නැට්ටුකන්ද රක්ෂිතයේ විනාශය ‍පිටුපස කතාව | සිළුමිණ

නැට්ටුකන්ද රක්ෂිතයේ විනාශය ‍පිටුපස කතාව

කොක්ඇබේ මිටියාවත

නුරාධපුර රාජධානි සමයේ නිර්මාණය වූ බෞද්ධ ශිෂ්ටාචාරයේ නටබුන් වර්තමානය වන විටත් නොනැසී පැවතියද හුදෙක් පුරාවිද්‍යා ස්මාරකවලට අත්ව ඇති ඉරණම ඉතාම ඛේදජනක වීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ඓතිහාසික පදනමට එල්ලවූ මරු පහරකි. 

මෙවන් අතිශය වටිනාකමක් ඇති පුරාවිද්‍යා ස්ථාන ආක්‍රමණය කර ජනාවාස ඇතිකිරීම බලධාරීන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවීම බරපතළ කාරණයකි. පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යා රක්ෂිතයකට ඇතුළු වීම පවා බරපතළ දඩුවම් ලැබිය හැකි කාරණයක් වුවද පුරාවිද්‍යා රක්ෂිතයක ජනාවාස ඇතිකිරීම පුරාවිද්‍යා නීතිය හෑල්ලුවට ලක් කිරීමකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොක්ඇබේ මිටියාවත ශ්‍රී ලාංකික බෞද්ධ ශිෂ්ටාචාරයේ ඓතිහාසික උරුම පිළිබඳව ඇති සාධක පෙන්වන කැඩපතකි. මෑත කාලයේදී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය තුසිත මෙන්ඩිස් ඇතුළු විද්වතුන් රැසක් සමඟ පුරාවිද්‍යාව හදාරන සිසු සිසුවියන් විසින් කොක්ඇබේ මිටියාවතේ යාන්ඔය නිම්නයේ සිදු කළ පුරාවිද්‍යා ගවේශනයකදී සියවස් ගණනක් පැරණි මෙගලිතික සුසාන භුමියක නටබුන් සොයා ගැනීමට සමත් විය. ඉන් තහවුරු වන්නේ මෙතෙක් සමාජයෙන් වසන්ව තිබූ ශ්‍රී ලාංකික උරුම පිළිබඳව කොක්ඇබේ මිටියාවතෙන් තහවුරු වීමකි. කරුණු එසේ වුවත් මෑතකදී කොක්ඇබේ මිටියාවතෙන් හිටිවනම වාර්තා වූයේ පුරාවිද්‍යා රක්ෂිතයක වසර ගණනාවක සිට නිවාස ව්‍යාපෘතියක් පිහිටා ඇති බවය.

ඒ ඓතිහාසික නැටුම් කන්ද හෙවත් නැට්ටුක්කන්ද පුරාවිද්‍යා රක්ෂිතය ආශ්‍රිතවය. කහටගස්දිගිලිය රත්මල්ගහවැව මාර්ගයේ අලුත් දිවුල්වැව හා කුරුක්කුරාගම යන ගම්මානවලට මායිම්ව පිහිටා ඇති නැට්ටුක්කන්ද පුරාවිද්‍යා රක්ෂිතයේ ස්ථිර නිවාස සියයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ඉදිව තිබේ.

අතීතයේදී නාගිරිකන්ද නමින් හැඳින්වූ මෙම පුරාවිද්‍යා ස්ථානය ක්‍රි. ව. 5 හෝ 6 වැනි සියවස්වලට අයත්විය හැකි බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ මතය වී ඇති අතර බෞද්ධ ආරාමයක නටබුන්, සෙල්ලිපි හා වෙනත් පුරාවිද්‍යාත්මක සාධක මත මෙම ස්ථානය අතිශයින්ම පෞරාණික බෞද්ධ පුදබිමක් බවට පුරාවිද්‍යා නිලධාරීන් සනාථ කර සිටිති.

කටාරම් සහිත එක් ගල්ලෙනක සඳහන්ව ඇති පර්වත ලිපියකින් පැවසෙන්නේ අතීතයේදී එවකට පාලන තන්ත්‍රයට සම්බන්ධ ප්‍රධාන පෙළේ රාජ්‍ය අමාත්‍යවරයකු විසින් නාගිරිකන්ද පුදබිමට සිදු කළ ප්‍රධානයක් බවය. මේ වනවිට එම ස්ථානයේ තැන තැන විසිරුණු පෞරාණික පාෂාණ කොටස් රැසක් නිරීක්ෂණය වන අතර කිසියම් පිරිසක් විසින් හිතාමතාම මෙම විනාශය සිදු කර ඇතැයි අවට පදිංචි කරුවන් පවසා සිටිති.

