ජන ජීවිතය නව මඟකට යොමු කළ ඇප්ස් | Page 2 | සිළුමිණ

ජන ජීවිතය නව මඟකට යොමු කළ ඇප්ස්

ද අප ජීවත් වෙමින් සිටින්නේ අති නවීන තාක්ෂණික ලෝකයකයි. රූපවාහිනිය, ගුවන් විදුලිය, දුරකථන, ජංගම දුරකථන, පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට්, අන්තර්ජාලය වැනි දෑ භාවිතයත් සමඟ මුළු ලෝකයම ක්‍රම ක්‍රමයෙන් මේ තාක්ෂණික යුගය වෙත එළැඹුණද සමස්ත ජන ජීවිතය උඩු යටිකුරු කරමින් වර්තමාන අප ජීවත් වන වටාපිටාව හා ජන සමාජය අති නවීනතම තාක්ෂණික ලෝකයක් අප හමුවේ මවා පෙන්වා තිබෙන්නේ ජංගම දුරකථන, ලැප්ටොප්, ටැබ් වැනි සන්න්නිවේදන උපකරණ හරහා අපේ ජීවිත පහසුවට ලක් කළ විවිධාකාරයේ මොබයිල් ඇප්ස් ඉතා වේගයෙන් අප ජන සමාජය වැලඳ ගැනීමත් සමඟය.

මේ අතරින් මේ වන විට බහුතරයක් දෙනා භාවිත කරනු ලබන ස්මාර්ට් ජංගම දුරකථන, පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට් වැනි සන්නිවේදන උපාංග සඳහා ඉතා ඉක්මනින් බා ගත කර ගත හැකි සුවිශේෂ ඇප්ස් වර්ග අප ජීවිත වඩාත් පහසු කිරීමට සමත්ව ඇතුවාක් පමණක් නොව මේ වන විට ඉතා වේහයෙන් ලොව පුරා පැතිර යන කොරෝනා වැනි වසංගත රෝග තත්ත්ව හමුවේද වඩා සෞඛ්‍යාරක්ෂිතව නිවසේ සිටම එදිනෙදා අප කටයුතු අවහිරයකින්, බාධාවකින් තොරව සිදු කර ගත හැකි පරිසරයක්ද නිර්මාණය කර තිබේ.

ඒ අනුව වෛද්‍ය චැනලින්, මෘදුකාංග ක්‍රීඩා, ප්‍රවෘත්ති හා තොරතුරු, රාජ්‍ය සේවා, විදුලි, ජල, දුරකථන හා රක්ෂණ බිල් ගෙවීම් සිදු කරන ඇප්ස් යෙදවුම් මෙන්ම හෝටල් හා නවාතැන් කාමර වෙන් කර ගැනීම්,ආහාර ඇණවුම් සිදු කිරීම්, දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම්, ගුවන් යානා ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම් හා විදේශ සංචාර සේවා සැලසුම් සිදු කරන ඇප්ස් මෘදුකාංග යෙදවුම් මේ වන විටත් මෙරට ජනතාව අතර අතිශය ජනප්‍රිය වී ඇති අතර තමන් අත ඇති ස්මාර්ට් ජංගම දුරකථනය, ලැප්ටොප් හෝ ටැබ්ලට් හී එක් බොත්තමක් හසුරවමින් සිය වටිනා කාලයද ඉතිරි කර ගනිමින් අනවශ්‍ය පෝලිම් හා තදබදයන්ට හසු නොවී තමන්ට අවශ්‍ය සේවාව ලබා ගැනීමට දැන් දැන් මෙරට ජනතාවත් උනන්දු වෙමින් ඇති බවද මේ ඇප්ස් යෙදවුම් අතිශය ජනප්‍රිය වී තිබීම හේතුවෙන්ම ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත.

