ලොව සුප්‍රකට ආයෝජක නතෑන්යල් රොත්ස්චයිල්ඩ් කොළඹ වරාය නගරයේ සංචාරයක | සිළුමිණ

ලොව සුප්‍රකට ආයෝජක නතෑන්යල් රොත්ස්චයිල්ඩ් කොළඹ වරාය නගරයේ සංචාරයක

ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කෙටි ව්‍යාපාරික සංචාරයක නිරත විය. එහිදී ඒ මහතා ජනවාරි 14 දින කොළඹ වරාය නගරය වෙතද පැමිණියේ ය. 
 
ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය දේශපාලඥයෙකු සහ යුරෝපා සංගමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිරන්ජන් දේව ආදිත්‍ය මහතා සහ ව්‍යාපාර ලොවේ ප්‍රවීණයෙකු වන රාජන් බ්‍රිටෝ මහතාද රොත්ස්චයිල්ඩ් මහතා සමග මෙම සංචාරයට එක්වී සිටියහ. 
 
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ විධායක ව්‍යපෘති අධ්‍යක්ෂ රාජා එදිරිසූරිය මහතා සහ CHEC Port City Colombo සමාගමේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂ යුඑ් යේචිංග් මහතා ඇතුළුව කොළඹ වරාය නගරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් රොත්ස්චයිල්ඩ් මහතා ප්‍රමුඛ කණ්ඩායම පිළිගන්නා ලදි. 
 
ඉන් අනතුරුව, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, එහි ඉදිකිරීම් වල ප්‍රගතිය සහ අනාගත සැලසුම් ආදිය සම්බන්ධයෙන් රොත්ස්චයිල්ඩ් මහතා ඇතුළු පිරිස දැනුවත් කෙරිණි. එහිදී රෝත්ස්චයිල්ඩ් මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගැනත්, විශේෂයෙන් එහි යාත්‍රාංගණය සහ සංචාරක කටයුතු වලට වෙන්කර ඇති ප්‍රදේශ ගැනත් විශේෂ උනන්දුවක් පෙන්නුම් කළේ ය. 
 
ව්‍යාපාරික ලොව සුප්‍රකට පවුලක් වන රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජික සාමාජිකාවෝ ලොව පුරා විවිධ ක්ෂේත්‍ර වලට අයත් ව්‍යාපාර වලට සම්බන්ධ වී සිටිති. මෙම ව්‍යාපාර අතරින් රෝත්ස්චයිල්ඩ් බැංකුව සහ, ආද්‍රියාතික් මුහුදේ සුඛෝපභෝගී යාත්‍රා හා නිවාස ව්‍යාපෘතියක් වන ‘පෝර්ට් මොන්ටෙනේග්‍රෝ’(Port Montenegro) විශේෂ තැනක් ගනී. 
 
සංචාරය අවසානයේදී රොත්ස්චයිල්ඩ් මහතා වරාය නගර ව්‍යාපෘතියඅගයකරමින්අදහස් දැක්වී ය. CHEC Port City Colombo සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය රොත්ස්චයිල්ඩ් මහතා එහි පැමිණීම අගය කළ අතර, අනාගත සහයෝගීත්වයන් සම්බන්ධයෙන් ඉදිරියේදීද අදහස් හුවමාරු කරගැනීමටද උනන්දුව පළකළහ. 
 
CHEC Port City Colombo සමාගමේ වාණිජ හා නෛතික ප්‍රධානී එරික් ඔයූ මහතා, ක්‍රමෝපාය හා ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී තුල්සි අලුවිහාරේ මහතා, අධ්‍යක්ෂිකා විකිණුම් හා අලෙවි යමුනා ජයරත්න මහත්මිය සහ විකුණුම් හා ආයෝජක සම්බන්ධතා පිළිබඳ මෙරට ප්‍රධානී රධික ඇල්ලේපොල මහතා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වී සිටියහ. 
 
පසුගිය වසරේදී කොළඹ වරාය නගරයේ ප්‍රථම ආයෝජන ගිවිසුම ලෙස,CHEC සමාගම සහ ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගමක් වන LOLC සමාගමඅතර විශේෂ ගිවිසුමකට අත්සන් තැබිණි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම හරහා අත්සන් තබන ලද මෙම ගිවිසුම යටතේ ඩොලර් බිලියනයක ආයෝජනයක් සමගින් කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම වසරේ පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරාය නගරයේ පාලන කටයුතු සඳහා විශේෂ ආර්ථික කලාප නීතිය හඳුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මෙය ශ්‍රී ලංකාවට තවදුරටත් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට බෙහෙවින් වැදගත් වනු ඇත. 
 

Comments