැලූ බැලූ සතර අතම කඳු පන්තීන් ය. ඇටන්වල ගම්මානය පහළින් අපූරුවට පෙනේ. මානිගලත් ඇටන්වල ගම්මානයත් අතර පවතින්නාවූ අපූරුව මේ දැකුම පසක් කරවයි.

මානිගල කඳු මතින් හමා යන සුළං ප්‍රවාහය කදිමය. විටෙක මඳක් සැඬ වෙමින් හමා එන ඒ සිහිල් සුළං ධාරා දාහය අසුරු සැණින් නිවාලයි. විටෙක ඒ සුළං රැලි අවට ලඳු බිමෙහි ඇති පඳුරු සැඩ සොලවාලනු පෙනේ.

මානිගල නම් වූ හැඩකාර යුවතිය තම සමූහයට එක් කරගත් නකල්ස් යනු මහා පෞරුෂයක් සහිත අප්‍රමාණ දායාදයකි. එහි අසිරිය සංවේදී මිනිසුන්ගේ සිත මෙන්ම ගතත් නිවා සනහාලයි. එවන් පරිසරයක දී ලෝකයට ආදරය කරන්න බැරි මිනිසුන් සැබැවින්ම මිනිසුන් දැයි නොදනිමි. මා අවට යළි පෙනෙන්නේ මේ බිමේ කඳවුරු ලෑ ඇතැම් මිනිසුන් මේ නොයිඳුල් බිම වනසා ඇති අයුරුය. අවට වූ මේ ව්‍යසනකාරී අපද්‍රව්‍ය එක් කිරීම අපි ආරම්භ කළෙමු. ලෝකයට ආදරය කරන්න හෝ ගෞරව කරන්න බැරි උදවියට මේ චමත්කාරය විඳ ගත හැකි දැයි නොදනිමි.

ගොම්මන් අඳුර මෝදු වෙමින් ඇත. කඳවුරු ලෑමට නම් අප ඉක්මනින් ඇටන්වල ගමට යා යුතුය. එක් කළ පොලිතින් පැසකට බහා එල්ලාගෙන අපි ඇටන්වලට යෑම සඳහා මඟට බැස්සෙමු.

 

[email protected]

 

Comments