මේ මොබයිල් ඇප්ස් භාවිතයට හුරුව අප එදිනෙදා කටයුතු සිදු කිරීම කොයිතරම් පහසු වනවාද කිවහොත් දැන් අපට බැංකුවකට නොගොස් මුදල් හුවමාරුව, බැංකු ගිණුමේ ශේෂය පරීක්ෂාව, බිල්පත් ගෙවීම වැනි කටයුතු රාශියක් කඩිනමින් සිදු කර ගැනීමේ හැකියාව ඇත. මේ නිසාම ලංකා බැංකුව, මහජන බැංකුව, SMIB, HDFC, හැටන් නැෂනල්, සෙලාන්, සම්පත්, නේෂන් ට්‍රස්ට්, පෑන් ඒෂියා, කොමර්ෂල්, HSBC, යූනියන්, DFCC, NDB, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් වැනි මෙරට තුළ ස්ථාපිත සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු සිය ගනුදෙනුකාර ජනතාවට විශිෂ්ට, අඛණ්ඩ හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් එකිනෙකට තරගකාරී ඇප්ස් යෙදයුම් නිර්මාණය කර ඇත.

මීටත් අමතරව Pick Me,Uber වැනි ටැක්සි සේවාවන් ගණනාවක්ම මෙම ඇප්ස් යෙදවුම් ප්‍රධාන කර ගනිමින් මෙරට තුළ ක්‍රියාත්මක වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවකි.එසේ සඳහන් කරන ලද Pick Me,Uber වැනි ටැක්සි සේවා මෙරටට හඳුන්වා දීමට ප්‍රථම හිතූ මනාපේ ගාස්තු අය කළ කිසිදු විනයක්, හික්මීමක් හා සංවරයක් නොතිබුණු ඉතාම ප්‍රාථමික මට්ටමේ ත්‍රීරෝද රථ ඇතුළු ටැක්සි සේවාවක් දීර්ඝ කාලයක් පුරා මෙරට තුළ ක්‍රියාත්මක වුවද ඇප්ස් යෙදවුම් භාවිතය නිසා ඉතා ජනප්‍රිය වූ මෙකී Pick Me,Uber වැනි ටැක්සි සේවා හේතුවෙන්ම නියමිත දුරට අනුව ගාස්තු අය කරන, සිය පාරිභෝගික ජනතාවට ආචාරශීලී හා සුහදශීලී සේවාවක් ලබා දෙන කාර්යක්ෂම ටැක්සි සේවා ජාලයන් මෙරට තුළ ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබීම ඉතා වැදගත් ප්‍රවණතාවක් ලෙසද හඳුන්වා දිය හැකිය.

සැබවින්ම අප ජීවත් වන ජන සමාජය තුළ අප කටයුතු කළමනාකරණය කර ගැනීමට ඔරලෝසුවේ කටු කැරකෙන පැය විසි හතරද මදි බව බොහෝ දෙනකුගේ මුවින් නිතර පිට වෙන්නේ කට කහනවට නොවේ. ඒ එතරම්ම කාලයේ වටිනාකම අප හැමටම දැනෙන නිසාය. එවැනි සංකීර්ණ වාතාවරණයක් තුළ මෙකී ඇප්ස් යෙදවුම් කෙතරම් සාර්ථක ලෙස අපගේ ඒ වටිනා කාලය කළමනාකරණය කර දෙනවාද?

මේ සඳහා ඇති හොඳම උදාහරණය නම් භාණ්ඩ හා සේවා ඇණවුම් සඳහා හඳුන්වා දී ඇති ඇප්ස් යෙදවුම් හා එම ඇප්ස් භාවිතය මගින් තමන්ට අවශ්‍ය එම භාණ්ඩ හා සේවා ඇණවුම් කිරීමට පාරිභෝගිකයන් වැඩි රුචිකත්වයක් දැක්වීමයි. විශේෂයෙන්ම ebay, amazon, daraz, ikman, කප්රුක, mydeal, bigdeals, wasi, takas, laabai, myshop වැනි එම ඇප්ස් යෙදවුම් හරහා තමන්ට අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීමට මෙරට පාරිභෝගික ජනතාවද වැඩි උනන්දුවක් දක්වයි. ebay, amazon හරහා තම අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී ජාත්‍යන්තර තත්ත්වයේ උසස් භාණ්ඩ ඇණවුම් කිරීමේ හැකියාව ඇති අතර මෙසේ මෙම ඇප්ස් යෙදවුම් සමඟ සම්බන්ධව සිය සේවා ලබා ගැනීමට හැකි වීම නිසා පාරිභෝගික ජනතාවට අනවශ්‍ය ලෙස සිය මුදල් වැය කර ගැනීමද අවම කර ගැනීමට හැකි වී තිබේ.

