ජල ගැලුම් රක්ෂිතය ගිනි ගනියි | සිළුමිණ

ජල ගැලුම් රක්ෂිතය ගිනි ගනියි

මහා සංඝරත්නය හා පරිසර හිතකාමීන් විසින් වන උයනේ තිබූ ගව ගාල් ඉවත් කරන අයුරු

- චෛත්‍ය උඩත් ගව ගාල් හදලා...
- යක්කුරේ පාර කපන්න අනුමැතිය නොදෙන බව ඇමැති සී.බී. කියයි...
- යක්කුරේ පාර කැපුවොත් ගම් 9 කට අලි ගහවි...
- පාරිසරික වාර්තාවක් සකස් කර අනුමත කරගතයුතු බව වනජීවි අධ්‍යක්ෂ කියයි...

පේ රටේ පරිසරය සතා සීපාවා ගහකොළ සුරැකීම පිණිස වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත අනුව අපේ ර‍ට පුරා ආරක්ෂිත ප්‍රදේශ වර්ග 7 ක් නම් කර ඇත. ජාතික උද්‍යාන, දැඩි ස්වාභාවික රක්ෂිත, ස්වාභාවික රක්ෂිත, වන පිවිසුම්, සමුද්‍රාසන්න අභය භූමි හා සීමාන්තරික කලාප ඒ අතරවේ. මේ අතරින් පාරම්පරික අතින් සුවිශේෂී ඉතා ආරක්ෂාකාරී සංවේදී කලාප ලෙස ජාතික වනෝද්‍යාන නම් කළ හැකිය. ජාතික වනෝද්‍යාන භූමිය සම්පූර්ණයෙන් ම රාජ්‍ය ඉඩම් වේ. මේවා තුළට ජනතාවට ඇතුළු වී වන සතුන් නැරඹීමට පමණක් අවස්ථාව ඇත. ඊට අවසර ලබාගත යුතුමය. ඒ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. 

මේ ජාතික උද්‍යාන තුළ පවතින සජීවී හා අජීවී සම්පත් සියල්ල වනජීවී ආඥා පනත යටතේ ආරක්ෂිත වෙයි. ඒවාට සතුන් ඇතුළු කිරීම තහනම් ය. ඒ අනුව එහි පවතින වැලි කැටයක්වත් වනජීවී ආඥා පනත අනුව ඉවතට ගෙන යාම දඬුවම් ලැබිය හැකි වරදක් බව පරිසර නීතිඥවරුන්ගේ අදහසයි.

නමුත් දැන් අපේ රටේ ඉතා සංවේදී ජාතික වනෝද්‍යානයක් වූ ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පසුගිය දිනවල ජනතාවගේම කටයුතු නිසා අහිතකර බලපෑම්වලට ලක්වී තිබෙන බව පරිසරවේදීහු පවසති.

1984 අගෝස්තු 7 වැනිදා වනජීවී සංරක්ෂිත ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කළ මේ ජාතික උද්‍යානය හෙක්ටයාර 17350.4 ක් විශාලය. එය ජාතික උද්‍යානය නම් කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඒ ප්‍රදේශය වන අලින්ගේ වාසස්ථානයක් ලෙස පවත්වාගෙන යාම මෙන් ම මහවැලි ග‍ඟේ ජලය වැඩි කාලයට ඒ ජලය ගලා යාමට ඉඩකඩ සැලසීමයි.

මෙරට ඇති අලින්ගේ වාසයට සුදුසු හා සුවිශේෂී ජාතික උද්‍යානයක් වන මේ වන උයන මැදින් අලුත් මාර්ගයක් ඉදිකිරීමට දැන් ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයෝ නීති රීතිවලට පටහැනිව උත්සාහයක නිරත වෙති.

ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පවත්නා විල්ලු නිසා ඒ ප්‍රදේශය අලින්ට ඉතා යෝග්‍යවේ. අලින් හා කෙනර සතුන් බහුලව එකට හමුවෙන මේ ජල ගැලුම් නිම්න ජාතික වන උයනේ විල්ලු 38 කි. ඉන් හඳපාන් විල්ලුව හා බැණ්ඩිය විල්ලුව වැව්වලට සමාන විශාල විල්ලු ලෙසට වනජීවී නිලධාරීහු හඳුන්වති.

