අඩු වයසෙන් වාර්තා කුඩු කරන NOOR ahamed | සිළුමිණ

අඩු වයසෙන් වාර්තා කුඩු කරන NOOR ahamed

 

'අවකන් දේශය යනු වර්තමාන ඇෆ්ගනිස්ථානය ය. එය එලෙස හැඳින්වෙන්නේ සාහිත්‍ය කෘති තුළය. එම දේශය වංකගිරක් වේ. කන්දහාර් වැනි ශිඛර කඳු පන්තීන්හි පවතින්නේ කෙළවරක් සොයාගැනීමට අසීරු, මඟහසර පටලැවෙන එවැනි ගුහා පංතීන්ය. එහෙත් මේ එවැනි ගුහා පංතීන් ගැන නොවේ. මේ කියන්නේ ක්‍රිකට් පිටියේ වංකගිරි ගමනක නිරතවන්නට සැරසෙන කොල්ලකු ගැනය. '

ඇෆ්ගනිස්තානයේ නූර් අහමඩ් තවමත් පහළොස් හැවිරිදිය. එහෙත් ඔහු ඔස්ට්‍රේලියාවේ පන්දුවාර 20 වෘත්තීය ක්‍රිකට් ලීග් තරගාවලිය වන බිග් බෑෂ් තරගාවලියට ක්‍රීඩා කරයි.

ලීග් ක්‍රිකට් තරගාවලි අතර ඉදිරි පෙළ ස්ථානයක් හිමිකරගන්නා මෙම තරගාවලියවේ. පසුගිය දෙසැම්බර් මාසයේ ආරම්භ වුණේ දසවැනි වර්ෂයටය. එකී බිග් බෑෂ් ලීග් තරගාවලිය පෙබරවාරි මස 6 දින දක්වා ක්‍රියාත්මක වේ. මෙම තරගාවලියේදී ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගෙන් සැදුම්ලත් කණ්ඩායම් 8ක් තරග වදින අතර නූර් ක්‍රීඩා කරන්නේ මෙල්බර්න් රෙනේගේඩ්ස් පිලට ය.

ත්‍රස්තවාදයෙන් තැතිගත් ඇෆ්ගනිස්තානය වර්තමානය වනවිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් බොහෝ ඉදිරියට පිවිසි රටක් බවට පත්වී තිබෙන බව නොරහසකි. ඒ අනුව පසුගියදා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට ඇෆ්ගනිස්තාන ළාබාල ක්‍රීඩකයකු සමත්ව තිබේ.

ඒ බිග් බෑෂ් තරග ඉතිහාසයේ ළාබාලම ක්‍රීඩකයා මෙන්ම කඩුල්ලක් දවාලූ ළාබාලතම පන්දු යවන්නා බවට ඇෆ්ගනිස්තානයේ 15 හැවිරිදි නූර් අහමඩ් සමත්වීමත් සමඟය.

හෝබාර්ට් හරිකේන් පිලේ නායක පීටර් හෑන්ඩ්ස්කොම්බ් ගේ කඩුල්ල දවාලමින් නූර් විසින් මෙම වාර්තාව තැබීය.

වමතින් පිත්ත හැසිරවීමටත්, වමතින් පා දඟ පන්දු යැවීමටත් හැකියාව ඇති නූර් අහමඩ් 2005 වසරේ ජනවාරි 3 දින ඇෆ්ගනිස්තානයේදී උපත ලැබීය. ක්‍රිකට් පිටියට පිවිසි ඔහුට යම්තමින් අවුරුදු 14 පිරෙද්දී එනම් 2019 වසරේදී ඇෆ්ගනිස්තාන පළමු පෙළ ක්‍රිකට් වරම් හිමි විය. 2020 ජනවාරි මාසයේ දකුණු අප්‍රිකාවේ පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තාන අවුරුදු 19න් පහළ පිල නියෝජනය කරමින් තරග ඉතිහාසයේ ළාබාලම ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් විය.

යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී තරග 5කදී ලකුණු 168කට කඩුලු 7ක් දවාලීමට සමත්වූ නූර් අහමඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 30කට කඩුලු 3ක් දවාලමින් එම තරගාවලියේදී තම හොඳම පන්දු යැවීම වාර්තා කරන්නට සමත් විණි.

ඇෆ්ගනිස්තායේ දේශීය ක්‍රිකට් තරගාවලිවලදී ද මිස් අයිනාක් නයිට්ස් පිල නියෝජනය කළ නූර් අහමඩ් වෙත 10 වැනි බිග් බෑෂ් ලීග් තරගාවලියේදී මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිල වෙනුවෙන් කොන්ත්‍රාත්තුව ඔහුට හිමිවූයේ ජාත්‍යන්තර අවධානය යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

Comments