තවද මේ වන විට මෙරට තුළ වෙළෙඳ මෙහෙයුම් කටයුතු සිදු කරන කාර්ගීල්ස්, කීල්ස්, ආර්පිකෝ හා ලාෆ්ස් වැනි සුපිරි වෙළෙඳ සැල් විසින්ද සිය වෙළෙඳ මෙහෙයුම් කටයුතු තව තවත් පුළුල් කරමින් සිය වෙළෙඳ කටයුතු සඳහාද මෙම ඇප්ස් යොදා ගන්නා අතර කොවිඩ් 19 නව කොරෝනා වයිරසය අප රට තුළ පැතිර යාම ආරම්භ වීමත් සමඟ එම සුපිරි වෙළෙද සැල් හී එම ඇප්ස්වලට පිවිස තමන්ට අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීමටද ජනතාව වැඩි වැඩියෙන් උනන්දුවක් දක්වන බවද පෙනේ.

මේ හැර මෙරට විදුලි උපකරණ හා ගෘහ උපකරණ අලෙවි ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වන Singer, Abans, Softlogic, Damro වැනි ආයතනද මෙම ඇප්ස් තම ව්‍යාපාරික කටයුතු සඳහා හඳුන්වා දෙමින් සිය ව්‍යාපාරික ගනුදෙනු වලට නව මුහුණුවරක් හඳුන්වා දීමටද සමත් වී ඇති අතර KFC, Mcdonalds, Piza Hut, Dominos, Uber Eats වැනි ජනතා ආකර්ෂණය නොමඳව දිනා ගත් ආහාර සේවා සැපයුම් ආයතනද සිය ආහාර නිෂ්පාදන ජනතාවට තවදුරටත් සමීප කරවීම සඳහා මෙකී ඇප්ස් යොදා ගනිමින් සිටියි.

දශකයකටත් වඩා අඩු ඉතා කෙටි කලක් තුළ මුළු ලොවම උඩු යටිකුරු කරමින් මේ කියන ඇප්ස් සියල්ල ක්‍රම ක්‍රමයෙන් ජන සමාජය හා කාවැද්දී ඒ වෙනුවෙන් ලොකුම කාර්ය භාරය කළ පිරිස වූයේ ඇන්ඩි රූබින්, රිච් මයිනර්, ක්‍රිස් වයිට් හා නික් සියර්ස් යන සිවුදෙනායි.ඔවුන් සිවුදෙනාගේ එකතුවෙන් 2001 වසරේදී ස්මාට් ජංගම දුරකථනයන්හී මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීම ඇරඹුණු අතර එම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමේ ප්‍රමුඛ අරමුණ වූයේ දුරකථයක මෙහෙයුම් පද්ධතිය එය භාවිත කරන හැම කෙනකුටම පහසුවෙන් භාවිතා කළ හැකි හා ඔවුන්ගේ දෛනික වැඩ දුරකතනයෙන්ම වේගවත්ව ඉටුකර ගත හැකි අන්දමේ මෙහෙයුම් පද්ධතියක් බවට පත් කිරීමයි. 2003 වසරේදී ඔවුන් ANDROID INCORPORATION සමාගමද පිහිටුවා ගනිමින් ඇපල් දුරකථන සඳහා තරගයක් දිය හැකි මෙහෙයුම් පද්ධතියක් බිහි කිරීමේ බලාපොරොත්තුව ඇතිව කටයුතු කළත් මේ මිතුරන් සිවුදෙනාට වැඩිකලක් තම සමාගම කරගෙන යෑමට නොහැකි වූ අපහසු වාතාවරණයක් උද්ගත වූයේ එදිනෙදා කටයුතු කර ගෙන යාමට අවශ්‍ය මූලික වියදම්වත් අවරණය කර ගැනීමට එම සමාගමෙන් අදායමක් නොලැබුණු නිසයි.