එමෙන්ම වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට සෝමාවතී ජාතික උද්‍යානයට ස්වාභාවික ලෙස අලි ගමන් කිරීමේ නිදහස් ප්‍රවේශ මාර්ගය වැටී ඇත්තේ මේ ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය හරහා ය. පුරාවිද්‍යාත්මක අතින් සුවිශේෂී ස්ථාන රැසක් ඇති මේ ජල ගැලුම් නිම්න ජාතික වන උයන අද දේශපාලන හෙංචයියලා හා ගස් කපන අය නිසා බලවත් තර්ජන රැසකට මුහුණ දී සිටී.

මේ වන උයනට ඇති ප්‍රධාන ගැටලුව මනම්පිටිය වෙහෙරගොඩයාය වැනි ගම්මානවල ගම්වාසීන්ගේ ගවයන් සිය ගණන් මේ වන උයනට ඇතුළු කිරීමයි. මනම්පිටිය හා සෝමාවතී ප්‍රදේශවලින් ද මේ වන උයනට බහුලව ගවයන් ඇතුළු කරති. වැඩිපුර මේ ගවයන් ඇතුළු කරන්නේ මුස්ලිම් ජනතාවයි.

මේ මුස්ලිම් ජනතාව පසුගිය කාලයේ එහි තිබූ ගරා වැටුණු චෛත්‍ය උඩ පවා ගවගාල් සකස්කර තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.

වියළි කලාපයේ පිහිටි ජලයෙන් සංතෘප්ත වගුරු බිමක් ලෙස හැඳින්විය හැකි මෙම ජල ගැලුම් නිම්න ජාතික වන උයනට වැස්ස ලැබෙන්නේ ඔක්තෝබර් සිට ජනවාරි දක්වා වකවානුවේදීය.

මෙහි වෙහෙරගොඩයාය ප්‍රදේශය ආශ්‍රිතව පුරාවිද්‍යා නටඹුන් රාශියක් පිහිටා තිබේ. එහි පුරාවිද්‍යා ප්‍රදේශයක් බවට නාම පුවරු සවිකර තිබුණත් ඒවා කඩා දමා මේ ස්ථානය දැන් ගව මඩු සංකීර්ණයක් බවට පත්ව තිබේ.

මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිසිම ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස්කර නොමැත. ගල් කණු කඩා බිඳ දමා ඇති අතර අවට පදිංචිකරුවෝ හා සෝමාවතී ප්‍රදේශයේ හා මනම්පිටියේ ජනතාව මෙම ජාතික උද්‍යානයට බහුලව ගවයන් ඇතුළු කරති.

දාගැබ්වල පාදම්වල පවා ගව මඩු ඉදිකර ඇති අතර පුරාවිද්‍යා පුවරුද කඩා බිඳ දමා ඇත. දිනපතාම මේ ගවයන් දහස් ගණනක් මේ ජාතික උද්‍යානයට ඇතුළු කරනු ලැබේ.

පුරාවිද්‍යා භූමිය තුළ ගවමඩු ඉදිකිරීම පිළිබඳව පසුගිය සමයේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමිපාණෝ විරෝධතා දැක්වූහ.

ඒ සමඟම දැන් මේ ගවයන් වන උයන තුළට ඇතුළු කිරීම තවත් වැඩිවී තිබේ. පසුගිය නොවැම්බර් 26 වැනිදා මේ ප්‍රදේශයට පැමිණි වනජීවී රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතාට ප්‍රදේශවාසීන් කියා සිටියේ තම ගවයන් වන උයනට ඇතුළු කිරීමට වන ජීවී නිලධාරීන් ඉඩ නොදෙන බවයි. ඒ අවස්ථාවේ පොළොන්නරුව රාජ්‍ය අමාත්‍යවරයෙකු ද එක්වූ අතර එම අමාත්‍යවරුන් පවසා සිටියේ ගවයන් වන උයන තුළට ඇතුළු කිරීමට අවසර ලබා දෙන ලෙසයි.

එය පිළිබඳව වනජීවී නිලධාරීන් සිය නොසතුටට පළ කළ අතර ඒ තත්ත්වය මත වනජීවී නිලධාරීහු වැඩ වර්ජනයක ද නිරත වූහ.

