වෙදැදුරන්ගෙන් ගිලිහෙන මනුස්සකම | සිළුමිණ

වෙදැදුරන්ගෙන් ගිලිහෙන මනුස්සකම

රුසියානු උපාධියක් ඇති වෛද්‍යවරයකු  17 වියැති  ළමයකුට  පපුවටම කොකා ගැස්වූ හැටි

ශිෂ්‍යත්වයෙන් කප් ගසා ප්‍රශංසාවට ලක් වූ පන්නිපිටිය, ඇරැව්වල නැඟෙනහිර ධර්මපාල විදුහල පැත්තෙන් මේ ඇසෙන පුවත ඒ සුබාරංචියට හාත්පසින් විරුද්ධ එකකි. සතියක් ගෙවී යන්නට මත්තෙන් එනම් පසුගිය 22 වැනිදා නැවතත් එම විදුහලෙහි සිසුවෙක් පිළිබඳව දුක් කතාවක් කරළියට ආවේය. ඒ, 17 හැවිරිදි ඕෂධ විමුක්ති ශ්‍රී නමැති එම පාසලෙහිම අපොස උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවා පිළිබඳවයි. ඔහු ගැන එලෙස කතාබහක් වූයේ පන්නිපිටිය, ඇරැව්වල නැඟෙනහිර ධර්මපාල පාසලේම ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගොස් වූ වෙඩි තැබීමකින් තුවාල ලැබීම නිසාවෙනි. එහි ඛේදනීයම තත්ත්වය නිවෙසේ තිබූ වායු රයිෆලයකින් එම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබුණේ සුවහසක් රෝගී ජීවිත සුවපත් කිරීමට සිටින ජීවකයකුගේම අතින් වීමයි. 

විමුක්ති, ඇරැව්වල පැලන්වත්ත කලක් මෙරට ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වූ දූ දරුවෝ ටෙලි නාට්‍යයට පාදක වූ වලව් පැළැන්තියේ එම නිවෙස පිහිටි ආසන්නයේ වූ සමඟි මාවතෙහි වෙසෙන්නෙකි. ඔහු සිය වැඩිමහල් සහෝදරයාද කැටුව අවට නිවෙස්හි තවත් යහළුවන් දහ, දොළොස් දෙනෙකුද සමඟ පසුගිය 22 වැනි ඉරිදා දහවල් දොළහමාරට පමණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගොස් තිබුණේය. ඒ, නිවෙස්හි සිට මීටර් 500ක් පමණ දුරකින් පිහිටි සිය පාසල් ක්‍රීඩා පිටියටයි.

යහළු පිරිස සමඟ ගිනි මද්දහනේ පැයක පමණ කාලයක් විමුක්ති ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියේය. හරියටම වෙලාව දහවල් 1.30 පසුවූවා පමණි. විමුක්තිගේ එක් යහළුවෙක් එල්ල කළ දැවැන්ත හයේ පහරකට පන්දුව ගොස් නතර වී තිබුණේ ක්‍රීඩාංගණයෙන් පිටත ගේට්ටු දමා තාප්පවලින් වටවූ සුවිසල් නිවෙසක් සහිත වත්තකටයි. එහි පදිංචිව සිටියේ මහරගම, අපේක්ෂා රෝහලෙහි වෛද්‍යවරයකු වන 46 හැවිරිදි තාරක ප්‍රියජීව ඇල්විටිගල නමැත්තායි. ඇරැව්වල ගම් ප්‍රදේශයේම අයෙක් වන වෛද්‍යවරයා ද එදින නිවෙසේ වූයේය.

ඔහුගේ වත්තට වැටුණු පන්දුව රැගෙන ඒමට විමුක්ති සමඟ තවත් යහළුවන් තිදෙනෙක් ගොස් ඇති බවකි. ඒ මොහොතේ නිවෙස තුළ සිට වත්තට පැමිණි ප්‍රියජීව වෛද්‍යවරයා,

"වත්තෙ ඉන්දලා තියෙන මල් පැළ සේරම පාගලා. ඒ මදිවට එළවළු පැළත් පාගලා. පනින්නෙ එහෙම නෑ එක්කෙනෙක්වත් වත්තට. බෝල එවන්න එපා වත්තට. බෝල ආවොත් දෙන්නෙ නෑ. පුදුම කරදරයක්නෙ වෙලා තියෙන්නෙ. රාජකාරි කරලා ඇවිල්ලා ගෙදරට වෙලා නිදහසේ ඉන්නවත් නෑ."

කියමින් දෝෂාරෝපණය කර තිබුණේ දැඩි ස්වරයෙනි. විමුක්ති ඇතුළු එම කොලු පිරිසද ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වා තිබුණේ,

"එහෙම කොහොමද කියන්නෙ... පිට්ටනියෙන් එන බෝල ඔයාගේ වත්තට වැටුණම අපට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනනේ..."