පුරාවිද්‍යා නීතියට අනුව රක්ෂිතයකට හෝ ස්මාරක සීමා මායිම් නිර්ණය කිරීමේදී නීතිමය තත්ත්වය වන්නේ අදාළ ස්ථානයේ සිට යාර දෙසීය සීමාව හා යාර හාරසීය සීමාව වනතෙක් කිසිදු ඉදිකිරීමක් නීති විරෝධි ඉදිකිරීමක් ලෙස පුරාවිද්‍යා නීති පොතේ සඳහන් වේ. එනමුත් නැට්ටුක්කන්ද පුරාවිද්‍යා රක්ෂිතයේ ස්ථිර මාර්ග නිවාස ඇතුළු පොදු ගොඩනැගිලි රැසක් මේ වනවිටත් ඉදිකර ඇත්තේ පුරාවිද්‍යා හා රජයේ පරිපාලන නිලධාරීන්ගේ ඇස්වසා දමමිනි.

නාගිරිකන්ද පුරාවිද්‍යා රක්ෂිතයේ පදිංචිව සිටින පිරිස පිළිබඳව ඒ අවට ගම්මානවල දීර්ඝ කාලයක සිට පදිංචිව සිටින ගම්වාසීන් පවසා සිටින්නේ මෙම පිරිස යුද සමයේදී පුරාවිද්‍යා රක්ෂිතයට යාබදව පවැති අනාථ කඳවුර අද වනවිට ගම්මානයක් බවට පරිවර්තනය වී ඇති බවයි. එම අනාථ කඳවුර ක්‍රමානුකූලව ගම්මානයක් බවට පරිවර්තනය වී ක්‍රමයෙන් පවුල් සංස්ථාව ඉහළ යෑමත් සමඟ පුරාවිද්‍යා රක්ෂිතයේ වපසරිය ඔවුන් විසින් සූක්ෂමව ග්‍රහණය කරගත් බව පෙන්වා දෙන අවට ගම්වාසීන් රක්ෂිත ආක්‍රමණය කළ පිරිසට එරෙහිව රාජ්‍ය මට්ටමින් කිසිදු ප්‍රතිරෝධයක් එල්ල නොවූ බව සඳහන් කර සිටිති. වර්තමානය වනවිට විවිධ කුලී වැඩ වල නිරත වෙමින් ජීවිකාව සරි කරගන්නා මෙම පිරිස රජයෙන් ලබාදෙන යම් සහනාධාර සඳහාද හිමිකම් කියන බව ගම්වාසීහු පවසති. 

මේ නිසා පුරාවිද්‍යා රක්ෂිතයේ පදිංචිකරුවන් දිනෙන් දිනම යම් ආධිපත්‍යක් පතුරා ගෙන එහි අවසන් ප්‍රතිඵලය ලෙස අද වනවිට පුරාවිද්‍යා රක්ෂිතයක් තම අණසකට ගෙන ස්ථිර පදිංචියක් තහුවුරු කරගැනීමට තරම් ඔවුන් ශක්තිමත් වී ඇතැයි නාගිරිකන්ද අවට ගම්වාසීන් චෝදනා කර සිටිති.

මේ පිළිබඳව උතුරුමැද පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාගෙන් කරුණු විමසීමට උත්සාහ කළ ද නීතිමය තත්ත්ව මත ඔහුට මාධ්‍ය වෙත අදහස් දැක්වීම රැකියා අවදානමට ලක්වීමට තරම් පුරාවිද්‍යා අණ පනත් ශක්තිමත් වීම හේතු කොටගෙන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අමතා විස්තර ලබාගැනීම නිෂ්ඵල කටයුත්තක් විය. නමුත් මෙහිදී නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළපුරුදු සේවකයකු පවසා සිටියේ පුරාවිද්‍යා හා උරුම සුරැකීමට තම දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බවය.

පහළම ශ්‍රේණියේ කම්කරු පදනම මත මුරකරුවන් නැතිවීම හේතුවෙන් අනුරාධපුර පූජා භූමියේ පුරාවිද්‍යා ස්මාරක පවා ආරක්ෂා කරගැනීමට නොහැකි අවස්ථාවක අනුරාධපුරයෙන් එපිට පුරාවිද්‍යා ස්මාරක හා රක්ෂිත ආරක්ෂා කර ගැනීම අතිශය දුෂ්කර වී ඇතැයි සඳහන් කර සිටියේය. 

එනමුත් ජාතියේ වාසනාවට නාගිරිකන්ද පුරාවිද්‍යා රක්ෂිතයේ මායිම් සලකුණු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර රක්ෂිතය තුළ ඇති සියලු ඉදිකිරීම් ඉවත් කිරීමේ මූලික පියවර ගෙන ඇති අතරම අවශ්‍ය වුවහොත් අධිකරණමය කටයුතු කෙරේ යොමුවීමටද බලාපොරොත්තුවෙන් සිටින බව නම සඳහන් නොකළ පුරාවිද්‍යා නිලධාරියකු පවසා සිටියේය. එම නිලධාරියා මෙහිදී සඳහන් කර සිටියේ මායිම් සලකුණු කිරීමත් සමඟ පුරාවිද්‍යා රක්ෂිතයට අයත් භූමියේ එකදු අගලක් ජනාවාස සඳහා ලබා නොදී නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බැඳී සිටින බවය.

