“පිලී­ති­යස් එදා ලංකාව දුටුවේ මෙහෙ­මයි” ඒක වෙනම සාහි­ත්‍ය­යක් | සිළුමිණ

“පිලී­ති­යස් එදා ලංකාව දුටුවේ මෙහෙ­මයි” ඒක වෙනම සාහි­ත්‍ය­යක්

දහ අටවන, දහ නවවන සියවස් වන තෙක්ම ආසියානු කලාපය යුරෝපියයන් විසින් සැලකුවේ අද්භූත මෙන්ම සැඟවුණ දේශයක් ලෙසිනි. ඒ අනුව ඔවුහු ආසියානු කලාපීයව ගවේෂණාත්මක සංචාරයන්හි යෙදීමටත්, පසුව ඒ අත්දැකීම් විස්තරාත්මකව මෙන්ම විචිත්‍රව සටහන් කිරීමටත් යොමු වුහ. ලංකාවේ ඒ අතීත කාලවකවානු පිළිබඳව ද අප පවා කරුණු හදාරන්නට පහසුකම් ලබන්නේත්, ඒ තොරතුරු ඇසුරේ විස්මිත ආස්වාදයක් ලබන්නට යොමු වුයේත් ඔවුන්ගේ ඒ විස්තර වාර්තා සහිත පොත පත නිසා ය. එවැනි පොත පත කියවීමට ඇතිවන ආසාව වැඩි දියුණු වෙද්දී ඇතැම්හු ඒ ඔස්සේ පරිකල්පනීය මානසිකත්වයක් තමන් තුළ ඇති කරගැනීමට ද කටයුතු කළහ. එය වෙනම කියවිය යුතු සාහිත්‍යයක් බවට පත්වන්නේ ඒ අනුව ය.

පරිවර්තන කෘති කිහිපයක්ම සිදු කොට ඇති ලේඛකයෙකු වන පාලිත ජයකොඩි බොහෝ දුරට එවැනි මානසිකත්වයකින් යුතු පරිකල්පනයක් වගා කරගත් අයෙකු යැයි සිතේ. විශේෂයෙන්ම ඔහු විසින් කරන්නට යෙදුණු සාහිත්‍ය පොත පත දෙස හෙළන විචාරාත්මක නිරීක්ෂණයක දී ඒ බව පෙනී යයි.

නිදසුනක් ලෙස ඔහු මුලින්ම පරිවර්තනය කළ ඕලන්ද සිරකරුවෙකුගේ ලංකාගමනය යන සංචාරක අත්දැකීම් තුළ එන ත්‍රාසජනක විඳීම් හා බැඳුන ඒ ඉතිහාසය වෙනස් ආකාරයක සාහිත්‍ය විඳීමක් අප වෙත ගෙන එයි. අවසානයේ දී එකල ලංකාවේ ඉතිහාසය ම ආඛ්‍යානයක් හැටියට ඉදිරිපත් කිරීමක් බවට එය පත් වේ. දෙවනුව ඔහු කරන්නා වූ “පිලීතියස් දුටු ලංකාව” නම් පරිවර්තනය ලංකාව පිළිබඳව වර්තමාන ගවේෂකයන් සිදු කරන ආකාරයේ පූර්ණ හැදෑරීමක් නොවුණ ද පිලීතියස් තමන්ගේ දැනීමට හා අසා ඇති තොරතුරු වලට අදාළව ලංකාව ගැන කරන්නා වු පරිකල්පනීය වු ඒ අපූර්වාකාර චිත්‍රනය ද වෙනස් ම ආඛ්‍යායනක් බවට පත් වේ. එම විස්තරවල එන ඇතැම් තොරතුරු අතිශයෝක්තියෙන් බර ය. ඇතැම් විස්තර පිලිතියස් සිය පරිකල්පනයෙන් ම ඉදිරිපත් කොට ඇති බවක් පෙනී යයි. ඒ පහත දැක්වෙන ආකාරයෙනි.

“ලංකාව නගර පන්සියයකින් පමණ සමන්විත රටකි. අගනගරය පලේසිමුණ්ඩු නම් විය. වැසියෝ 200 000 ක් පමණ දිවි ගෙවති. ලාංකිකයන් විසින් වහලුන් තබා ගැනීමක් සිදු නොකරන ලදී. උදෑසන අවදි වූ පසු දහවල් කාලයේ හෝ දවසේ මොනයම් කාලයක හෝ ඔවුහු නිදා නොගනිති. ඔවුන්ගේ නිවාස සාමාන්‍ය ප්‍රමාණයේ ඒවා ය.