ඒ වන විට විමුක්ති සහ තවත් යහළුවෙක් තාප්පය මතද තවත් දෙදෙනෙක් වෛද්‍යවරයාගේ වත්තටද පා තබා සිටියහ. එලෙස පැවැසීමත් සමඟ වෛද්‍යවරයාද ඉහවහා ගිය ආවේගයෙන් කියා ඇත්තෙ, "පලයල්ලා උඹලට එක පාරක් කිව්වනේ..." යනුවෙනි.

ඒත් සමඟ වෛද්‍යවරයා නිවෙස තුළට ගොස් ගෙනවිත් තිබුණේ වායු රයිෆලයකි. වෛද්‍යවරයෙක් ලෙස ඉවසීම, හික්මීම කෙතරම් ප්‍රගුණ කර තිබුණද ප්‍රියජීව වෛද්‍යවරයා ඉවක්-බවක් නොමැතිව වායු රයිෆලයේ කොකා ගස්සා තිබුණේය. වායු රයිෆලයෙන් පිට වුණු වෙඩි උණ්ඩයක් වැදී තිබුණේ වත්තට පැන සිටි දෙදෙනාට නොව තාප්පය මත සිටි දෙදෙනාගෙන් කෙනකු වූ විමුක්තිටයි. කෙසේ හෝ වෛද්‍යවරයා එලෙස නොහික්මුණු පුද්ගලයකු ලෙස එල්ල කළ එම වෙඩි ප්‍රහාරය වත්තෙ සිටි කෙනකුට වැදුණේ නම් වන හානියෙහි බරපතළකම තීව්‍ර වන්නටද තිබිණි. අවි ආයුධ පිළිබඳ විශේෂඥවරුන්ගේ මතය නම් එවැනි උණ්ඩයක්ද අවදානම් ස්ථානයකට වැදුණහොත් මිනිස් ජීවිතයක් විනාශ කිරීමට හොඳටම ප්‍රමාණවත් බවයි.

වෙඩි තැබූ වෛද්‍යවරයාට මඳ දුරකින් තාප්පය උඩ සිටි විමුක්තිට වැදුණු වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පපු පෙ‍දෙසට මඳක් පහළින් තුවාල වී ලේ ගැලීමක්ද සිදුවී ඇත.

ඉන්පසු ඔහුගේ යහළු පිරිස විලාප දෙද්දී වෛද්‍යවරයා නැවතත් කොකා ගැස්සීමට සැරැසෙද්දී වත්ත තුළම සිටි දෙදෙනා වෛද්‍යවරයාගෙන් වායු රයිෆලය උදුරා එය දෙකට කඩා විනාශ කර ඇත. එසේ නොමැති වූවේනම් ආවේගයෙන් සිටි දෙපාර්ශ්වයේ අයගෙන්ම සිදුවන්නෙ කුමනාකාරයේ විපතක්ද යන්න කිසිවකුට කිව නොහැකි වනු ඇත. පසුව විමුක්තිගේ යහළුවන් පිරිස ත්‍රිරෝද රථයකින් ඔහුව රැගෙන ගොස් තිබුණේ කළුබෝවිල රෝහලටයි. එහිදී කළුබෝවිල රෝහල් බලධාරින්ට විමුක්තිගේ යහළුවන් අසවල් දොස්තර වෙඩි තැබූ බව පැවැසීය.

වෙඩි තැබීමක් කියූ සැණින් එම තොරතුර කළුබෝවිල රෝහල් බලධාරින් සැණින් දන්වා තිබුණේ සිදුවීමට අදාළ පොලිස් බලප්‍රදේශය වන මහරගම පොලිසියටයි.

මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්තගේ ප්‍රධානත්වයෙන් එහි විමර්ශන ආරම්භ කෙරුණේ සිදුවීම වූ ස්ථානයට නිලධාරින් පිරිසක් යවමිනි. එම විමර්ශන නිලධාරින්ට දැනගන්නට ලැබී ඇත්තෙ වෙඩි තැබීම වායු රයිෆලයකින් සිදුකර ඇති බවයි. ‍පොලිස් අත්අඩංගුවට පත් වෛද්‍යවරයා පොලිසියට කියා තිබුණේ,

"ඒ අයට කිව්වා වත්තට පනින්න එපා කියලා... ඉතින් කියන දෙයක් ඇහුවේ නෑ... මට ආපු ආවේගයට වෙඩි තිබ්බා... හැබැයි තුවාල කරන්නවත්... මරන්නවත් නොවේ මං ඒ දේ කළේ..." යනුවෙනි. එහෙත් වෛද්‍යවරයකු ලෙස මීට වඩා සංයමයක්, හික්මීමක් ඔහුට තිබිය යුතු බවනම් සඳහන් කළ යුතුමය.

අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් කොළඹ හතේ ප්‍රධානතම පාසලක උගත්, රුසියාවේ ස්මොලන්ස්ක් රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරියකු වන එකී වෛද්‍යවරයා නුගේගොඩ, ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කර තිබුණේ, ලබන දෙවැනිදා දක්වා සැකකාර වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. 

වායු රයිෆල වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලත් කළුබෝවිල ශික්ෂණ රෝහලෙහි සයනයක් මත සිටි විමුක්ති මාධ්‍යයට කීවේ,

"අපි යාළුවොත් එක්ක සෙල්ලම් කරමින් හිටියේ... යාළුවෙක් ගහපු පාරකට බෝලය පිට්ටනියෙන් පිටත අල්ලපු වත්තට ගියා. මායි යාළුවොයි බෝලෙ ඉල්ලන්න ගියා. ඒ අංකල් කේන්තියෙන් අපට බැන්නා. එකපාරටම ගේ ඇතුළට ගියා. තුවක්කුවක් අරන් ආවා... වෙඩි තිබ්බා... මගේ පපුවට වැදුණා. එතනම මාව ඇදගෙන වැටුණා. යාළුවෝ ටිකයි මගේ අයියයි මාව ඉස්පිරිතාලෙට අරන් ගියා... එච්චරයි මං දන්නෙ..." යන්නයි.

කෙසේ හෝ මනුෂ්‍ය ජීවිත පමණක් නොව ඕනෑම ජීවියෙක් සුවපත් කිරීමට සිටින කුඩා දියණියකගේද පියෙක් වන මෙකී වෛද්‍යවරයා අතින් මෙලෙස පාසල් සිසුවෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම බොහෝ කතාබහට ලක්වූ මාතෘකාවකි. විශේෂයෙන්ම රෝගී ජීවිත වෙනුවෙන් අපමණ සේවයක් කරන මහරගම අපේක්ෂා රෝහලෙහි වෛද්‍යවරයකු අතින් එවැනි දෙයක් සිදුවීමම තවත් අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

සිය රෝහලටද අවමානයක් දුන් එම වෛද්‍යවරයාගේ වෙඩි තැබීම පිළිබඳව මහරගම, අපේක්ෂා රෝහලෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක පවසන්නේ මෙවැන්නකි.

"මානව හිතවාදී මානව දයාවෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටින මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු අතින් මේ වගේ විශාල වරදක් සිදුවීම ගැන රෝහල් ප්‍රධානියා හැටියට සියලු කාර්ය මණ්ඩලය වෙනුවෙන් මම මුලින්ම සමාව අයදිනවා. මට එදාම මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දුන්නා අපේ රෝහලේ වෛද්‍යවරයෙක් ඇරැව්වල ධර්මපාල විදුහලේ සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තියලා කියලා. ඒ වගේම ඒ මහතා මට අධිකරණ වාර්තාවත් එව්වා. වෛද්‍යවරයා රිමාන්ඩ් බාරයට පත්කළා කියලා.

එම දරුවාගේ මවුපියන්ගෙන් සහ ඇරැව්වල නැගෙනහිර ධර්මපාල විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් මම නැවත වතාවක් සමාව අයදිනවා. ළමයි දඟකාර වයසේදී මේ වගේ දඟකාරකම් කරනවා. අපිත් ඒ කාලේ දඟ කළා. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ විදිහට ආවේගශිලීව හැසිරීම වෛද්‍යවරයකුට ඔබින්නෙ නැහැ. ඒ වගේම මේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපේක්ෂා රෝහලේ ප්‍රධානියා හැටියට අපි මේ වෛද්‍යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා."

වෙඩි වැදුණු විමුක්තිගේ මව සහ ඔහුව රෝහලට රැගෙන ගොස් තිබූ සහෝදරයාද මාධ්‍යයට සඳහන් කර තිබුණේ, වෛද්‍යවරයා ඒ මොහොතේ හැසිරී ඇත්තේ වෛද්‍යවරයකු නොව සතා සීපාවකු විලසින් බවටයි.

එම නිසා අපද සඳහන් කරන්නේ අධ්‍යාපනයෙන් පරතෙරට ගියද අදූරදර්ශී ලෙස මෙලෙස කටයුතු කරන මෙවැනි පුද්ගලයන්ගේ දැන උගත්කමින් ඇති ඵලය කුමක්ද යන්නයි.

අමිල ජානක මලවිසූරිය 
පසුබිම් තොරතුරු සහ ඡායාරූප සමීර අබේසිංහ (නුගේගොඩ සමූහ)

Comments