නමුත් අවට ගම්වාසීන් පවසන්නේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීම යන පැරණි කියමන සිහියට නංවමින් ඔවුන් පවසන්නේ පුරාවිද්‍යා රක්ෂිතයේ වටිනා ස්මාරක කැබලිවලට වෙන්වී තැන තැන විසිරුණේ කාගේ වරදකින්ද යන්න ප්‍රශ්න කර සිටින ඔවුන් මේ පිළිබඳව දඩුවම් ලැබීමට සුදුසු වන්නේ පුරාවිද්‍යා රක්ෂිතයේ පදිංචිකරුවන්ද, පුරාවිද්‍යා නිලධාරීන්ද යන්න පිළිබදව ඔවුන් ප්‍රශ්න කර සිටිති.

වසර එක්දහස් පන්සීයකට වඩා ඉතිහාසයක් ඇති නාගිරිකන්ද පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් වලට තවමත් ඇත්තේ වසර විස්සක පමණ ඉතිහාසයක් හෙයින් තුළාන බාරව කටයුතු කළ හා කරන ග්‍රාම නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් ඇතුළු විවිධ රාජ්‍ය නිලධාරීන්ගේ අණසකට යටත් නොවී මෙවර නීති විරෝධි කටයුතු කිරීම සැබැවින්ම හාස්‍යයට කරුණකි. ඒ නිසාම මේ පිළිබඳව රාජ්‍ය බලතල ඇති කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේනගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පවසා සිටියේ තමා මෙම කොට්ඨාසයේ මෑතක සිට වැඩ බැලීමේ කටයුතුවල නිරත වන බවය.

“ මම මිහින්තලය ප්‍රාදේශීය ලේකම් විදිහට සේවය කරන ගමන්ම කහටගස්දිගිලිය වැඩබලන ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරනවා. මේ සිද්ධිය මට දැනගන්න ලැබුණා. මේ වෙනකොටත් මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිපියකින් දැනුම්දීල තියෙනවා, මේ පිළිබඳව පරීක්ෂා කර වහාම නිරීක්ෂණ වාර්තාවක් ලබා දෙන්න කියලා. ඒ වාර්තාව ලැබුණු ගමන්ම අපි නීත්‍යානුකූලව කටයුතු කරනවා. අවශ්‍ය වුණොත් අධිකරණ ක්‍රියාමාර්ග වලට වුණත් යන්න අපි පසුබට වෙන්නේ නැහැ.

නමුත් මෙතන යම් ප්‍රශ්නයක් තියෙනවා යම් පිරිසක් නීතිවිරෝධි ලෙස ස්ථිර පදිංචියක් පවත්වා ගෙන යෑම පිළිබඳව නියපොත්තෙන් කඩන්න තිබුණු දෙයක් පොරවකින් කපා දාන්න ගියාම ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. පුරාවිද්‍යා රක්ෂිතය තුළ පදිංචිකරුවන් ඉවත් කරනවා නම් ඔවුන්ට පදිංචියට අවශ්‍ය සියලු පහසුකම් සහිතව නව ඉඩම් ලබා දෙන්න වෙනවා. ඒ සමඟ සියලු යටිතල පහසුකම් ලබා දෙන්න වෙනවා. මේක සංකීර්ණ ගැටලුවක්. නමුත් කොයිතරම් සංකීර්ණ වුණත් ඒ හැමටම ඉදිරියෙන් නීතිය පිහිටල තියෙනවා. අපි ඒ නීතිය අනුව කටයුතු කරනවා. මම කඩිනමින් කටයුතු කරනවා මේ පුරාවිද්‍යා රක්ෂිතයේ පදිංචිකරුවන්ගේ විස්තර ඇතුළත් පසුගිය ලේඛන හා තොරතුරු පරීක්ෂා කර අවශ්‍ය කටයුතු කරන්න. ”

කහටගස්දිගිලිය ගැමියන් පවසන පරිදි අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීම යන කියමන සිහිපත් කරන නාගිරිකන්ද පුරාවිද්‍යා රක්ෂිතය නම් මහා පොදු සාධකය පිළිබඳව ගන්නා තීන්දු තීරණ පිළිබඳව පාඨක අපට තවත් දින ගණනාවක් රැඳී සිටීමට සිදුවනු ඇත. එම කැපකිරීම සැබැවින්ම ශ්‍රී ලාංකේය ජාතික උරුම කෙරේ දක්වන සැබෑම ජාති හිතෛශී ක්‍රියාවක් වනු ඇත.

උපුල් තම්මිට - අනුරාධපුර

Comments