ඔවුහු අසාමාන්‍ය මිල ගණන් වලින් යුතු බඩු බාහිරාදිය පාවිච්චි කළේ නැත. අධිකරණ කටයුතු මනා ලෙස පවත්වාගෙන ගියේ ය.”

මේ ආකාරයට පිලීතියස්ගේ ලංකා විස්තරය සමහර විට ආසියානු කලාපීයව තමන් රැස් කරගත් තොරතුරු තහවරු වු හෝ නොවු සම්මිශ්‍රනයකින් යුතුව සිය පරිකල්පනය ද ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ ආඛ්‍යානයක් බවට පත් වේ. එය වෙනම සාහිත්‍යයික කියවීමක් යැයි අප පවසන්නේ ඒ නිසා ය.

මෙම අත්දැකීම්හි ආස්වාදනයෙන් ඇවිළුණ මනසකින් යුතුව පසුව ඔහු බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී සමයේ ගැමි ජීවන රටා පසුබිමේ තබාගෙන ස්වතන්ත්‍ර නවකතාවක් රචනා කිරීමට ද යොමු වෙයි. ඒ “ධවල ඡායා” ය.

“මම වඩාත් කැමති වුණා වනාශ්‍රිත පරිසරය වස්තු කොටගත් ත්‍රාසජනක කතා රසයත් සමඟ ජීවත් වෙන්න.” යන අදහසට අනුව පාලිත අතින් පරිවර්තනය කෙරෙන සූර්ය වංශිකයන් වශයෙන් ලද ආරම්භයේ සිට ම බ්‍රිතාන්‍ය විජිතවාදය තෙක් පැවතුණ ඒ සාමයික විෂය කාරණා හැදෑරීමක් ද වශයෙන් ද ගත හැකි වසන්ත් රේලේ නම් ඉන්දියානු වෛද්‍යවරයෙකුගේ අත්දැකීම් මත ලියවුණු “අසිරිමත් කුණ්ඩලිනි” සාහිත්‍යයික කියවීමකට එහා ගිය තැනක පවතින්නක් යැයි සිතමි.

ලේඛකයෙකු වශයෙන් ඔහු සිය වන පෙත් ඇසුරේ ඒ ත්‍රාසය හා බැඳුන අත්විඳීම සමඟ නිතරම වාගේ රැඳෙන්නට ගත් උත්සාහය මෙන්ම ඒ රාගී ආස්වාදය ඔහු විසින් සිදු කළා වු කෙනත් ඇන්ඩර්සන්ගේ “මිනී කන ව්‍යාඝ්‍රයන්ට මැදිව” පරිවර්තනය වෙතින් ප්‍රකට වන්නේ යැයි සිතේ.

තමන්ට එය ආහ්ලාදයක් මෙන්ම අසිරියක් ද වුයේ යැයි ඔහු අප හමුවේ පැවසුවේ ඒ බව තවදුරටත් තහවුරු කරමිනි.

“එඩ්ගාර් රයිස් බරෝස් කියන්නේ යුගයක්. එඩ්ගාර් රයිස් බරෝස් කියන්නේ ශානරයක්.” එසේ පවසමින් පාලිත ජයකොඩි රයිස් බරෝස්ගේ “අයෑම් අ බාබේරියන්” නම් කෘතිය “බල වියරුව” නමින් සිංහලට පරිවර්තනය කරයි. එය ද ඔහු සම්බන්ධ අර ආකර්ෂණයේම වෙනස් මානයක් වැන්න.