කෙසේ වුවත් මෙම ANDROID INCORPORATION සමාගම හා එම සමාගම මගින් ක්‍රියාත්මක කරමින් සිටි ජනතාවගේ දෛනික කටයුතු දුරකථනයෙන්ම වේගවත්ව ඉටුකර ගත හැකි අන්දමේ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමේ මෙම සුවිශේෂ ව්‍යාපෘතිය හා එහි වටිනාකම ඉතා හොඳින් අවබෝධ කර ගත් ලෝක ප්‍රකට ගූගල් සමාගම මේ Android INCORPORATION සමාගම ඩොලර් මිලියන හයක මුදලකට මිලට ගන්නා ලදී. ඉන් පසු ඇන්ඩි රූබින්, රිච් මයිනර්, ක්‍රිස් වයිට් හා නික් සියර්ස්ද ගූගල් සමාගම සමඟ එක්ව කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමට හැකියාව ලැබුණි.

මෙම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ජංගම දුරකථන, පරිගණක, ලැප්ටොප් හා ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංගයන්හී මෙහෙයුම් පද්ධතිය ලෙස ඉතා වේගයෙන් ජනප්‍රිය වීමත් සමඟ මෙම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේදී එහි නිර්මාපකයන්ගේ මූලික අභිප්‍රාය වූ ජනතාවගේ දෛනික කටයුතු දුරකථනයෙන්ම වේගවත්ව ඉටුකර ගත හැකි අන්දමේ සැබෑ නිදහස් මෙහෙයුම් පද්ධතියක් බවට වැඩි දියුණු වූ අතර එම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට සරිලන ලෙස විවිධ ඇප්ස් වර්ග නිර්මාණයට හා එවැනි ඇප්ස් වර්ග හඳුන්වා දීමට බොහෝ පාර්ශ්ව මේ වන විටත් කටයුතු කරමින් සිටියි. ඒ අනුව මේ වන විට මිලියන ගණනක් ඇප්ස් වර්ග ජනතාව වෙනුවෙන් හඳුන්වා දී ඇති අතර නිරන්තරයෙන් තවත් අලුත් ඇප්ස් හඳුන්වා දීම සදහා ද කටයුතු යෙදෙමින් තිබේ.

මේ වන විට ලෝක ප්‍රජාව අතිශය ජනප්‍රිය වී ඇති ඇප්ස් යෙදවුම් රැසක්ම වේ. ෆේස් බුක්, වට්ස් ඇප්, යූ ටියුබ්, වයිබර්, ස්කයිප්, ඉමෝ, මැසෙන්ජර් ආදී සමාජ මාධ්‍ය ඇප්ස් යෙදවුම් වර්ග ඒ අතර ප්‍රධානතම ස්ථානයක් ගනී. මීට අමතරව මෘදුකාංග ක්‍රීඩා, ප්‍රවෘත්ති හා තොරතුරු, රාජ්‍ය සේවා, සෞඛ්‍ය සේවා, විනෝදාස්වාද, ඡායාරූප සැකසුම් හා සංස්කරණය, මාර්ග හා සිතියම්, නව හඳුන්වා දීම්, ව්‍යාපාරික සේවා, සංචාර හා සැලසුම්, බැංකු, රක්ෂණ හා මූල්‍ය සේවා, බස්-දුම්රිය හා ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම්, රැකියා ඇබෑර්තු, විදුලි උපකරණ හා ගෘහ භාණ්ඩ අලෙවිය, ඇඳුම් හා ආභරණ, ආහාරපාන, මෝටර් රථ හා යතුරු පැදි අලෙවිය, අධ්‍යාපන, රාජකාරි, පෞද්ගලික වැනි විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් විවිධ වර්ගයේ ඇප්ස් මිලියන ගණනක් මේ වන විටත් ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සිය මෙහෙයුම් දියත් කරමින් සිටියි.

චන්දිමා එදිරිමාන්න

Comments