පාපන්දු නැටුම් | සිළුමිණ

පාපන්දු නැටුම්

ලෝකේ ජනප්‍රිය ක්‍රීඩාව පාපන්දු වුණාට සිරි ලංකාවේ නම් දුප්පතුන්ගේ ක්‍රීඩාවක්. මොකද පාපන්දු ගහන්නෙම අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන නාගරික පැල්පත් වාසී ක්‍රීඩකයොයි, පහළ මධ්‍යම පාංතික ක්‍රීඩකයෝ ටිකකුයි කියන්න පුළුවන් වෙන තරමට පාපන්දුව යන්නේ දුෂ්කර ගමනක. හැබැයි පැල්පතෙන් මහා මන්දියරට ආපු පාපන්දු ක්‍රීඩකයෝ ලෝකයේ ඕනෑතරම් සොයාගන්න පුළුවන්.

ඒත් අපේ රටේ පාපන්දුව වැටිලා තිබියදී ඒක නැගිට්ටුවන්න ආරම්භ කරන්න යෝජනා කළ සුපර් ලීග් පන්නයේ පාපන්දු තරගාවලිය පැවැත්වීම ගැන දැන් සම්මේලනය ඇතුළේ මත දෙකක් ගොඩනැගිලා කියලා ආරංචියි. එකම කණ්ඩායමක් විධිහට බලයට ආවට දැන් කණ්ඩායම් දෙකක් වෙලා ඉන්න මේ දෙපිරිස සුපර් ලීග් තරගාවලිය ගැන කඹ ඇදිල්ලක් පහළ වෙලා තිබෙන්නේ එළඹෙන පාපන්දු නිලවරණය නිසා කියලත් කියැවෙනවා. ඒ ගැනනම් අපි හරියටම, ටක්කෙටම දන්ෙන නෑ ඕං. ඒත් ඒක එහෙම නම් වැඩේ කැතයි හොඳේ.

ඕක කවුරු යෝජනා කළත් කමක් නෑ ඒකෙන් රටේ ක්‍රීඩාවට යම් ප්‍රවර්ධනයක් වෙනවා නම් අපි ඒකට කැමති වෙන්ට ඕනෑ. එතැනදි සෞඛ්‍ය නීතිරීති බලලා, ඒ ප්‍රතිපත්ති රැකලා සුපර් ලීගය පටන් ගත්තා නම් ආයෙ දෙකක් නෑ පොඩි පහේ ප්‍රවර්ධනයක් දැකගන්න ලැබෙනවා සත්තයි. දැන් එල්.පී.එල්. ගැහුවා වගේ පාපන්දුවටත් හුළං ගහන්න මේ වැඩේ ඉවහල් කරගන්න පුළුවනිනෙ.

මේ තරගාවලිය කණ්ඩායම දහයක සහභාගිත්වයෙන් විදේශීය ක්‍රීඩකයන් ඇතිව තියන්න සාකච්ඡා කරමින් සිටියත් තවමත් ඇතුළේ ඉඳගෙන බාල්දි පෙරළන කීපදෙනෙකුත් ඉන්නවා කියලා කියනවා. ලංකාවේ උත්තමයෝ බොහෝ දෙනෙක් බාල්දි පෙරළන්න ඔලිම්පික් රන් පදක්කම් ගහපු අය කියන එක ඇත්තයි. මේ ගැන කතාකරන බොහෝ දෙනෙක් කියනවා තනතුරු අනතුරු වළකමු සුමිතුරු කියලා ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණිල්ලක් දාලාවත් තරගාවලිය සංවිධානය කරන්න ඕනෑය කියලා. ඒත් මේ වැඩේ කරන්න අවුරුදු ගාණක් පොල්ගගා ඉන්නෙ නැතිව මීට ඉස්සෙල්ලා පටන් ගන්න පුළුවන්කම තිබුණා කියන එකත් ඇත්ත. මේ වගේ වැඩ නිලවරණය කිට්ටු වෙද්දි හුදු ජනප්‍රියත්වයට කරලා වැඩක් නෑ. ඇත්තටම ඒවා කරන්න ඕනෑ ක්‍රීඩාව වෙනුවෙන්, ක්‍රීඩාවේ පිබිදීම වෙනුවෙන් අවංකවමයි කියන එකත් කිවයුතුයි.

ඉතින් කොහොම හරි තනතුරු පොරේ වෙන විධිහකට සිද්ධ වෙන්න දීලා එල්.පී.එල්. පන්නයේ සුපර් ලීග් පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාව ඇතුළේ පටන් ගන්න දෙන එක තමයි කාගෙ කාගෙත් යුතුකම වෙන්නෙ. ඒකෙදි සෞඛ්‍ය නිර්දේශ වශයෙන් අර කියන ජීව බුබුළු තාක්ෂණය පාවිච්චි කරන්න අමතක කරන්න එපා ඕං. ඒ වැඩේ ක්‍රිකට් එක හොඳටම කළා. තමුන්ගේ ඇඟිල්ලේ තරමට ඉදිමිලා හරි මලල ක්‍රීඩා සංගමයත් සාර්ථකව කරගත්තා කියන එකත් අමතක කරන්න එපා.

මේ සියලු දේවල් ගැන නොසැලකුවොත් පාපන්දුවේ හුළං යන විට විතරක් නෙවෙයි තව මොනවා වෙයිද දන්නෙ නෑ. එතකොට ඉතිං සොරි තමයි ඈ.

 

වලිවීර

Comments