මෙම රක්ෂිත භූමිය තහවුරු කරන විට, එතෙක් ජනතාව විසූ ගම් සහ පරිහරණය කළ කැලෑ බිම් වනෝද්‍යානවලට ඇතුළු කළ අතර එම ජනතාවට පහසුකම් සහිත නව වාසස්ථාන හා ගොඩ මඩ වගා බිම් ලබාදෙන ලදී. යක්කුරේ ගම්මානය එසේ නැවත ස්ථානගත කරන ලද්දකි. එය පිහිටා ඇත්තේ මහවැලි ග‍ඟේ කාලිංග ඇළ මාර්ගයේ දකුණු ඉවුරේය. ජාතික උද්‍යානයේ මායිම ලෙස කාලිංග ඇළ නොහොත් ගෝමතී ඇළ යොදා ගැනීමේදී එම ගම උද්‍යානයෙන් පිටතට ඇළේ වම් ඉවුර යාබද පෙදෙසෙහි ස්ථානගත කරන ලදී. මාර්ග, විදුලිය, නිවාස, පාසල්, පන්සල්, රෝහල් ආදී සියලු යටිතල පහසුකම් සහිතව එම ගම් ගොඩනැගීම සාර්ථකව සිදුකර ඇත. සිරිපුර ප්‍රදේශය ඔස්සේ ගමට පිවිසුම් මාර්ගය විධිමත්ව සකසා ඇත. ඒ සමඟම මනම්පිටිය සිට පැමිණි පුරාණ මාර්ගය වනජීවීන්ගේ විශේෂයෙන් අලි ඇතුන්ගේ වාසස්ථාන හරහා පිහිටි හෙයින් භාවිතයෙන් අත් හැරිණි. එම මාර්ගය අයත් ප්‍රදේශය ජාතික උද්‍යානයේ සුවිශේෂතම සංවේදී කලාපය ලෙස හඳුනාගෙන ඇතැයි ද පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

ඒ සමඟම මේ ප්‍රදේශයේ ගඟට හානි වන පරිදි මහා පරිමාණයේන වැලි ගොඩ දැමීම, මැණික් ගැරීම, වන සතුන් දඩයම, ඇතුන් මරා දළ කපා ගැනීම, වනෝද්‍යානය තුළට ගව රංචු ඇතුළු කර තණ කැවීම, වනෝද්‍යානය තුළ බලහත්කාරයෙන් හේන් වගා කිරීම, දුම්කොළ වගා කිරීම, සරුවට කෙරේ. සරු බිම් අල්ලාගෙන ගොවිතැන් කිරීමටත්, වනබිම් ගවබිම් බවට පත් කර ගැනීමටත් සංවිධානාත්මකව කටයුතු කරන්නන් සමඟ මෙම නිලධාරීහු නිරන්තරයෙන් ගැටුම්කාරී වූහ. දේශපාලනඥයින්ගේ රැකවරණ ලබමින් ‘වැලි රාජුලා’ රජ වූයේ එකලය. වනය රැකගත් එච්.ඒ. ධනසිරි නමැති නිලධාරියා ඝාතනය කෙරුණේ එකලය. වන නිලධාරි කුමාරසිරි විජේකෝන් ඇතුළු තිදෙනෙක්ට මාරාන්තික ප්‍රහාරවලට මුහුණපෑමට සිදුවූයේ එකල බව මේ පිළිබඳව අධ්‍යයන රැසක් කළ පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

වනජීවී නිලධාරීන් තර්ජන මැද 2005 දී ඇත් දළ විශාල සංඛ්‍යාවක් අල්ලා ගැනීම, බලෙන් අල්ලාගත් වෙහෙරගොඩයාය භූමිය අක්කර 4000 ක් බේරා ගැනීම තමන්ගේ ජයග්‍රහණ නොව ශ්‍රී ලංකා රජයේ පරිසර ප්‍රතිපත්තියේ ජයග්‍රහණ ලෙස සලකා වන නිලධාරීන්ගේ සේවය අගය කිරීම රජයේ යුතුකම බව ද පරිසරවේදීන්ගේ මතයයි.