“හිතලා බලන්න හුදෙක් බලය පිළිබඳව ම ඇති කරගත් වියරුවක් පසුබිමේ රෝම පාලකයෙක් ඒ දූෂිත බලය නිසාම උන්මත්තකයෙකු බවට පත් වෙමින් සිය කැබිනට් මණ්ඩලයේ නායකයා ලෙස තමන්ගේ අශ්වයාව පත් කරමින් ඒ පත් කිරීම සාධාරණීකරණය කරද්දී තම සමකාලීන හිතවතාගේ බිරිඳ පවා අර බලයේ නාමයෙන් දූෂිත එහෙත් රෝමාන්තික ආදරයක් ලෙසින් භුක්ති විඳීම මොන වගේ දෙයක් ද කියලා. ඒ වගේ ඉතිහාස පසුබිමක මේ මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම අපි කොහොමද කියවන්නේ කියලා.” බල වියරුව නමින් ඔහු සිංහලට නගන්නේ ශිෂ්ටාචාරයක ඒ වියරු හැසිරීමේ සාහිත්‍යයික ප්‍රකාශයයි.

එම කතාවන්හි ඇසුරත් සමඟ වෙනස් මානයකට යොමුවන පාලිත ජයකොඩි ඒ බව තහවුරු කරමින් තමන් වඩාත් ප්‍රිය කරන්නා වු කෘතිය යැයි හඳුන්වමින් ඉදිරිපත් කරන “බිඳුන විලංගු” වෙනස් හා වෙසෙස් කෘතියක් ම වන්නේ ය.

“මෙහි කතා නායකයා කළු ජාතික වහල් දරුවෙක්. එහාට මෙහාට හැරෙන්න ඉඩ නැති ලෑලි පැලක වෙසෙන ඔහුගේ මව ඉවුම් පිහුම් කරමින් තමන්ගේ දරුවා රැක බලාගත් පසුබිමක විහිදෙන කතාවක්.” හැටියට ඔහු එය හඳුන්වයි.

පසුව අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් උගතෙකු බවට පත් වන්නේ මේ කළු දරුවා ය. මහාචාර්ය බුකර් ටි වොෂින්ටන් නමින් ප්‍රකටව අමෙරිකානු ජනාධිපතිවරුන්ට ද උපදේශකයෙකු බවට පත්වන ඔහුගේ “අප් ෆ්‍රොම් ස්ලේවරි” නමින් ලියු ඒ කෘතියේ විශේෂත්වය වන්නේ අනිකක් නොවේ. මානව ශිෂ්ටාචාරයේ ඛේදජනක ඉතිහාසයකින් උපන් ඔහුගේ ම ජීවිතය එහි ප්‍රති නිරූපණය වීම එහි විශේෂත්වය වේ.

අසීමිත ඉවසීම තුළ වු ඒ අධිෂ්ඨානය ඉලක්කගත ජයග්‍රහණයක් වෙනුවෙන් කොතරම් වැදගත් ද යන ඒ ජීවිත කියවීම එහි එන සුවිශේෂත්වය වේ

කෙසේ වෙතත් පාලිත පවසන අන්දමට, තමන්ගේ සාහිත්‍යයික ජීවිතයේ මුල් කාලවකවානුවේ දි අත් විඳි විවේකි හැදෑරීමක් සහිත ඒ සාහිත්‍යකරණය අද දවසේ ඇතැම් විට අභ්‍යන්තරයෙන් ම තමන්ට ද අපහසුවක් ඇතිවන අන්දමේ තරගකාරීත්වයක් මත පවතින්නක් බවට පත්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් හටගත් කලකිරීමක් වැනි මානසිකත්වයක් ඇතත් එය පුද්ගලයෙකුට තනිවම වෙනස් කළ නොහැකි තත්වයක් ලෙසින් ඔහු දකී. ඒ අනුව ඔහු පවසන්නේ, ඊට අදාළව ජයගත යුත්තේ කුමක්ද එය මේ සටන් භූමිය තුළ ම සිට ජයගත යුතුව ඇති බවයි.

ඇත්ත වශයෙන්ම රිදී සීනු හඬ නැගෙන්නේ අප සිතා සිටින යාමයේ නෙවේ. වසන්තය සුපිෂ්පිත වන්නේ අප යෞවනයන් බවට පත්වන ඒ මොහොතේ දීම නොවීමට ද පුළුවන.

එහෙත් ඉන් අදහස් වන්නේ ඒ ජයග්‍රහණ අපට අහිමි බවක් නොවේ. වැදගත් වන්නේ ඒ වෙනුවෙන් අප ගොඩනගා ගන්නා සුදානමයි. පාලිත ජයකොඩි තමන් වෙනුවෙන් අවධාරණය කරගන්නේ එය බව පැහැදිලි ය.

 

Comments