වාහන ජාවාරමක තොරතුරු හෙළි වේ | Page 2 | සිළුමිණ

වාහන ජාවාරමක තොරතුරු හෙළි වේ

වාහන කුලියට දෙන ස්ථාන වෙත ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වාහන ලබා ගෙන පසුව ව්‍යාජ ලිපි ලේඛන සකසා එම වාහන තවත් පාර්ශවයන්ට අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු හෙළි කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන පරිදි ලද තොරතුරක් මත මුල්ලේරියාව පොලීසිය කළ විමර්ශනයකදී මෙම ජාවාරම පිළිපඳව තොරුතුරු හෙළි වී ඇත‍
 
අදාළ ජාවාරම්කරුවන් වාහන කුලියට දෙන ස්ථාන වෙත පදිංචිය සනාථ කිරීම සඳහා ව්‍යාජ හැඳුනුම්පත්, ව්‍යාජ රියදුරු බලපත් සහ ව්‍යාජ විදුලි බිල්පත් ඉදිරිපත් කර ආදාළ ආයතනවලින් කුලී පදනම මත වාහන ලබා ගෙන මෙම ජාවාරම සිදු කර තිබේ.
 
ජාවාරම්කරුවන් එලෙස ලබා ගන්නා වාහන පසුව කැබලි කර විකුණා දැමීම සහ චැසි අංක , එන්ජින් අංක වෙනස් කර වෙනත් පාර්ශ්වයකට විකුණා දමා ඇති බව හෙළිවී තිබේ.
 
අදාළ වාහන කුලියට දුන් තැනැත්තන් පසුව අදාළ ලිපිනයන්ට ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ, එවැනි ලිපිනයක් හෝ එවැනි ස්ථානයක එවැනි පුද්ගලයෙකු නොමැති බවයි.
 
පොලිස් විමර්ශනවලින් පසු  ව්‍යාජ ලිපි ලේඛන සකසා එලෙස විකුණන ලද මෝටර් රථ 16ක් සහ එක් වෑන් රථයක් මුල්ලේරියාව පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.
 
මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් යක්කල හා මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
 

Comments