දැන් මේ දේශපාලකයන් වෑයම් කරන්නේ ජල ගැලුම් කලාපයේ පිහිටි වැලි නිධි කැණීමට අලුත් පිරිසකට ඉඩ සලසාදීමට හා දස දහස් ගණන් ගවයින්ට වන බිමේ දොරටු විවෘත කර මතු කළ ගව ඝාතක හමුදාවක් බිහි කිරීමටය. මේවායේ ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නේ ජනතාවට සහ සොබාදහමටය‍.

නමුත් යළිත් වරක් මේ මනම්පිටිය යක්කුරේ මාර්ගය මනම්පිටිය පාලමේ සිට ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මහවැලි ගඟට සමාන්තරව යක්කුරේ දක්වා ඉදිකිරීමට දේශපාලනඥයෝ කිහිප දෙනෙක් උත්සාහ කරති. කිලෝමීටර් 13 කින් යුත් මෙම මාර්ගය ඉදිවුවහොත් යක්කුරේ, පහළ යක්කුරේ, ඉහළ යක්කුරේ, පිහිටිවැව, දමනේ වැව, නුවරගල, මැදගම්පිටිය, මීවත්පුර, සිරිපුර, පල්ලේගම ආදී ගම්වල ජනතාව අලි නිසා දරුණු තර්ජනවලට ලක්වීමට ඉඩ තිබෙන බව ද ප්‍රදේශවාසීහු පවසති.

මේ පිළිබඳව අදහස් දක්වන වනජීවී සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසන්නේ මෙම මාර්ගය, ඉදි නොකරන බවයි. ඒ සඳහා EIA එකක් කළ යුතුයි” ඇමැතිවරයා පවසයි‍. එසේ වුවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ මේ මනම්පිටිය යක්කුරේ මාර්ගය පුරාණ සම්ප්‍රදායික මාර්ගයක් බවයි. එය පාවිච්චි කිරීම ඒ ප්‍රදේශවල ජනතාවගේ පාරම්පරික උරුමයක් බව ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මාර්ගය ඉදිකිරීමට එකහෙළාම විරුද්ධය. ඒ නිසාම පසුගිය දිනවල මේ මාර්ගය ඉදිකිරීම් පිළිබඳව වනජීවී නිලධාරීහු සිය විරෝධය දැක්වූයේ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමෙනි.

මේ පිළිබඳව කරුණු දක්වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකරණය පිළිබඳ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා පැවසුවේ මේ ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානය හරහා යක්කුරේ ඒ මාර්ගයක් ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිම අනුමැතියක් දී නොමැති බවයි.

“ඒ සඳහා පාරිසරික ඇගැයීම් වාර්තාවක් සකස්කර අනුමත කරගත යුතුයි. එවැනි දෙයක් සඳහාවත් තවම අපෙන් අවසර අරන් නැහැ. ඒ නිසා අපි යක්කුරේ පාරට අනුමැතියක් දීලා නැහැ. මංජුල අමරරත්න මහතා පවසයි.

මීට අමතරව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ කුඹුක් ගස් කැපීමේ ජාවාරමක් ද හෙළිවී තිබේ. ගස්වල පහළ කොටස් හා අතු බහුලව කපා දැමීම මෙහි සිදුවී තිබේ.

කෙසේ වුවත් මේ පරිසර සං‍වේදී ජාතික උද්‍යානය සුරැකීමට සිටින්නේ වනජීවී සංරක්ෂණ නිලධාරීන් 14 ක් වැනි ඉතා සුළු පිරිසකි. වරින් වර මේ වනජීවී කලාපය ඇතුළත ඉදිකර තිබූ ගව මඩු කිහිපයක් වරින් වර වනජීවී නිලධාරීන් ඉවත් කළත් දේශපාලන බල පුළුවන්කාරකම් මත යළි ඒවා බලහත්කාරයෙන් ඉදිකරන බවත් ප්‍රදේශවාසීහු පවසති. කෙසේ වුවත් මේ හරක් අයිතිකරුවන්ට දේශපාලන සහාය ලැබෙන බවත් වනජීවී නිලධාරීන්ට කිසිම පිළිසරණක් නැති බවත් වන නිලධාරීහු පවසති.


ඡායාරූප - කරුණාරත්න ගමගේ (පොළොන්නරුව)

Comments